Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

2017/02/14

වැලන්ටයින් අද ය


හුඟක් දේ වැඩි මිලට
විකිණෙනා දවස ය
ඇතැම් දේ විකිණෙන්න
ඇරඹෙනා දවස ය
වසර ගණනක සුවඳ
මගහැරෙන දවස ය
රැක්ක, රැක්කෙව්ව දෑ
බිම වැටෙන දවස ය
අරමුණක් නැති දිනක්
මෙච්චරක් නපුරු ය
කවුරු කීවත් කනට
නෑසෙනා දවස ය
අද
ජපානෙට වඩා මෙහෙ
කොඩි දමන දවස ය

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)

2016/11/03

හවස් වැසි


වතුර වාගෙම
රිද්මයට ඇදහැලෙන ප්‍රේමය..
පොළව වාගෙම
ප්‍රේමයට තෙත් කෙරෙන හෘදය..

ජීවිතයකට

අවැසිවන්නෙම
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

හැමදාම දාහයට හුරු කෙරුව

හවස සුමටැති කෙරෙන..
සිපුම් හඬ අහස්තල
ගුගුරුවා එළි මවන..
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

මගේ තනි ජීවිතේ

වැස්සකින් පොඟවන්න
ඉක්මනින් පැමිණෙන්න..
යෙහෙළියේ ඇත්තටම පවසන්න..
ජීවිතයකට
අවැසිවන්නෙම
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

සහන් පද්මසංඛ පීරිස්
2016 නොවැම්බර් 01

2016/08/24

මතකයන් තියෙන්නේ කොහි ද?


හිතවත,
මතකයන් තියෙන්නේ කොහි ද?
හිත ඇතුලෙ විතරයි ද?

දිනක් මම එකින් එක

අයෙක් දුන් සිහිවටන අතින් ගෙන
එකට ගොඩ ගසා ගිණි තැබූයෙමි

පෑන් සළකුණු බොඳව
පැන්සල් අකුරු මැකුණ
ටිකක් කහ ගැසුණු කොල
මත ලියැවි කවි දහස් ගණනක් ද
ගින්නටම හෙලූයෙමි

දින පොත් ද හතරක්
පින්තූර හත අටක්
අතගගා බල බලා
සිපින්නට ඉල්ලගත්
පිරුණු කෙස් මලු දෙකක්
එගින්නට දැමූවෙමි

හිතවත,
සදාකල් දැවේ යැයි සිතූව ද
සදාකල් දැවෙන ගින්දර කොයිද?

අළු පොදක් තබා ගිණි නිවෙනකොට
හැදුණි හිස්තැන් ගොඩක්
මතක පටියෙහි මැකුණු තැන් ගොඩක්

එහෙමනම් හිතවත,
මතකයන් තිබී ඇත්තේ හිතෙහි විතරම ද?
නැහැ නේද?


සහන් පද්මසංඛ පීරිස්
2015 සැප්තැම්බර් 30

2016/07/17

නීල තටාකය

මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

ඇබිති මල් උඩුකුරුව
පා කෙරුව
සිඟිති ඉඩ තබා දිය
රැළි කෙරුව
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

හැමුව රළු කුණාටුවකට හසුව
උණුව තිව් හිතෙහි සුව දුක ඇසුව
හමුව පා සඟළ රිදවුම් නැසුව
නිමුව ගිණි නුඹයි සැම සුව මුසුව

එසේ නම් පිය සොඳුර
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

ඉපිද ඇති නේක කිවියරු පබඳ
කවි ද පරදන සෙනෙහෙ දී ළමැද
කිමිද නුඹ තුළ සිසිළ විඳ නිබඳ
කිම ද මා විඳින පෙර පින සබඳ

යළි යළි ද
මා නුඹෙන් අහන්නෙම
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

