2011/06/15

කුමාරාභිශේකය






පන්සල මැද අඹ ගහේ මල් වල පැණි වැටුණේ අහසින් පිණි වැටෙනවා වගේ. ඒවා සුදු ඇඳුමේ දුඹුරු පාට තිත් හැදුවා. පොසොන් හුළඟ හින්දා ඒ කහට හරිම ඉක්මනට වේලුණා.

මං උඩ බැලුවා. ඇත්තටම මට අහස පෙ‍නුණේ හරිම ටිකයි. මගෙ ඉස්සරහින් හටගෙන හිටපු නිල්ම නිල් කන්ද, මගේ දර්ශණ පථයෙන් සියයට අනූ පහක්ම වසාගෙන හිටියා. කන්ද මුඳුණේ දිස්නෙ දුන්නු, පුංචි කුමාරිකාවගේ ඇස් දෙකට වශී වෙලා හිටිය හින්දා කොහෙද, වෙද්දී මට කන්දේ තරම ගැන තරම්ම දැනුණේ නැහැ.

හ්ම්... මම නඟින්න පටන්ගත්තා. කන්දෙන් හරි බාගයක් නැඟගන්න මට තරම් අමාරු වුණේ නැහැ. සමහර තැන් වල දී නැවතිලා සින්දුත් කිව්වා මම. මං කට ඇරලා සද්දෙට සින්දු කිව්ව අවස්ථා වල දී, කන්ද මුඳුනේ හිටපු කුමාරිකාවත් මගේ ගීත වලට අත්වැල් අල්ලන බව මට ඇහුණා. එතකොට මම අළුත් ගැම්මක් අරන් කන්ද නැග්ගා.

ඔන්න, හරි බාගයක් නැඟපු තැන දී කුමාරිකාව මට කතා කලා;මමත් එයාට කතා කලා. ඒත් මට එයාගේ අත අල්ලන්න බැහැනේ. තව දුර වැඩියි. මම වීරිය අරන් නැග්ගා.

හදිසියේම හුළං තද වුණා. මම පහළ බලද්දී දැක්කා, ලොකු පාළම උඩින් මිහිඳු පෙරහැර යන හැටි. එතකොට මම දැනගත්තා, ආයෙමත් මේ හමන්නේ පොසොන් හුළඟයි කියලා. ආපහු පොසොන් මාසයක් ඇවිත්.
නැහැ! මං පොසොන් මාස හුඟාක් පහු කරපු බව මට තේරුණා.

පහළ දී දැනුණට වඩා, කන්ද මැදට පොසොන් හුළඟ තදින්ම දැනුණෘ. මං නිසාම කන්ද නැග්ගේ නැවති නැ‍වති. ඒත් හරියන්නේ නැහැ! එන්න එන්නම හුළඟේ සැර වැඩි වුණෘ. මගේ අත ගිලිහිලා බිමට වැටෙන්න ගිය වාර අනන්තයි. මාව වැටෙන්න යනවා දැකපු කුමාරිකාව බයෙන් කෑගහන සද්දේ මට ඇහුණා.

අස්සෙම ජූලි මාසේ ආවා. උඩින් ගල් පෙරලෙන්න ගත්තු එක තමයි ඉවසන්නම බැරි වුණේ. ගල් වැදිච්චි තැන් තුවාල වුණේ නැතත්, හරියට රිදුණා. මං හිතන්නේ අභ්‍යන්තර ලේ ගැලීම් තිබුණා කොහෙද.

