2012/04/17

හිම හොරා!

වෙනදාට උදේ පාන්දරින්ම මූණුපොතට එබුණත් අද එසේ කිරීමට නොහැකි වුණු මට, දුරකතන පණිවිඩයකින් දැනගන්නට ලැබුණේ හරිම පිළිකුල් සහගත දෙයක් පිළිබදව! කවි හොරකමක් ගැන! එසැණින් මම පොඩ්ඩක් බැලුවා කවි පිටු වලට එබිලා! සුදීපා මිහිරි කිවිදියගේ "හිම" නමැති නිර්මාණය, "Sandesa Kavirathna" යන නමින් පෙනී සිටින්නෙකු විසින් හොරකම් කර, කවි පිටු කිහිපයක පල කර ඇති වගයි දැකගන්නට ලැබුණේ! ෆේස්බුක් භාවිත කරලා කවි ලියන බොහෝ දෙනෙක් මේ හොරකමට විරුද්ධව මිහිරි අක්කා වෙනුවෙන් නැගී සිටි අයුරුද දැකගන්නට ලැබුණා!

ඒ අතරේ "මහ කොළඹ කවිය (The City Poem)" පිටුවේ මේ පිළිබදව ඇතිවී තිබුණු සංවාදයේදී අමුතුම දෙයක් දැක්කා! "කවි පුහුලක්" හොරා ගත් හොරෙකු, තමන්ට චෝදනාවක් එල්ලවන්නටත් පෙරම, කර අත ගා පුහුල් අළු පිසදමාගැනීමට ගත් උත්සාහයක් වැනි යමක් පෙනුණා මට! සුදීපා මිහිරි කියන කෙනාව මම හදුනාගත්තේ අද ඊයේ නොවෙයි! මේකෙ ඉන්න ගොඩක් කවි කාරයොත් සුදීපා මිහිරි කියන නම බොහෝ කලක සිට හදුනනවා! ඇගේ නිර්මාණ රසවිදිනවා! නමුත් මා පෙර කී කවි පිටුවේ සිටි ජ්‍යෙශ්ඨ කවියෙකු හැසිරී තිබුණේ, සුදීපා මිහිරි යන වචන දෙක අද ඇසූ පරිද්දෙන්! සැබෑ හොරා, බොහෝ කලක සිට අපට හුරුපුරුදු මිහිරි අක්කාද, එසේත් නැතිනම් අද ඊයේ මතු වුණු ආගන්තුක Sandesa Kavirathna නමැත්තාද යන වග හදුනාගැනීම, පුහුල් හොරාට මහා උභතෝකෝටිකයක් වී තිබුණා! එමෙන්ම ඔහු ලියා තිබූ දේවල් වලින් ව්‍යංගව අදහස් කෙරුණේ "සමහරවිට Sandesa Kavirathnaගේ කවියක් සුදීපා මිහිරි විසින් හොරකම් කලා වීමට පුලුවන් ය" යන අදහස! පැහැදිලි සාධක තිබියදී, සැබෑ කවි හොරා සොයාගැනීම සදහා පුළුල් මෙහෙයුමක් කරන්න සාක්ෂි සොයන උපාසක රහස් පරීක්ෂකයෙකුගේ චරිතයක් ආරූඪ කරගෙන සිටියා ඔහු ඒ වෙලාවේදී!

මිහිරි අක්කාට, වෙනත් සොච්චමි කවියෙකුගේ කවියක් සොරකම් කර, එය තමන්ගේ නමින් පල කිරීමට කිසිම අවශ්‍යතාවක් නැති බව පැහැදිලි කරුණක්! එය, මිහිරි අක්කාගේ කවීත්වයේ දිග පළල දන්නා අප හැමෝටම වැටහෙනවා! මීට පෙර ද කවි හොරකම් මූණුපොත ඇතුලේ දැකලා තියෙනවා උනත්, මේක ඊට වඩා වෙනස් විදිහටයි මං දකින්නේ! සිතාමතාම මිහිරි අක්කාව රිදවා ඇයව වැට්ටීමට ගත්තු උත්සාහයක් විදිහටයි මේක මට පෙණුනේ! එහෙම නැතුව, කෙනෙකු කවියෙක් ලෙස පෙනී සිටින්නට ගත්තු උත්සාහයක් නෙවෙයි! ඒ වගේම මේක කරන්නේ අපි අතරෙම ඉන්න කෙනෙක් කියලත් දැනෙනවා! නොඑසේනම්, තමන්ගේ සැබෑ ප්‍රොෆියිලයෙන් සුදු චරිතයක් මවාපාමින් අප දන්නා හදුනන කෙනෙක්ම ෆේක් ප්‍රොෆියිලයක් භාවිතයෙන් මේ කුමන්ත්‍රණය දියත් කරනවා විය යුතුයි. දිගින් දිගටම මෙහෙම කරද්දී, මිහිරි අක්කා කළකිරී මූණුපොතේ කවි පළකිරීමෙන් ඈත් වේවියි ඔහු සිතනවා ඇති!

මේ නිර්මාණය පලවීම ගැන හෝරා සාක්ෂි ඉල්ලන්නන් වෙනුවෙන් මං පහත සටහන ඉදිරිපත් කරන්නම්! "හිම" නිර්මාණය මා මුලින්ම දුටුවේ ඊයේ හවස මිහිරි අක්කාගේම ප්‍රොෆයිලයේ! එසැණින් මා එයට කොමෙන්ට් කරනු ලැබුවා!

ඈ නිර්මාණය පල කර තිබුණේ සවස 5.09ට! 

