2011/08/16

සයුරෙන් එතෙර ගිය ප්‍රේමය



ඔය යස නෙතින් ගිලිහෙන රැස් විඳින්නට
ඔබෙ ඔය ලගන්නා සිනහව දකින්නට
ඔය දෙතොලින් කියනා කවි අසන්නට
එනවාමයි ළඟඳී නුඹ දකින්නට

ඔහු

සියුමැලි කුමරියේ නොගනින් මහන්සිය
දහඩිය කඳුළු නුඹ වෙත දෙයි රිදුම් සිය
සිනහව මුව ඇඳන් නුඹ ලඟ ගනන් පැය
ඉන්නට ලඟට එමි මම නොම ගනින් බිය

ඇය

වෙහෙසක් දැනේ එනමුත් එය කමක් නැතී
සිනහව දකින සඳ නුඹෙ මුව විඩා නැතී
කුමරුනි දකින තුරු නුඹ ඉවසුමක් නැතී
තුන් තිස් පැයේ මගෙ නෙතු දැන් නිදිත් නැතී

ඔහු

හිටියත් කුමරියේ මම කෙලවරක ලොවේ
තවමත් නුඹේ නම කියමින් මහද ගැහේ
දුරු රටකට ගියත් එදවස ගුවන් නැවේ
නුඹමයි මගේ තනි මල ප්‍රේමයේ ගහේ

ඇය

එන දවසකදි මගෙ කුමරුනි දැකගන්ට
ගෙන එනු මැනවි ඒ පෙම් මල සිපගන්ට
පෙම් මල තුරුළු කර ළමැදේ සතපන්ට
ඔබ එනවාද පෙර මගෙ නෙතු පියවෙන්ට

ඔහු

රන් මිණි මාලයක් නුඹගේ ගෙල රන්දා
කාසි සොයාගෙන කරකාරය බන්දා
ඒ සිහිනයේ හිඳිමින් මම දුක වින්දා
සයුරින් එතෙර නැව් නැග්ගේ නුඹ හින්දා

ඇය

රන් මිණි මාල නැතුවට මට කම් නැතුවා
රන් මසු පොදිවලට මම නම් සිත් නැතුවා
බැඳ කරකාරෙ නුඹ ළඟ ඉන්නට සිතුවා
යළි එනු මැනවි ඉන්නට බෑ නුඹ නැතුවා

ඔහු

නැතිබව ආලයක් රන් මිල මුදල කරා
හොඳ හැටි දනිමි පෙම් කල නුඹ මසිත අරා
එනමුදු ල‍ඳේ නුඹෙ නෑසිය පරම්පරා
සනසනු තකා රන් සොයනෙමි වෙහෙස මරා

ඇය

අප සිතු සිතුම් අප පමණයි හදුනන්නේ
ඇතුවට කම් නැතේ උදහස නෑසියනේ
උන් කියනා බසින් නැහැ අප වෙන් වන්නේ
විගසට පැමිණ තුරුලට මා අර ගන්නේ

ඔහු

එක වහලයක එක හෙවනක එක් වන්න
සුර සැප නැතත් යහතින් ජීවත් වන්න
අතමිට සරුව කරගෙන යලි මම එන්න
තව එක මාසයයි ඇත්තේ ඉවසන්න

ඇය

සුර සැප ඇතේ නුඹ සෙවණේ රැ‍‍දෙන කල
ළතැවුල් පලා යයි පෙම් සුව විඳින කල
සිහිනෙන් දුටිමි සිප ගනු නුඹෙ මුව කමල
සිහිනය සැබෑ වනු ඇත මස ගෙවුණු කල

ඔහු

තනි නෑ කෙදින ඒ සිහිනය නුඹ දකිනා
ඔය මුව සිපිමි හැම සිහිනෙම මට පෙනෙනා
දෙකොපුල රැඳි සුවඳ ලං ලං වී විඳිනා
දින එන තුරා මයෙ හිත ඉවසුම් සිඳෙනා

ඇය

කුමරුනි නුඹේ එවදන් ඇසෙනා විටදී
මගෙ සිත කිති කැවෙයි මඳහස මුව රැන්ඳී
උණුසුම් හාදුවක් මා නෙතු තවරා දී
ගිය හැටි සිහිවුණා දුරු රට නුඹ සමු දී

ඔහු

කරුණක් කොහි ද එහෙනම් හිත දුක් ගන්න
කඳුළක් නැඟුණි නම් දෑසේ පිසගන්න
අසුරක් ගසන සැණ එමි නුඹ සනසන්න
සිරුරින් දුර වුවත් මනැසින් විඳගන්න

ඇය

මෙතුවක් සිතේ රැඳි දුක දැන් දුරු වූවා
නුඹෙ කවි වලින් මා සිත මන්මත් වූවා
එන බව මා දකින්නට නුඹ පැවසූවා
යළි නුඹ දකිනු රිසියෙන් සිත ලොබ වූවා
.

(මුහුණුපොතෙහි, "කලු අහසේ නෑදෑයෝ" සමූහය තුල ලියැවුණු කවි පෙලකි)

8 comments:

  1. @දිනේෂ් - ස්තූතියි දෙදෙනාම වෙනුවෙන්!!

    ReplyDelete
  2. රෂ්මි සෙව්වන්දිAugust 19, 2011 at 10:55 PM

    මල්ලිට ගොඩක් ස්තුතියි අපේ මේ කවි සංවාදය තවත් ලස්සන කරල මේ විදිහට කාලාකාශයේ සටහනක් තිබ්බට......

    ReplyDelete
  3. wooooowww................ itz really nice... @rashmi akkia- heart touching one...
    @sahan- good work buddy, awesome

    ReplyDelete
  4. wooooowww................ itz really nice... @rashmi akkia- heart touching one...
    @sahan- good work buddy, awesome

    ## rajitha ##

    ReplyDelete
  5. රෂ්මි අක්කාටත් රජිත සොයුර ඔබටත් බොහොම ස්තූතියි!

    ReplyDelete
  6. කවි පබැදුමක් කර ගන්නට නැතුව හැකක්..
    හිටියා මම නිසොල්මන්ව විනාඩියක්...
    ඔහුගෙ මුවින් ඇය ගෙන කිව් වචන ටිකක්....
    කිය්වන්නට සිතුනි මටත් නැවත වරක්...

    ReplyDelete
  7. බොහොම ස්තූතියි සොයුරු ලක්මාල්!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!