සහන් පද්මසංඛ පීරිස්
2016.07.11

2016/05/08

අතින් ඇණයකුත් අරගෙන එන්ට


ප්‍රේමයක් හැදෙන්නෙම
හදක් මත කෙනෙක් හද තබනකොට
විරහවක් මැවෙන්නෙම
හදක් තැබු තැනෙන් බිම වැටෙනකොට

හදක් නොම වැටෙන්නට
පෙමත් වැඩි කරන්නට
හදක් මත හදක් තැබු තැනක් වෙත
සිහින් ඇණයකුත් ගෙන ගැසූ විට
ටිකක් රිදුනමුත් එය දරා හිත
පෙමින් බැඳලමින් හුන් අයත් ඇත

නමුත් හද උයන් මැද
ඇණත් ගලවන් වැටෙන
ගිලන් හදවතුත් ඇති අයත් ඇත

එහෙව් තැන්වල පෙමක පරවෙච්ච
පෙතිත් තියෙනව විටෙක නොදිරච්ච
නැවුම් විරහවක රොඩු තැවරිච්ච
ඇණත් ගැසු හද තනිව තනිවෙච්ච

කලක් ගත වී ගිය ද
තවත් බැහැ කියා රිදවා ගන්ට
කලින් ගැසු ඇණත් අමුණා ගත්ත
බියෙන් ගල් ගැසී ගුල් තුළ නින්ද
මැදත් රිදවගත් නෙක අයත් ඇත

එහෙත් ඔය නොයෙක් දෙස බලං හිඳ
සරත් කල අහස් තලය මෙන් සිත
කලල් නැති දෙයින් පුරවමින් සොඳ
ඇණත් ගලවගත් හදවතුත් ඇත

ඉතින් මගෙ පෙමින් නැහැවී ඉන්ට
රිසින් සිටින බැව් පෙන්වා දෙන්ට
වෙතින් මගෙ හදින් නොවැටී ඉන්ට
අතින් ඇණයකුත් අරගෙන එන්ට


සහන් පද්මසංඛ පීරිස්
2015 සැප්තැම්බර් 01

2015/07/03

දේදුනු පෙරහන්



හමුව ඇගෙ සිත පෙමක රැඳි වග සිහිනයෙක රූසිරි මවා
අදහගන්නට සැබෑවක් වග නොහැකි තුටු සිත පිරවුවා
බිය ඇතත් හිත තුල මහත් එය වසා පෙම් බස් මිමිණුවා
වෙනස් බැඳුමන් බැඳෙනු නොහැකි ද දෙදෙනගෙම හද විමසුවා

ඉවසගන්නට පෙමක වෙනසක් නොහැකි වුණු ගල් කැට පවා
ඇගේ සියුමැළි සුමුදු නළලත රුධිර තිලකය තැවරුවා
හදිසියෙම දුර ඇමෙරිකාවෙන් දේදුන්න මෙහෙ පෑයුවා
පළමු ගල ගැසු සරණපාලත් මුහුණුපොත උගෙ සැරසුවා

දුටුවමුදු ඒ සොඳුරු දේදුනු පෑයු මහ මුහුදින් එහා
තවම ඉක්මන් නොවී හිටපන් සඟවගෙන ඔය පෙම මහා
නොම බලන් දේදුනු පෙරන් සවිකරන් ඉන්නා උන් දිහා
මුහුණුපොත බිතු යටින් හමනා දුගඳ පැතිරෙන වහ වහා

සහන් පද්මසංඛ පීරිස්​
THЕ SAHAN​
2015.06.30

2015/06/16

යෙහෙළියක නම් සිටිය යුතුම ය


යෙහෙළියක නම් සිටිය යුතුම ය
හැමදාම හැමවිටම හැමතැනම

යන්තමට පිපාසය එනකොටම
දැන් ඉතින් මට
උණු කරපු හාදුවක් පොවන්නැයි
තුනීයට කොඳුරන්න හැකිවෙන්න
තෝඩු ලූ කනක් උර මත තිබ්බ
යෙහෙළියක නම් සිටිය යුතුම ය