එක පාරටම දියරයකින් මාව තෙත් වුණෘ. ඒවා වැටුණේ කන්ද මුඳුනේ ඉඳන් කියලා මට තේරුණා. මට අමාරු වුණේ නෑ ඒවා හඳුනගන්න. කුමාරිකාව අඬනවා! කඳුළු වලින් මාව නෑවෙනවා! එයාට තනියම අඬන්න දෙන්න බෑ කියලා හිතුණු හින්ද කොහෙද මමත් ඇඬුවා. මං හිතන් හිටියට වඩා හොඳට මට ඇඬිල්ල කරන්න පුළුවන් වුණා. මොකටද බොරු කියන්නේ! මට ඒක නවත්තගන්නත් ලෝබ හිතුණා. උඩින් වැක්කෙරුණු කඳුළු වලටම මගේ කඳුළුත් එකතු වෙලා පහලට ගලාගෙන ගිහින් හසලක වැව පිරෙව්වා. වතුරේ ලුණු රස වැඩි වුණු බව දැනෙන්න ඇත්තේ මාළුන්ට විතරයි මගෙ හිතේ.

"තවත් එන්න බැහැ ඔබට! ඔබ වැටී මැරුණොත්, ඔබව මට දුර සිටවත් දකින්න බැහැ! ආපසු බහින්න!"

එහෙම කියලා කුමාරිකාව දහස් වාරයක් කෑගැහුවා. වුණත්, මම කොහොමද ආපහු බහින්නේ? වෙද්දිත් බාගෙකටත් වඩා කන්ද නැඟලයි මම උන්නේ. "ආපහු බහිනවාට වඩා හොඳයි පැනලා මැරෙන එක" කියලා මම හිතුවා. මම ඒක කුමාරිකාවටත් ඇහෙන්න කිව්වා. උත්තරේ විදිහට එයා කලේ තව තවත් කඳුළු දියරෙ වක්කරලා මාව නාවපු එක.

කඳුළු වල බරයි, කන්දෙ බෑවුමයි දෙකම වැඩි වෙලා තිබුණා වෙද්දී. නඟින ගමන් මම ඉහල බලන හැම වාරයකදීම කඳු මුඳුන තව තවත් දුරින්මයි පෙණුනේ. මගේ ධෛර්යය, අධිෂ්ඨානය කඳුළු දියරෙ දිය වෙලා ගිහින් හසලක වැව පතුලේ තැන්පත් වෙලා තිබුණේ වෙලාවේ.

ඔන්න තවත් ජනවාරියක් ආවා. කඳු මුඳුන ගැන සියළු බලාපොරොත්තු අතෑරලා, ඔහේ බෑවුම දිගේ ඉහලට බ‍ඩගාද්දී, මගේ වම් අතට දැනුණා වෙනසක්. මං ආයෙමත් ඉහල බැලුවා. කඳු මුඳුන මගේ නහයේ ගෑවෙමින් තිබුණා. මෙච්චර වෙලාම ඇස් දෙකෙන් ගලපු ලුණු වතුර, පැණි රස වෙලා පහලට ගලන්න පටන්ගත්තා.

හය අවුරුද්දක්ම මම කන්දේ ගත කරලා කියලා මට දැණුනේ වෙලාවෙයි. මම කඳු මුදුනට නැගලා හිටගත්තා. අවුරුදු හයකට පස්සේ මම කෙලින් හිටගත්තා.

පහලින් හසලක වැව පෙනුණේ, තියෙනවාට වඩා විශාලවට. එක පාරටම වැව විශාල තණබිමක් බවට පත් වුණා. තණබිම ආයෙමත් වැව බවට පත් වුණා. මේ පරිවර්ථනය කිහිප විටක්ම වෙද්දී, දිහා බලන් ඉඳලම ඔළුවේ කැරකිල්ලක් හැදුණු මගේ ඇස් කොණින් මම දැක්කා දකුණු පැත්තේ යමක සෙලවීමක්.

මං බලාපොරොත්තු වුණේ කුමාරිකාව! ඒත් දැක්කේ සෙලවෙන අළු ගොඩක්. මම බය වුණත්, දුවන්න තැනක් නැති නිසා ඔහේ බලන් හිටියා. අළු ගොඩ ඇතුලෙන් කුරුල්ලෙක් මතු වුණා. හරිම ප්‍රසන්න පෙනුමක් ඌට තිබුණේ. මං උගේ පැත්තට යන්න හිතද්දිම, මට දැනුණා මගේ පිටිපස්සෙන් කවුදෝ ඉන්න බව.

