2014/09/26

රිදුම


අහම්බය නමැති එක කල්පයක
ඇබිති හැඩ ගත් සිනිඳු තප්පරෙක
ලියා තිබුණා නොවෙද පිය සොඳුර
අඹ මලක් පිපෙන විට
එහි රේණු සැලෙන විට
නුඹේ ඔය නිල් දිගැස
මගේ ඇහේ වදින ලෙස

ප්‍රේමයෙහි සුරංගන අද මෙලෙස
මගේ හිස සිඹින මුත් බැති සිතින
ඉනුවෙ කඳුලැළි නොවෙද පිය සොඳුර
එදා ඇස් ගැටි මොහොත
පටන් සැදි රිදුමකට
ගොදුරු වුණි මගේ හද
කිසි දිනෙක සුව නොවන

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 සැප්තැම්බර් 25

2014/09/10

එන්න මගෙ එල්ලෙන්න


පරදවා දළ රළ සයුර
සොයාගත් පොඩි දූපතක
උසම තැන සෙවූ මම
කරවීමි මාළිගාවක්
හැකි ලෙසින්
මතකයේ වලාකුල් මත
වාඩි වී සිටි දිළිඳු වූ දැරියට

ඇය ද එය නොදැන
ලොව ද එය නොදැන
දූපතට පමණක් අයිති වූ කාලයෙන්
කල්පයක් ගත වුව ද
නොවුනි එක පලුද්දක්
මාළිගා බිත්ති මත

කල්පයේ හැම කැබැල්ලක් තුල
හෑරුවෙමි...
ගල් බොරළු වැදී තුවාල වන
ඇඟිලි තුඩගින් වැගිරුණු
රුධිරයෙන් පොඟවමින් හිමිහිට
කාෂ්ඨක මහ පොළව

ගැඹුරු පතුලෙන් අතට ගත්තෙමි
දුටු සෙනඟ ඇස් අන්ධ කරවන
ලොවෙන් සැඟවුණු අරුම මිණි කැට
ලොවට නවමු වු අරුම අබරණ

මට කුමකට ද මේ වස්තුව
අමිල වූ වස්තුවක්
මගෙ හිතේ සිටි කල
අබරණ පැළඳුවෙමි ඇගෙ කර
දිළිඳු බව ඇගෙ ගියෙ ද කොයි අත?

ඉතින් දැන් ඈ කුමරියකි
මාළිගාවක වෙසෙන
නොමැත්තක් නොමැති
හරි පුංචි දූපතක

කුමරි මෝරද්දි තව තව
දූපත මදි ය ඇගෙ හිතට
ලෝකටම දැක බලා ගන්නට
තමයි ඇගෙ හිත නැගුණු අදහස...

ඉතින් ඈ විටින් විට
මුහුදු, සමුදුරු උඩින්
චාරිකා කරවීය දස දිග
මාලිගාවෙහි සිටින
කාලෙ අඩු විය ටිකෙන් ටික

ගමන් වියදමට ඇගෙ
කර පැළඳි රන් මාල
විකිණුවෙද උකස් කලෙද
මම නොදන්නා දෙයකි තව

ටිකෙන් ටික ඇය
"දිළිඳු වූ කුමරියක්" වන බව
හිත හිතා සිටි හවස් යාමෙක
මාළිගාවෙහි බිත්තියක කොණ
පිපිරි ගිය සළකුණක් දැක
කඳුළු පොඩ්ඩක් ඇඟිල්ලට ගෙන
බිත්තියේ මේ කවිය ලියනෙමි
කාටවත් නොපෙනෙනා බව දැන

කවිය ලියූ අවසන
මාලිගාවෙහි බාල්කයක්
හුරතලෙන් මට අඬගසයි
"එන්න මගෙ එල්ලෙන්න"

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 සැප්තැම්බර් 10

2014/09/07

ආදරය






සියලු දෙවියන් දණින් සිටුවනා ඇති බලය
සැවොම නොහඳුණන සිව් අකුරකින් සැදි පදය
විශ්වයේ ගීතයට අත්වැලෙහි ගායනය
කිසිදු පැනයක් නොමැති පිළිතුරයි ආදරය

මහ ගසක් විහිදනා ලෙසින් අතු හැම අතට
ආදරය මහ ගසකි නොයෙක අතු ඇති වටට
මව් සෙනේ පිය සෙනේ තව සෙනේ අතු මැදට
මහ බරැති අතු පෙලක් වෙන්ව ඇත නුඹෙ හිතට

අනිත බව ගැන කවුරු දෙඩූව ද වැදි බණෙක
සිදුහත් ද බුදු වුණේ සෙනෙහෙ විඳ එක ළඳෙක
විරූපිව සැමට පිළිකුල් වුවත් නුඹ දිනෙක
සිඹිමි අදටත් වඩා එදවසට මගෙ මැණික

ආගමක් නොවූ මට ආදරය අදහන්ට
ආගමක් මවා දුන් ආදරිය, දැනගන්ට
මරණයත් ජීවයත් එක ලෙසින් විඳගන්ට
ආලයක් වේ අපට ලෝකයක් පරදන්ට

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 සැප්තැම්බර් 7

2014/09/03

අතථ්‍ය කඳුළු












ලෝකයේ අනෙක් පස
චිත්‍රාගාර තුල මැවෙන
අතථ්‍ය සිහින මත දුවන
නළු සුද්දන් මල විට ගලන
මුහුණු පොත බිතු තෙමන

අංකිත කඳුළු කැට කොහි ද?
අංකිත සොටු දියර හිඟ ද?

පුංචිම රටක තැනක
දහඩිය තුලින් ඉපිද
වේදිකා මතින් නැගිට
පාදම තැනි තථ්‍ය මිනිසුන්
කලා පස පොහොර කර මල විට

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 සැප්තැම්බර් 03

Bandula withanage, ඉන්දුල විතානගේ sinhala Poems සිංහල කවි