තොරක් නැති හීනංශුකා වලට
මගෙ හිතේ ඉඩ
දරුණුවට මදි වෙද්දි ටිකෙන් ටික
හීන අහුරක් දෙකක් තබන්නට
හිසෙහි පෙදෙසක්ම අස් කර දෙන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය

දිගු ප්‍රේම ගිම්හානෙකට පසුව
විරහවක අග
නමක් නැති නැවුම් සුබ ඉර්තුවක
හදින් අල්ලා තදින් මිරිකන්න
ප්‍රේමවන්තියගෙ තැන අරගන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය

ඔව්!
ලෝකයේ සැබෑ සිරි පෙන්නන්න
සොබා පැහැයන් ඇසේ තවරන්න
තවම ජීවත් වෙතැයි දැනගන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය
හැමදාම හැමවිටම හැමතැනම


සහන් පද්මසංඛ පීරිස්​
THЕ SAHAN​
2015.04.16

2015/05/26

සිහි උනා ඒ දවස්


අහම්බෙන් දුටුව එක

පෙම්වතුන් යුගලයක්

"නූඩ්ලස් කමු ද මහේස්?"

අම්මෙක්ම වාගේම
ඇය එහෙම අහනකොට
කුඩා දරුවෙකු වගේ
හිනැහුණා ඔහුත්

එතකොටම

"ඔයා ආසා දෙයක්"
හුඟක් දේ සඟවාපු
හරි හීනි හඬක්

මට ඉතිං සිහි උනා

අරුම ඒ දවස්
ලොවේ නන් දනන්ගෙන්
වෙනස් වූ අපිත්..

මවක් වන් වූ නුඹත්..

හුඟක් දේ මට දුන්න
නුඹත්..
ඒ වගෙම මමත්..
හුඟක් දේ නුඹෙන් නොඅරගත්තු
මමත්..

සහන් පද්මසංඛ පීරිස්
2015 මැයි 16


2015/04/14

නාවනම් අවුරුදු කුමාරිය - දුක් කවක් ලියැවෙන්න තිබුණා



ගෑණු හිත් වාගේම එක එක
රාශි පැන පැන මාරු කර කර
අලුත් අහසක පහස පතනා
හිරුත් වදයක් වෙන්න තිබුණා

හුඟක් රා බිව් කුරුල්ලෙකු මෙන්
ගහක් උඩ නැග කොහෝ හොටගින්
කරන මහ කං කරච්චලයත්
දෙසවනට නෑහෙන්න තිබුණා

සැවොම රහ කර කාපු කිරිබත්
දෙවඟනක පලපුරුදු දෑතින්
අලුත් කිරි දා හැදූ මුත් මට
ගොඩක් ලුණු වැඩි වෙන්න තිබුණා

"කොහොමදැ යි අවුරුද්ද" විමසන
මිතුරු පණිවිඩ වලට එක ලෙස
"මට කොහෙද අවුරුදු මචං" යයි
හිස වනා පවසන්න තිබුණා

සැබෑ අවුරුදු කුමාරිය ලෙස
වසත් සුවඳැති දුඹුරැසිය නුඹ
නාවනම් බක් මහට පෙර - අද
දුක් කවිත් ලියැවෙන්න තිබුණා
_____________________________
සහන් පද්මසංඛ පීරිස් | THE SAHAN
2015 අප්‍රේල් 14

2015/03/31

කැස්ස සහ වැස්ස


හදිසියෙම උගුරෙ හිරවන
පැරණි පෙම් පුවතක
සිහින් බූවකට වැළදෙන
සියක් ගව් දුරකට ඇසෙන
කැස්ස ඇය

තනිව ප්‍රතිශක්තිය හැදුමට
බෙහෙත් ගන්නැති මට
උදව්වක් වෙන්නට
හැලෙන ප්‍රතිජීවක වත්කොට
වැස්ස මැය

______________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​ 
2015 මාර්තු 31

2015/03/28

නාදුනන හිතවත



හදිස්සියෙම හදට ගොඩවැදුන
කැම්පස් කෙල්ලක් ය ලං උන
බොහෝ දෑ දෙඩූමුදු
තවත් මදියැයි හිතවන

