2012/01/06

ඔබ අහස මම



සහස් සෙනෙහස් අහස් සයුරක් සිතේ ඇතිමුත් පැතිරිලා
අරුත් නොදනිම් කුමක් වෙනුවෙන් විසල් පෙම සැදුනිද කියා
කිසිත් අහිතක් නොමැත සොඳුරිය කුමක් කල මුත් නුඹ එදා
‍දනිමි නුඹෙ සිත් මඬළ සිතියම් මගේ සිත නුඹටත් වඩා

මාපියන් හිරු සඳුගෙ වෙස් ගෙන නුඹේ ලොව එලි කල නිසා
සිතුනි මොහොතක නුඹට මගෙ පෙම නොපෙනෙනා තරමැති කියා
ඇසළ අඳුරට හසුව මට මා පවා නොපෙනී ගිය එදා
සිතාගත්තෙමි තාරුකාවක් වන්න නුඹ වෙනුවෙන් සදා

සියක් රෑ කල් ගෙවුණුමුත් ඒ තරුව සෙනෙහස පැතිරුවා
නොබැස කිසිදා අවර අහසින් එළිය තව තව විසිරුවා
හාත්පසඳුර උහුලගනු බැරි විටෙක වැසි දිය ඇතිරුවා
සියක් උල්කා වැටුණුමුත් වේදනා අදරින් ඉවසුවා

සිනිදු පෙති දැඩි කරන්නට ගත් නොතේරුම් සිත සිතුවිලී
කෙලෙස එය කල හැකිද මසොඳුර මිලින වෙද්දී මල් පෙතී
සදාකාලික දෑත් ලොව තුල පවතිනා බැව් පසක් වී
පතා මරණයෙ පහස සිටි මා කරා ආවා නුඹ යලී

අතීත‍යෙ ගත් අඳුරු තීරණ තියුණු මුත් හීයට වඩා
පෙමින් සුව කල හැකියි හදවත් සිදුරු කල පැල්ලම් මකා
නුඹේ නිසසල ජීවිතේ දෙදරුම් වුවත් අද මා නිසා
ස්නේහයක් නිති ගලයි නුඹ වෙත නොලබනා ලොව අන් දනා

නුඹේ අහසට තාරුකාවක් වූ නමුත් මා ඒ සමේ
නොවෙයි අද මා පුංචි තරුවක් නුඹේ අහසම මෙමා වේ
විටින් විට චලිතමුත් දෙරණත උඩු  අහස සෙලවෙනු කෙසේ
සසර දිගු මග නුඹට සවිමත් වියණ් තලයක් වෙමි නඟේ

2012 ජනවාරි 06

No comments:

Post a Comment

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!