2010/08/29

ඇත්ත කවි දහයක්


සහස් දන යන එන
පුරවර වීදි අතරින
‍දැනේ මට තනිකම
නැති නිසා මා ලඟින් නුඹෙ හිත

වගේ පෙර හුරුවට
දෙවන මහලේ කවුළුව
තුලින් මියුගුණ බැලුවම‍
වැටුණි කඳුළක් ඇසට නොදැනිම

හිරු ද නොනැඟුන අළුයම
සුබම සුබ වූ උදෑසනකට
ලැබුණි පැතුමන් පෙර දින
එනද සිහි වී දෙනෙත බර විය

සෑම රැය දුටු සිහිනෙක
නිබද සිටියා සබඳ පෙර නුඹ
නමුදු මේ අද දින
නොමැත මගෙ සිහිනයකවත් නුඹ

ඇඳුනි නුඹෙ රුව එදවස
දම් මල් දකින හැම විට
සිර වේ මහද මෙදවස
දම්වැල් සියක් වෙලූ තරමට

ඈත දුර වලා රොද
ගැටෙද්දී හරිත මුදුනත
පෙර දා ලියූ කවි පද
දැක මගේ හද සිදුරු වේ අද

පොත් ගුල ඉදිරිපිට
සිප්හලේ රොබරෝසි සල් මත
දහස් ගණනින් නලියන
අහිමි ස්නේහයෙ රේණු දුටුව ද?

ගව් සිය දුර වුව ද
ම‍ගේ ළය ඉකිබිඳින තාලෙට
නුවර වරව මතුපිට
රළ බිදෙන හඬ අසනවද නුඹ

හන්තාන සිපගෙන
බහිරව කන්ද වහගෙන
මේකුළු නඟින කොට
මගේ කඳුලින් නුඹව තෙමුන ද?

නුඹේ මුළු දිවියට
නියං සමයක් යලි නොඑනු ඇත
අපමණක් වූ කඳුළු වැහි දිය
මගේ දෙනෙතින් පුදමි ඔබ වෙත

2010 අගෝස්තු 29

No comments:

Post a Comment

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!