පාඩමක් ගැන විස්තර අතරතුර
දිනක් දෙඩුවා ඈ මෙහෙම
"අයියෙ දන්නවද පසන් කොඩිකාර?
මං හරිම ආදරේ ; ඒ අපේ සර් ය
පිස්සෙකු වාගේ අමුතු වූවාට
හරි හොඳ ය ආදරෙයි අප හට"

කී නිසා ඈ තව තවත් විස්තර
සොයා බැලුවෙමි ෆේස්බුක් පිටු අතර
දුටිමි පෙර දැක තිබූ මුත් මගහැරි
ඔහුගේ පාලු කාල රේඛාව

යවා මාගේ මිතුරු ඇරයුම
සතියකට පසු දිනෙක එළඹුන
අවදිවන්නට බෝ පමාවුණ
දහවලක මට ඇගෙන් පැමිණුන
කෙටිම කෙටි පණිවිඩෙකි ගොළු වුණ

"නැතිවෙලා මගෙ සර් අයියේ"
ඇගේ ඒ කෙටි බිඳුණු වැකියෙන්
ඇසූවෙමි යලි නොතේරුණු මම
කවුද නැතිවූයේ යි කියමින්
එහෙත් ඇගෙ ප්‍රති පණිවිඩෙට පෙර
ගුණේ ලියු සැර කවි පෙලක් දැක
වැටහුණෙමි ඇගෙ වචන මා හට

මගේ රික්වෙස්ටුව ද නොම දැක
බළල් ප්‍රේමියෙකු නික්ම ගොස් ඇත

"අනේ මට නං කවි ලියනු බැහැ"
කියා හැම තිස්සේම මතුරන
තවම ඇස කඳුලකින් තෙත් කල
ඇගේ ගුරු ගෞරවැති ප්‍රේමය
වෙනුවෙනුයි නාදුනන හිතවත
කිසිවක්ම නොම දන්න නුඹ ගැන
මගේ මේ කුරුටු ගෑ ලියමන


සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN 
2015 මාර්තු 26

2015/03/25

කමක් නෑ පිටවන්න - තුටින් බොරු අදහන්න


සියුමැලිය කිය කියා කෑගසා හතර කොණ
හිතෙහි පෙත්තක් ඇඟිලි තුඩු අගට රැගෙන එය
ලෙළවමින් සැමට මතුරමින් මගෙ නපුරු කම
ලියයි ඇය මහා කවි මවා කඳුළු තින්තය

මෙතෙක් මා ලඟම හිඳ හිතට හිතවතුන් වුණ
ඇතැම් බර මිතුදම් ද මගෙන් ඈතට වන්න
තරම් හරි හුරතල් වු ඇගේ විෂ පද වැල් ය
කමක් නෑ පිටවන්න තුටින් බොරු අදහන්න

මගේ හිත නම් හදින් වට කොටයි තබා ඇති
එනිසාම කිසිවෙකුට පහසුවෙන් පෙනෙන්නැති
සැබැවින්ම හදට ලංවූ අයට දකිනු හැකි
අමුතුවෙන් පෙති කඩා පෙන්වන්න ඕන නැති

සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN
2015 මාර්තු 25

2015/03/13

ඇය - මම

Sahan සහන්


හුදෙකලා ලැහැබක
තුරු පතින් මැකීගිය පිය මගක
නිහඬැතිවු එක්තරා අහම්බෙක
මගේ ඉදිරියට හදිසියේ හමුවන
පෙර නොදුටු නොම පුරුදු
නාදුනනා ඇය

දුඹුරුවැති දෙනෙතක
සහස් දෑ සංගතවැතැයි දැක
ඇගේ රුව සැණෙක පසු කරන තැන
පලමුවැනි සිතගින්ම බදා තදකොට
"පෙම් කරමි" කියා ඇය
සිප ගන්නා මම
_____________________________
සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN 
2015 මාර්තු 09

