2014/06/30

හුළං කාලය


වෙසක් පොහොය පහුවනවාත් සමඟම හසලක - මහියංගනයට එළැඹෙන්නේ නියං සමයයි. වර්ෂාව නැවතී පතිත වන දැඩි අව්රශ්මියට පොළව වියළා දමන්නට උදව් සපයමින් පොසොන් මාසයේ ආරම්භයත් සමඟ ගස් කොළන් අඹරවාගෙන, දුහුවිලි අවුස්සාගෙන හුළං කාලය ද පැමිණෙයි. හුළං කාලය යනු මගේ මනස මටම නොතේරෙන කුමක්දෝ දුකකින් පුරවා දමන කාලයකි. අවට පරිසරයේ ක්ෂණිකව සිදුවන්නා වූ වෙනස් වීම් එයට හේතු වන්නායි මට හැඟේ. මා අතිශයින් ආශා කරන වැස්ස හිටිහැටියේ නතර වේ. ගහ කොළ මලානික වේ. අම්මාගේ මල් පැල එකතුවේ ඇතැම්වා මියැදේ. මිදුලේ ද පාර දෙපස ද තණ පත් මියැදී දුඹුරු පැහැයට හැරේ. උල්පත් සිඳී යයි. කන්දේ උල්පතකින් ජලසම්පාදනය කරන නිවාස ජල නළ පද්ධතිය මුළුමනින්ම බිඳවැටේ. නිවසේ කටයුතු සඳහා තාත්තාටත් මටත් පහළ නළ ළිඳෙන් වතුර ඇදීමට සිදු වේ. නිවසේ පිටුපස කොටසට වසා ඇති සීට් ගසාගෙන යාවි දැයි බිය වීමට සිදු වේ. රැජිනක් සේ ඇද හැළුණු රත්න ඇල්ල, විශ්වාස කරගත නොහැකි තරමට කෙට්ටු වේ. වැවට ඉහළින් සිටගන්නා බටගල, නිල් පැහැ ඇඳුම් අතැරලන්නට පටන් ගනියි. 

අවුරුදු කිහිපයකට පෙරදී හුළං කාලයේ පාසල් යාම ද එපා වන අයුරු මට මතක ය. අද කිසි විටෙක නොපීරුවත් එකල මහත් සේ සැලකිලිමත් වී පීරෑ කොණ්ඩය නිවසින් එළියට බට විගස හුළඟ විසින් අවුස්සා දමයි. එකම විසඳුම වූයේ තහනමට පිටින් වුව හොරාට හෙයාජෙල් ගෑමයි. ටැප් එක වෙත දුවා කෙතරම් මූණ සේදුව ද පලක් නැත. පාසල් බිම වැලි කුණාටුවෙන් වැසී යයි. ඇස් වලට වදින දුහුවිල්ල දැවිල්ලක් ද කැසීමක් ද ඇති කරවයි. දුහුවිල්ල ආඝ්‍රාණය කිරීම, නාසය අැවිලෙන තෙත් බවකින් පුරවා දමයි. කොණ්ඩය අස්සේ වැලි කැට රැඳේ. උදයේ පාසල් මිදුල අතුගෑම සිදු කිරීමේදී ද අප මහත් අපහසුතාවයට පත්වේ.

අපගේ උසස් පෙළ පන්ති කාමරය තිබූයේ තෙවන මහලේ වුව ද, අපට බේරීමට නොහැකි විය. පන්ති කාමරය තුළට ද වැලි කුණාටුව කඩා වදියි. සර සර හඬ නංවා පොත් පිටු මතට වැලි පතිත වේ. මෙවන් අවස්ථාවන්හී දී අප ලේන්සුවෙන් නාසය වසාගන්නා මුත්, රසායන විද්‍යා ගුරුතුමා කිසිදු අපහසුවකින් තොරව දිගින් දිගටම හඬගාන අයුරු දුහුවිලි අස්සෙන් අපට පෙනේ. "සහන්ලට සුරේෂ්ලට ඉතින් හරි ප්‍රශ්න.. දූවිල්ලද අරකද මේකද" වැන්නක් කියා අපේ අපහසුතාවය පිළිබඳ "කිණ්ඩියක්" ද දමයි. හුළං කාලයෙහි අප ලද එකම ආස්වාදය වූයේ හිටිහැටියේ හමන හුළං පහරට ගැහැණු ළමුන්ගේ ගවුම් උඩ ඉගිලීමෙන් නිරාවරණය වන දෙකකුල් නැරඹීම පමණි. ගවුමක් උඩ යන මොහොතක් පාසා, "මේ වගේ හුළං වලට මං හරී ආසයි" කියා මගේ හොඳම යහළුවා එකල පවසයි. :-)

