2014/06/17

ඔලුවේ ගිණ්දර


පහුගිය දින කිහිපයේ රටේ සිදු වූ අනපේක්ෂිත නොවන කාලකණ්නි සිදුවීම් පෙලත් සමඟම, 90 දශකයේ මුල් අවධියේ දී ළමා කාලයේ මා නැරඹූ, මගේ ළමා මනස කම්පනය කල ඉතා පැරණි Stop-Motion කෙටි චිත්‍රපටයක් වෙත මගේ මතකය ඇදී ගියා! ජාතික රූපවාහිනියේ ස්වර්ණමය අවධියේදී විකාශනය වූ එය, ටයිටස් තොටවත්ත මහතාගේ සිංහල හඬ කැවීම නිසා, ලාංකික ළමා මනසට පමණක් නොව, වැඩිහිටි මනසට ද මනා ලෙස ආමණ්ත්‍රණය කල නිර්මාණයක් වුණා! එහි නම "ඔලුවේ ගින්දර"! ගිණි සිළුවක හැඩයට ඇඳපු, ලංකාවට සමාන රූපයක් තිරයට පැමිණීමත් සමඟ පසුබිම් කථනයකින් තමයි චිත්‍රපටය ආරම්භ වන්නේ! මට මතක විදිහට ඒ කටහඬ ප්‍රේම කීර්ති ද අල්විස් මහතාගේ! ඒ ගිණි සිළුව රටක් විදිහටයි ඔහු හඳුන්වන්නේ! ඒ රට තුල සිදු වුණු ඛේදාන්තයක් ගැනයි චිත්‍රපටය දිගහැරෙන්නේ! මම ඒ කියපු ලංකාවේ හැඩයට සමාන ගිණි සිළුවේ රූපය, ටයි මාමා විසින් චිත්‍රපටයට එකතු කරන ලද්දක්! මුල් නිර්මාණයේ එය දක්නට නැහැ!

ගිණිපෙට්ටියක කූරු ගැනයි මේ කතාව! එකම ගිණි පෙට්ටියක් ඇතුලේ ඉන්න ගිණිකූරු ටික කණ්ඩායම් දෙකකට බෙදෙනවා! ජාති දෙකකට වගේ! මේ බෙදීමට හේතුවෙන්නේ ගිණි කූරු වල හිසේ, එහෙමත් නැත්නම් වෙඩි බෙහෙත් සහිත කොටසේ පාටයි! කලු පැහැ හිසක් ඇති උන් එක පැත්තකටත්, කොල පැහැ හිසක් ඇති උන් තව පැත්තකටත් බෙදෙනවා! ඊට පස්සේ මේ ගිණිකූරු ජාති දෙක වෙන වෙනම භූමි ප්‍රදේශ දෙකක් වෙන් කරගන්නවා! මේ මායිම දෙපිරිසම විසින් හොඳින් මුර කරනු ලබනවා! හදිසියේම මායිමේ ඇතිවෙන සිළු සිද්ධියක් නිසා ගැටුමක් හටගෙන, ඒක යුද්ධයක් දක්වා දරුණු වෙනවා! එකම පෙට්ටියේ ඉඳන් එලියට ආපු ගිණිකූරු, දෙපිරිසකට බෙදිලා මරාගන්නවා! මේ යුද්ධේ කොයි තරම් දරුණුවෙනවාද කියතොත්, අවසානයේ දෙපිරිසේම ගිණිකූරු සියල්ල දැවී අළු වී යනවා!

පිබිදුණු පැරණි මතකයත් සමඟ ආයෙමත් ඒ චිත්‍රපටය නැරඹීමේ ආසාවක් ඇති වුවත්, අන්තර්ජාලය තුල එය සෙවීම ලේසි දෙයක් වුණේ නැහැ! ටයි මාමා හඬ කැවූ නිර්මාණයේ නම "ඔලුවේ ගිණ්දර" වුවත්, එහි මුල් නිර්මාණයේ නම මා දැන නොසිටීම නිසායි එය අසීරු වූයේ! එහෙත් අවසානයේ මා එය සොයාගත්තා! රුසියානු මුල් නිර්මාණයේ නම "Conflict (конфликт)". මීට සුළු වෙලාවකට කලින්, අවුරුදු ගණනාවකට පසුව එය නරඹද්දි, එකල මගේ ළමා මනසට දැණුනු මූසල කම්පනය මට වැඩි වැඩියෙන් දැනෙන්න පටංගත්තා! මේක මේ වෙලාවේ දී අතිශයින් කාලෝචිත නිසා, මිතුරු ඔබත් සමඟ බෙදා ගැනීම සුදුසු යැයි සිතනවා! විශ්වාස කරන්න! ටයි මාමා විසින් කරනු ලැබූ ප්‍රතිනිර්මාණය, මේ මුල් නිර්මාණයට වඩා දහස් ගුණයකින් ප්‍රබලයි! හොඳින් බලන්න! මේ අපේම රටේ අනාගත ඉරණම විය හැකියි!
සහන් පද්මසංඛ පීරිස් 
THЕ SAHAN © 2014

3 comments:

  1. ගිනිපෙට්ටියට වෙඩිබෙහෙත් සපයන පාලකයො අයිස් කාමර වලට වෙලා බලන් ඉන්නවා. අපේ ඔළුවෙ විතරයි ගින්දර. :/ කාලකණ්ණි.

    ReplyDelete
  2. බලන්න ඕන තැන්කුයි

    ReplyDelete
  3. බොහොම වටිනා නිර්මාණයක් කවුරු කරත්. ඇත්තට ම වෙන්නේ ඕක තමයි සහන්. මේ දේවල් පටන් ගන්නේ වෙන කවුරුත් වුණාට. යුද්ද කරන්නයි මැරෙන්නයි ඕනේ සාමාන්‍ය මිනිස්සු. උන් යුද්ධ පටන් ගන්නවා විතරක් නෙමෙයි ඒවාගෙන් හම්බකරගෙනත් කනවා. ඒත් අපි........................

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!