2017/02/14

වැලන්ටයින් අද ය


හුඟක් දේ වැඩි මිලට
විකිණෙනා දවස ය
ඇතැම් දේ විකිණෙන්න
ඇරඹෙනා දවස ය
වසර ගණනක සුවඳ
මගහැරෙන දවස ය
රැක්ක, රැක්කෙව්ව දෑ
බිම වැටෙන දවස ය
අරමුණක් නැති දිනක්
මෙච්චරක් නපුරු ය
කවුරු කීවත් කනට
නෑසෙනා දවස ය
අද
ජපානෙට වඩා මෙහෙ
කොඩි දමන දවස ය

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)

2016/11/03

හවස් වැසි


වතුර වාගෙම
රිද්මයට ඇදහැලෙන ප්‍රේමය..
පොළව වාගෙම
ප්‍රේමයට තෙත් කෙරෙන හෘදය..

ජීවිතයකට

අවැසිවන්නෙම
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

හැමදාම දාහයට හුරු කෙරුව

හවස සුමටැති කෙරෙන..
සිපුම් හඬ අහස්තල
ගුගුරුවා එළි මවන..
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

මගේ තනි ජීවිතේ

වැස්සකින් පොඟවන්න
ඉක්මනින් පැමිණෙන්න..
යෙහෙළියේ ඇත්තටම පවසන්න..
ජීවිතයකට
අවැසිවන්නෙම
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

සහන් පද්මසංඛ පීරිස්
2016 නොවැම්බර් 01

2016/08/24

මතකයන් තියෙන්නේ කොහි ද?


හිතවත,
මතකයන් තියෙන්නේ කොහි ද?
හිත ඇතුලෙ විතරයි ද?

දිනක් මම එකින් එක

අයෙක් දුන් සිහිවටන අතින් ගෙන
එකට ගොඩ ගසා ගිණි තැබූයෙමි

පෑන් සළකුණු බොඳව
පැන්සල් අකුරු මැකුණ
ටිකක් කහ ගැසුණු කොල
මත ලියැවි කවි දහස් ගණනක් ද
ගින්නටම හෙලූයෙමි

දින පොත් ද හතරක්
පින්තූර හත අටක්
අතගගා බල බලා
සිපින්නට ඉල්ලගත්
පිරුණු කෙස් මලු දෙකක්
එගින්නට දැමූවෙමි

හිතවත,
සදාකල් දැවේ යැයි සිතූව ද
සදාකල් දැවෙන ගින්දර කොයිද?

අළු පොදක් තබා ගිණි නිවෙනකොට
හැදුණි හිස්තැන් ගොඩක්
මතක පටියෙහි මැකුණු තැන් ගොඩක්

එහෙමනම් හිතවත,
මතකයන් තිබී ඇත්තේ හිතෙහි විතරම ද?
නැහැ නේද?


සහන් පද්මසංඛ පීරිස්
2015 සැප්තැම්බර් 30

2016/07/17

නීල තටාකය

මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

ඇබිති මල් උඩුකුරුව
පා කෙරුව
සිඟිති ඉඩ තබා දිය
රැළි කෙරුව
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

හැමුව රළු කුණාටුවකට හසුව
උණුව තිව් හිතෙහි සුව දුක ඇසුව
හමුව පා සඟළ රිදවුම් නැසුව
නිමුව ගිණි නුඹයි සැම සුව මුසුව

එසේ නම් පිය සොඳුර
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

ඉපිද ඇති නේක කිවියරු පබඳ
කවි ද පරදන සෙනෙහෙ දී ළමැද
කිමිද නුඹ තුළ සිසිළ විඳ නිබඳ
කිම ද මා විඳින පෙර පින සබඳ

යළි යළි ද
මා නුඹෙන් අහන්නෙම
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

සහන් පද්මසංඛ පීරිස්
2016.07.11

2016/05/08

අතින් ඇණයකුත් අරගෙන එන්ට


ප්‍රේමයක් හැදෙන්නෙම
හදක් මත කෙනෙක් හද තබනකොට
විරහවක් මැවෙන්නෙම
හදක් තැබු තැනෙන් බිම වැටෙනකොට

හදක් නොම වැටෙන්නට
පෙමත් වැඩි කරන්නට
හදක් මත හදක් තැබු තැනක් වෙත
සිහින් ඇණයකුත් ගෙන ගැසූ විට
ටිකක් රිදුනමුත් එය දරා හිත
පෙමින් බැඳලමින් හුන් අයත් ඇත

නමුත් හද උයන් මැද
ඇණත් ගලවන් වැටෙන
ගිලන් හදවතුත් ඇති අයත් ඇත

එහෙව් තැන්වල පෙමක පරවෙච්ච
පෙතිත් තියෙනව විටෙක නොදිරච්ච
නැවුම් විරහවක රොඩු තැවරිච්ච
ඇණත් ගැසු හද තනිව තනිවෙච්ච

කලක් ගත වී ගිය ද
තවත් බැහැ කියා රිදවා ගන්ට
කලින් ගැසු ඇණත් අමුණා ගත්ත
බියෙන් ගල් ගැසී ගුල් තුළ නින්ද
මැදත් රිදවගත් නෙක අයත් ඇත

එහෙත් ඔය නොයෙක් දෙස බලං හිඳ
සරත් කල අහස් තලය මෙන් සිත
කලල් නැති දෙයින් පුරවමින් සොඳ
ඇණත් ගලවගත් හදවතුත් ඇත

ඉතින් මගෙ පෙමින් නැහැවී ඉන්ට
රිසින් සිටින බැව් පෙන්වා දෙන්ට
වෙතින් මගෙ හදින් නොවැටී ඉන්ට
අතින් ඇණයකුත් අරගෙන එන්ට


සහන් පද්මසංඛ පීරිස්
2015 සැප්තැම්බර් 01

2015/11/08

ඔබ වහන්සේට සුබ ගමන්!!