2015/03/04

පසුවදනක්



යන්නටම ඕනෑ ය කිව් විට
යන්න නොම දී ඉන්නෙ කුමකට ?
සිලිටි මල් හිත වියරු වූ මුදු
යන්න යැයි මම කීමි ඔබ හට

හරිම බර පෙමකට යටව තිබු  
හද නහර හැම එකම නපුරුව
දන්නෙ නෑ මම තවම අදට ද
සුළුපටු ද ඒ හැදුන වියරුව

ඉතින් හදගුළු විවර කරගෙන
සිතු ලෙසින් රෑනක සරන්නට
යතුර තැබුයේ නුඹේ සුරතෙහි
හිතින් නම් හෙම නොවේ ලබැඳිය

ගියා යයි මම සිතා සිටියෙමි
නමුදු නුඹෙ පා ලකුණු දුටුවෙමි
විටෙක මා පෙර වසඟ කෙරු නුඹෙ
සුවඳ සිහිනෙක තුලින් වින්දෙමි

කලක් ගත වුව නොසිතු ලෙස ඒ
නිමිති දැක හද රුධිර වැගිරුණි
නුඹ තවම නික්මී නොමැති බව
දැනී කටු තුඩු ඇනී රිදවුණි 

වසර දහයක වැසී තිබුනෙන්
අගුළු මල කා ඇති ද තද කර ?
හරිමි! නැහැ මම කඩමි හදගුලු
දොරත් ගලවා තබමි ගෙන වෙර

යන්න දැන් වත් මගෙ හදින් තව
රිදුම් නොම දී සිනහවෙන් බර
නුඹේ සුදු මුව මඬලෙ කඳුළැලි
මැකූ හද වෙත සදා කලටම
_____________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​ 
2015 මාර්තු 04

2015/02/25

පැතුම



ඔබේ උණුසුම් සොඳුරු හදවත
මගේ නම කිය කියා පෙර දින
ගැහි ගැහී හිනැහුනා මතකයි
දිනය එන තුරු මගෙන් වෙන් වුණ

සිදුරු කල හැකි වුණොත් එකවර
මහත් වූ සැනසුම් දේවි එය මට
ගැස්ම නිම වන මිනිත්තුව අග
වැරෙන් සිපගෙන නුඹේ දෙතොලග

ඔව් ඉතින් ඔබ සිතයි හනිකට
මගේ හිත තුළ වෛරයක් ගැන
ඒ වුණත් ඒ පැතුම හැම විට
අසමසම වුණ ප්‍රේමයක් ගැන
_____________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​
2015 පෙබරවාරි 22

2015/02/22

ප්‍රේමයෙන් බේරූ හදක්



ප්‍රේමයක් සිරව නතරවුන
හදවතක් ගෙනියන්න විගහට
ඉස්පිරිතාල හිතකට!

ඡේදනය කර බලා විනිවිද
සිරව ඇති ප්‍රේමයේ යගුලිය
හොයාගෙන එය ගන්න එලියට!

අහම්බෙන් වත්
හැකි වුවොත් ඔබ හට
නැවත එහි ගැස්මක් මවන්නට,

සුවවනාතුරු පරිස්සම් කර
යලිත් විසිකරලන්න ලෝකෙට!

ප්‍රේමයක් සිරව නතරවුන
හදවතක් බේරගත් විට
නැවත ඖෂධ අවශ්‍යම නැත!
පළල් වුන ඒ නහර ඇතුලත
නැවත ප්‍රේමයක් කිසිදාක
සිර වන්නේ ද නැත!
__________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​
2015 පෙබරවාරි 21

2015/02/21

කුණු ගොඩකි මෙය



බලන් මසොඳුර
පෙර බොහෝ සිඟන්නියන් පැමිණ
අවුස්සා ගිය
ඇවිස්සී ඇති
කුණු ගොඩකි මෙය..