මාව වශී කරපු ඇස් දෙක මගෙ දිහා බලන් හිටියා. ඇය මා පිලිගන්න සූදානමින්ම සිටි බව මට පෙනුණා. සුදුම සුදු පිරිසිදු දිගු ගවුමක් ඇඳන්, සුදු මල් ඔටුන්නක් පැළඳ සිටි , සුදු මල් මිටකුත් අරන් හිටියා. ඇයි! තරු හිනාව! ඒක ගැනත් නොකියාම බැහැ. කවදාවත් එච්චර ලඟට ඇවිත් නැති නිසා මම ගොළු වෙලයි හිටියේ. අමාරුවෙන් හරි, මම මගේ හිතේ තද කරන් හිටපු ප්‍රශ්නේ අහන්න දිව නමද්දිම, උත්තරයක් දුන්නා.

"මම එකඟ වෙමි, පියඹන්න ඔබ හා.."

ඇත්තටම ඇය ඒක කිව්වේ නෑ;ගැයුවා. මම, හිටියටත් වඩා හතර පස් ගුණයකින් ගොළු වුණා.
ඇගේ මල් මිට අස්සේ හංගන් හිටපු තවත් මල් ඔටුන්නක් අතට ගත්තා.

"පෙර දිනෙක අතීතයේ
කැන්ඩ්ලීනා කුමරිය නමින්
මා අභිෂේක කල නුඹ
අභිෂේක කරමි මම
(ර්)පලයිස් කුමරුවා නමින්
ඔටුණු පළඳා ධවල පුෂ්පිත"

එහෙම මිහිරට ගයලා, මල් ඔටුන්න මගේ හිසේ පැළඳුවා. මං හිතුවට වඩා ඔටුන්න බරින් වැඩි බව මට දැනුණා. මම ඇගේ මායා දෑස දෙස බැලුවා.

"එහෙමනම්, මමත් අද සිට කුමාරයෙක්" මම එහෙම කිව්වේ කට නොසොල්වමින්.

"ධවල වූ මල් ඔටුණු
නොගලවමි කිසි දිනෙක
ඉගිල ගොස් තටු සලා
දිනා දෙමි මුළු ලොවම"

"ඒත් ඉතින් එහෙම කිව්වට, මට කෝ තටු?" මං කුමාරිකාවගෙන් එහෙම අහන්න හිතද්දිම, මගේම හෙවනැල්ලේ වෙනසක් දැකලා මම තිගැස්සුණා. දෙවියනේ! පුංචි සිනිඳු පිහාටු එකතු වෙලා හැදුණු පියාපත් දෙකක් මගේ පිට දිගට වැවිලා තිබුණා. කිසිම දෙයක් හිතාගන්න බැරි වුණු මම හිනාවෙන්න හැදුවා. ඒත් ඒක පිටවුණේ කොහොමද මන්දා!

මං ඉගිල්ලුණා! තනියම නෙවෙයි. ඇයවත් කරේ තියාගෙන. ඈට තවමත් පියාපත් නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ මගෙ ඔළුවට ආවත්, මං ඒක ඇගෙන් ඇහුවේ නැහැ.

හසලක වැවට උඩින් උදා ඉර වැටිලා දිලිසුණා. මම කවදාවත් නොලබපු සතුටකින් වැවට උඩින් පියෑඹුවා. අතරෙම දහඅට වංගුවෙ ගාටන බස් වලට අත වනන්නත් අමතක කලේ නැහැ.

තවමත් හරි පුරුද්දක් නැතත්, ඉගිල යාම සාර්ථකව කරන්න මට පුළුවන් වුණා. මගේ ගෙල වටා අත යවා ගී ගයමින් සිටි ඇගේ හඬ අහගෙනම මම, ඈතින් ඇදහැලෙන රත්ත ඇල්ල දෙසට පියෑඹුවා. බලාපොරොත්තු කෝටියකුත් සාක්කුවේ දමාගෙන.



2011 ජුනි 13


No comments:

Post a Comment

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!