ශ්‍රී ලාංකීය සිවුරුකාරයින් පිළිබඳව මා තුළ ඇති ආකල්පය ඉතාමත් අයහපත් එකකි. ඇතැමුන් එළිපිට කුණුහරප කියා දඟලති. අන්‍යාගමිකයික් කපා කොටා දමන්නට අනුබල දෙති. ඇතැමුන් බඩුකාරයින් ය. තවත් අය කොලුකාරයන් ය. තවත් සමහර අය බේබද්දන් ය. කට පිහගන්නේ ද සිවුරෙනි. තව බොහෝ දෙනාගේ කොණ්ඩා රැවුළු, චර්යා, හැසිරීම් සියල්ල දැක අවසානයේ ලාංකීය සිවුරුකාරයින් පිළිබඳ මා තුළ ඇත්තේ අසූචි අප්‍රසන්න බවකි.

එහෙත් මාදුළුවාවේ සෝභිත නම කියද්දී මට හැමවිටම දැණුනේ සිවුරුකාරයෙක් ගැන නොව භික්ෂුවක් ගැන යි. මම උන්වහන්සේව නොහඳුනමි. මා උන්වහන්සේ ගැන දන්නේ ද ඔබ මෙන්ම ජනමාධ්‍ය ඔස්සේම පමණි.

සෝභිත හිමි පිළිබඳ මාගේ ප්‍රථම මතකය ඇත්තේ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ධර්ම සාකච්ඡාවක් පිළිබඳවයි. වර්තමාන සිවුරුකාරයින් බණ කියනා අයුරුද මහත් සේ අප්‍රසන්න වූ යුගයක යි සෝභිත හිමි සහභාගී වූ ඉහත කී දහම් දෙසුම මා දුටුවේ. එය මීට අවුරුදු කිහිපයකට පෙර එළැඹි වෙසක් පොහෝ දිනෙක ස්වර්ණවාහිනී නාළිකාව සංවිධානය කළ විශේෂ වැඩසටහනක් වූ අතර එය විකාශය වූයේ කුසිනාරාවේ සිට යි.

බුදුන්වහන්සේගේ පරිනිර්වාණය එම ධර්ම සාකච්ඡාවේ මාතෘකාව විය. සෝභිත හිමි උන්වහන්සේටම ආවේනික වූ ශෛලියෙන් බුද්ධ පරිනිර්වාණය පිළිබඳ කතාව කියන්නට විය. නිර්ආගමික අදහස් ඇති මාගේ දෙනෙත් ද එය අසා සිටියදී තෙත් වන්නට වූයේ උන්වහන්සේ එය කොයි තරම් සංවේදී ලෙස පැවසුවේද යන්න ඔප්පු කරමිනි.

බොහෝ සිවුරුකාරයින් ධර්ම දේශණා අතරතුර ගොන් ජෝක්ස් දමයි. ද්වීඅර්ථ ඇති කුණුහරප කියයි. ධර්ම ශ්‍රාවකයින්ට කුණු ආතල් දෙයි. නමුත් සෝභිත හිමිගේ දහම් දෙසුම් තුළ මා එවැන්නක් කිසි දිනෙක දැක නැත.

ජාතික ප්‍රශ්ණවල දී සිවුරුකාරයින්ගේ මැදිහත් වීම ද නොගැලපෙන සුළුය. අප රටේ ජාතික ප්‍රශ්ණවල දී මැදිහත්වන බොහෝ දෙනා ආවේගයෙන් කතාකරන, ආවේගයෙන් හැසිරෙන, නිළ නොවන හමුදාවක් ලෙස හඳුන්වාගන්නා සිවුරු පැළඳගත් මී හරකුන් ය. ඇතැමුන් හරකුන් වෙනුවෙන් ගිණිතබාගෙන සියදිවි නසාගන්නා හරකුන් ය.

නමුත් මෙරට තීරණාත්මක ජාතික වෙනසක් සඳහා මූලිකත්වය ගත් සෝභිත හිමියන්ගේ හැසිරීම, කතා විලාශය හෝ මැදිහත් වීම කිසි දිනෙක චීවරයට නොගැලපෙන්නක් වූයේ නැත. අද දින යහපාලකයින් පිළිබඳ කුමන විවේචන ඇතත් පසුගිය ජනපතිවරණ ප්‍රතිඵලයෙන් රටට ලැබුණේ අනාගත විනාශයක වැලකීමකි.

මෙන්න මේ කාරණා නිසා මගේ හිත තුළ සෝභිත හිමිට ඉතා ඇල්මක් පැවතිණි. මෙලොව බොහෝ කල් වෙසෙන්නේ යහපත් මිනිසුන් නොව අයහපත් මිනිසුන් ය. ඇතැම් විට එයට හේතුව එකම දුක් ගෝලයක් වූ ලෝකයෙහි වැඩිපුර කාලයක් වාසය කිරීම යනු වැඩි කාලයක් දුක් විඳීමට සිදුවීම විය හැක. 

ආගමික නායකයෙකු මියගිය විට මා කිසි දිනෙක ඒ වෙනුවෙන් පෝස්ට් දමා කහ කොඩි ෂෙයා කොට නැත. එහෙත් මම අද එය කරමි.

මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබ වහන්සේට සුබ ගමන්!!
_________________________
සහන් පද්මසංඛ පීරිස් 
THE SAHAN​ © 2015 නොවැම්බර් 08