2012/08/16

මාගේ පුතුට මල්



මනෝහාරී! චූටි කාලේ නොවරදවා බලපු රූපවාහිනී වැඩසටහනක්! මගේ අම්මා සහ තාත්තා මට හුරු කරලා තිබුණේ ඒ වගේ ඒවා බලන්න! අනික් අතට ඒ ජාතික රූපවාහිනියේ ස්වර්ණමය යුගය විදිහටයි මට හිතෙන්නේ! වෙනත් වානිජ නාලිකා තිබුනෙත් නෑ! ඒක නිසා හරසුන් වැඩසටහන් පෙන්නලා ප්‍රේක්ෂකයෝ ඇදගන්නට තරඟ කරන්න, ජාතික රූපවාහිනියට ප්‍රතිවාදීන් හිටියෙත් නෑ! හරවත් වැඩසටහන් නරඹනවා හැරෙන්නට විකල්ප අපට තිබුනෙත් නැහැ! දැන හෝ නොදැන අපි ඒ වගේ වැඩසටහන් බලලා වටිනා දෑ උකහා ගත්තා!

පුංචි බබා චිත්‍රපටයේ එන "මාගේ පුතුට මල්" ගීතය, සිසිර සේනාරත්නයන් විසින් මනෝහාරී වැඩසටහනේ ගායනා කල අයුරු මට කවදාවත් අමතක නොවෙන දර්ශණයක්! ඔහු ගීතය ගයන අතරේදීම ප්‍රේක්ෂකාගාරය අතර සිටි පුංචි හුරතල් දරුවෙකු අතින් අල්ලාගෙන වේදිකාව මතට ඒම, එදවස පුංචි මට දැණුනේ වීරකමක් විදිහට! ඒ හරහා මං ඒ ගීතයට ආසා කලා! ඒත් මට ගීතයේ තේරුම දැණුනේ නෑ! අම්මාගෙන් අසා එහි අරුත දැනගැනීමෙන් පුංචි මම ගොඩක් සංවේදී වුණා! සිසිර සේනාරත්නයන් පියා හැටියටත්, ප්‍රේක්ෂකාගාරයේ සිට කැඳවාගෙන ආ දරුවා මව අහිමි දරුවා විදිහටත් මට ඒ මොහොතේදී දැණුනේ! පසුව ඒ ගීතය ජාතික රූපවාහිනිය තුල නැවත නැවත විකාශණය වෙද්දීත් මට ඒ සංවේදී හැඟීම දැණුනා! කාලෙකට පස්සේ අද, මමත් නදියාත් සිදුකල දුරකතන සංවාදයක දී මේ ගීතය ගැන කතාබහක් මතු වීම හරහා නිකමට වගෙයි මම යූටියුබය තුල සෙවීමක් කලේ! පැරණි සංවේදී මතකයක් අලුත් කරමින්, එදා මනෝහාරී වේදිකාවේ දී සිසිර සේනාරත්නයන් විසින් ගැයූ ගීයම සෙවීම් ප්‍රතිඵල තුල දැකීමෙන් මගෙ හිතට ලොකු සතුටක් දැණුනා! පැරණි මතක හරි ප්‍රබලයි! ඒ මතක, කුඩා කාලයේ සිටම පැවත එන ඒවා නම්, ඒ ප්‍රබලත්වය තවත් වැඩියි! අද, දස හතාවකට වඩා ඇසුවා ගීතය! තවත් අසාවි!

2012 අගෝස්තු 16

2 comments:

  1. පුංචි බබා චිත්‍රපටිය රූපවාහිනී නාලිකාවක ගියොත් නොවරදවාම බලන්න. මේ ගීතය තියන ජවනිකාවේ ජෝ අබේවික්‍රම මහතා මොන තරම් සංවේදී චරිත නිරූපනයක් කරනවද කියලා. සිසිරගේ අති විශිෂ්ට ගායනය ජෝට මහත් රුකුලක් වී තියනවා වගේම තමන්ට අයිති නැති පුංචි බබෙක් හදාවඩාගන්නට සිදුවූ තනිකඩයෙකුට (චිත්‍රපටි කතාවේ සිදුවන්නේ එයයි) දැනෙන හැඟීම් ජෝ ඉතාම දක්ෂ ලෙස නිරූපණය කරනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත විචාරක! සම්පූර්ණයෙන්ම නරඹා නැතත්, බාගයක් බලලා තියෙනවා මමත්!

      Delete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!