ප.ව. 5.38- Sahan Padmasangkha Peiris- කෛලාස කියන්නේ මොනවද අක්කියෝ?

ප.ව. 5.40- Sudeepa Mihiri- හිමාලය කිට්ටුව තියෙන කන්දක් මල්ලි :)

ප.ව. 5.42- Sahan Padmasangkha Peiris- අහ්! තැන්කිව්! !

Sandesa Kavirathna නමින් පෙනී සිටින්නා විසින් මේ නිර්මාණය "මහ කොළඹ කවිය (The City Poem)" පිටුවෙහි පල කල වේලාව ලෙස සටහන් වන්නේ පස්වරු 5.37යි!

මහ කොළඹ කවිය පිටුවෙහි 5.37ට පලවූ කවියටම ඊට විනාඩියකට පසු 5.38ට මා විසින් කොමෙන්ට් කර ඇත්තේ මිහිරි අක්කාගේ ප්‍රොෆයිලය තුලදී!

:)


පසුව මම මේ නිර්මාණය "කලු අහසේ නෑදෑයෝ" පිටුව තුලදීත් දුටුවා! එහි වෙලාව සටහන් වෙන්නේ පස්වරු 5.06 ලෙසින්!

මිහිරි අක්කා විසින් මෙයම "සදැස" පිටුවේද පලකර ඇත්තේ පස්වරු 5.06ටයි!

කෙසේ වෙතත් තමන්ගේ නිර්මාණයක් කොල්ලකෑමට ලක්වූ විට, නිර්මාණකරුවාට හිත් වේදනාවක් දැනීම සාමාන්‍යයි! නමුත් මෙතනදී මිහිරි අක්කා දුක් නොවිය යුත්තේ, ඇයගේ නිර්මාණය විකෘති මානසිකත්වයක් ඇති බූරුවෙකුගේ කොල්ලකෑමකට ලක්වීම ගැන දැන් බොහෝ දෙනා දැණුවත් නිසා යි. අප සියලු දෙනා හදවතින්ම මිහිරි අක්කා සමග සිටිනා නිසායි! එමෙන්ම බොහෝ දෙනා මෙවැනි හොරකම් ගැන අවධානයෙන් සිටීමද හොරකමක් වූ විට නැගී සිටීමද අගය කල යුත්තක්!

දුප්පත් මානසිකත්ව ඇත්තවුන් විසින් නිර්මාණ කොල්ලකෑම කෙසේ වෙතත්, මේ ආකාරයට සැලසුම් සහගතව නිර්මාණකරුවන්ට ඉරිසියා සහිතව වල කපන්නට උත්සහ දරන කුහකයන්ට සැබෑ නිර්මාණ කරුවන් යට විය යුතු නැහැ! නමුත් අපි අවධි මනසින් සිටිය යුතුයි! මක් නිසාද, අප අවට සුදු රෙදි පොරවාගෙන සැරි සරන්නන්ම, වෙස් මුහුණු ගලවා දමා පැමිණ අපගේම බඩට පිහියෙන් ඇණීමට හොදින්ම ඉඩ ඇති නිසා ය. මිහිරි අක්කට අද වුණු දේ හෙට තවත් කෙනෙකුට වෙන්න පුලුවන්!



කඳු මුදුන නුබ සිඹින පරදවන කෛලාස
සුසුදු හිම සළු දරන පතා උණුසුම් පහස 
නොදැන සීතල දවන තවත් ගුලිවෙන රහස 
පහදන්න හැකිවෙයිද හිම කැටයකට කෙලෙස 

මිදුණු දිය බිඳිති තුඩු සරින් නැගි මඳ හාස 
පිපුණු මල් පියල්ලට කිමද ඔය අපහාස 
වසත් හිරු කිරණ මැද වින්ද උණුසුම් පහස 
අමතකව නොව සබඳ සිසිරයෙක තුටු සහස 

ධවල හැම සියල්ලම පිවිතුරුම නැත මිතුර
සම වෙයිද නුඹට අර ගලන නිල් දිය දහර 
පලක් වෙද ඇතත් පොළොවම වසාගෙන නිතර 
පවස නිවනට හැකිද දිය බින්දුවක් විතර 

සිසිරයෙහි මිදුණු වස්සාන මතකය අතර 
පතිත රඹ වන් පතක් මියෙන විට හිම අතර 
සීතලට කීරි ගැහෙනා ගසක අතු පතර 
දුටුවාද සලිත හිම මලක් හිරු දැක නිතර

2012 අප්‍රේල් 17



2 comments:

  1. කවි වගේම තමා සහෝ මේ බ්ලොග් කලාවෙත් ලිපි සොරකම් තියෙනවා.ඒත් ඒවාට මොනවා හරි කරන්න නීතියෙන් බැහැනේ.පුළුවන් එකම දේ මොකක් හරි ක්‍රමයක් බාවිතා කරලා අපේ ලිපි,කවි වගේ ඒවා රැකගන්න එක.එහෙම නැතුව හොරකම් කරාට පස්සේ කෑගහලා වැඩක් නැහැ.

    ReplyDelete
  2. මූණු පොතට එකතු කරන අපේ නිර්මාණ , මූණූ පොතට එකතු කළාට පස්සේ ඕනෙ කෙනෙකුට හොරකම් කරන්න පුළුවන් එතැනදී සැබෑ නිර්මාණ කරුවාට වේදනාවක් දැනීම සාධාරණයි. අපිට ඉතින් ඊට පස්සෙ කරන්න පුළුවන් වෙන්නේ අනිත් අයව හොරකම ගැන දැණුවත් කරන එක විතරයි.

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!