2011/01/05

-සමුගමී-

ප්‍රේමයේ පන්හිඳෙන් කවි වදන්                අමුණමී
රුධිරයේ තින්තයෙන් නිරතුරුව            ලියනෙමී
සිහිනයේ අළු වලින් අවකාශෙ                   පුරවමී
හැමදාම හැමරෑක පාළුවෙන්                  තනි වෙමී

නුඹ දුරක ඇදෙද්දී මා මෙතැන                  නවතිමී
දිනෙන් දින පැයෙන් පැය බිඳෙන් බිඳ        මියයමී
ආත්මය සුළඟ මත අමුණගෙන                  මම එමී
නුඹටවත් නොදැනෙන්න නළලතර         දැවටෙමී

හිතේ මතකය අතර අතරමං                   වන්නෙමී
නුඹට ඉඩ දී යමී මගෙ ලොවේ                තනි වෙමී
මා නුඹෙන් උදුරගත් සියළු දේ                 යලි දෙමී
නැවත නොහැරෙන්නෙමී මා නුඹෙන්        සමුගමී

වියෝවේ පුළිඟු මැද ජීවිතය                      හැර යමී
නුඹ උපන් භූමියේ පස අතර                    මුසු වෙමී
මතු දිනෙක නුඹ තනන නිවසෙ     ගඩොළක් වෙමී
අව් වැසිද වලකමී ආදරෙන්                        රැකගමී

-පද්මසංඛ-