මෙසේ, මා කැමති බොහෝ දෑ අවලස්සන කරනා හුළං කාලය මා හට අප්‍රියජනක වීමට තවත් කාරණා කිහිපයක් ප්‍රබලව හේතු වන්නේයි මට හැඟේ. මගේ ප්‍රථම සහ එකම ප්‍රේමය මා හට මුනගැසෙන්නේ පොසොන් පොහොය දිනකට පසු දිනයකදී පැවැත්වුණු බැති ගී ප්‍රසංගයකදී ය. එනම්, හුළං කාලය එළැඹීමට ඔන්න මෙන්න කියා තිබියදී ය. කිසි දා එවන් හැඟුමක් නොපුරුදු වූ මට ඈ නැවත දැකීමේ දැඩි උවමනාවක් ද ඒ සමඟම යම් දරුණු වේදනාවක් ද දැනෙන්නට වූයේ හුළං කාලයේදී ය. පසුව පොසොන් බැති ගී වැඩසටහන් හේතුවෙන් අප නැවත නැවත හමු වූයේ ද හුළං කාල වලදී ය. එකල ඇයට රහසින් පෙම්බැඳි මා ඇයව දැකීමට පොසොන් කාලය එළැඹෙන තෙක් ඇඟිලි ගැන්න නමුදු, බැති ගී වැඩසටහන් නිමා වීමත් සමඟ සිදුවන ඇගේ නික්මීමේ වියෝ දුකින් මා පෙළෙන්නට වූයේ ද හුළං කාල වලදී ය. අද ඈ මට හිමි වී ඇතත්, හුළං කාලය එළැඹීමත් සමඟම පැරණි වේදනාබර මතක තැවරූ අඳුරු බවකින් මා සිත වැසී යයි. හුළං කාලය පුරාම හාත්පස පැතිර යන එයටම ආවේණික සුවඳ ඒ අඳුරු බව තව තවත් තීව්ර කරයි. 

ඉතින්, මේ සියල්ලත් සමඟ වචනයේ පරිසමාප්තියෙන්ම හුළං කාලය මගේ හිතට මූසල කාලයකි.

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජුනි 30

7 comments:

  1. අපි අම්පාරෙ ඉන්න කාලෙ, දේශගුනය මේ වගේමයි. වෙනස මේ තරම් දැඩි සුළඟක් නොතිබීමයි. තෙත් සහ වියළි කලාප දෙක බෙදා වෙන් කරන සීමා වැට ඇති හසලක මහියංගන කඳුවැටි විසින් සුළං ප්‍රවාහය නවතා දැමූව ද තෙත් කලාපයට අනෝරා වැසි ඇද වැටෙද්දී වියළි කලාපයේ අපි දැඩි නියඟයකින් පීඩා වින්දෙමු.

    ReplyDelete
  2. //නිවසේ කටයුතු සඳහා තාත්තාටත් මටත් පහළ නළ ළිඳෙන් වතුර ඇදීමට සිදු වේ.

    mama inna Anuradhapura ma davs wala apita mahami. vasanvakta tiynna nala lida apee ge esaraha tiyana eka thami

    ReplyDelete
  3. හරිම සුන්දර අකුරු කිරීමක්... ඔබ සුළග සමග ජීවිතය අකුරු කරලා.. මොනවා වුණත් අනික් ඒවාට සාපේක්ෂ ව ගෙදර වහළය හුළගට යන බව කියූ විටනම් මට ගොඩක් දැනුනා. මොකද මමත් ඒ බයෙන් කාලයක් ජීවත් වුණ නිසා.. අදටත් මං හුළගට බය ඒකයි......

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි සහෘද සියල්ලන්ගේම ප්‍රතිචාරයන්ට! :)

    ReplyDelete
  5. උඹ ලියන දේවල් සිරාවටම රසවිදින්න පුළුවන් වෙන්න ලියනවා..

    ReplyDelete
  6. කතාව හරිම සුන්දරයි,රසවත් ඒ වගේම නිවැරදියි.දැඩි ආශාවකින් රසවින්දා.

    ReplyDelete
  7. දිනේෂ් සහ හැලප කඩේටත් බොහොම ස්තූතියි! ‍^_^

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!