ඔවුනට අවැසි දෑ රැගෙන
අනැවසි දෑ නොගෙන
ඔවුන් ලඟ වූ
කුණු ද විසි කර
අවුස්සා ගිය
ඇවිස්සී ඇති
කුණු ගොඩකි මෙය..

අයෙකුට දැකිය හැකි වුව
කිසිවෙකු නොදුටු තව
නේක වර්ණැති
රටා සපිරුණ
අවුස්සා ගිය
ඇවිස්සී ඇති
කුණු ගොඩකි මෙය..

බලන් මසොඳුර
හොඳින් ලංවී
ඒ රටාවන්
නුඹට හෝ පෙනේවි ද?
දුටුවහොත් අහම්බෙක වත් නුඹ
තව තවත් අවුස්සා බලනු මැන!

නුඹ වශී වන
නුඹට නොපෙණුන
විශ්මයැති වර්ණයෙන් නිමැවුණ
රටාවන් පිරි
අවුස්සා ගිය
ඇවිස්සී ඇති
කුණු ගොඩකි මෙය..
___________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​
2015 පෙබරවාරි 21

2015/02/17

ඉබේ ගලනා මහ ගගක්



ඔබ තුලත් ඇත්තේය
ඉබේ ගලනා මහ ගඟක්

ඔබේ යයි කී නමුදු
ඔබට අවනත නොමැති
ඉබේ ගලනා මහ ගඟක්

කියයි ඔබ ඔබෙ හිතවතුන් හට
මෙසේ බර ස්වරයකින් උඩඟුව
"දිරිය ගෙන උත්සහය ගෙන නෙක
කුසල කර අකුසලෙන් වැලකුන
දුටූවෙද මා හැරවු විස්කම
ඉබේ ගලනා මහ ගඟක්"

ඔබ එසේ මතුරාවි
හමුවනා හැමෙකෙකුට
නමුදු ගඟ හරවන්න
කෙදින හෝ බැහැ ඔබට

විටෙක සරු වනබිමක
තව විටෙක මුඩුබිමක
නුඹව රවටා ගලන
ගඟෙහි නියමුනාණන්
ගඟම බව දැනගන්න

කිම ද එය
ඔබේ යයි කී නමුදු
ඔබට අවනත නොමැති
ඉබේ ගලනා මහ ගඟක්
සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)​
2015 පෙබරවාරි 17

2015/02/15

නරියෙකුට පුලුවන් ද ගන්න ප්‍රේමයෙ පාට


නරියෙකුට පුලුවන් ද
ගන්න ප්‍රේමයෙ පාට?
දෙන්න ප්‍රේමයේ ඇති
හරි පාට?

මොහොතකට
විමසන්ට

ආදරේ දැණුන විට
හුරතලෙන් ලං වෙනා
උණුහුමැති හොම්බෙ ඇති
කලු පාට

හිත සතුට වැඩිකමට
උල් දතක් පෙන්නලා
හුරතලෙන් හිනැහෙනා
හැම රෑට

සොවක් දැණුනොත් ඊට
හොඳින් සරිලන මූණ
මවාගෙන ඉකිලනා
දුක පාට

වැඩත් කරනා විටෙක
නැහැදිච්ච
එහෙත් කොයි වෙලෙත් පෙම
තැවරිච්ච
නරියෙකුට පුලුවන් ද
ගන්න ප්‍රේමයෙ පාට?
දෙන්න ප්‍රේමයේ ඇති
හරි පාට?

ඔව් හැකිය
ඒ තමයි බිස්කට්ගෙ
දඟ පාට

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN​)
2015 පෙබරවාරි 15

2015/02/14

ආදරේ ලස්සන ද හැමදාම?


දියට පැන සියදිවි හානි කර ගත්
නවයොවුන් පෙම් යුවලක් පිළිබඳ
ඇසීමෙන් පසු ඔහේ ලියවුණි.

කවදාත් ඉක්මන්ය
අපේ කලබල වීම
එහෙත් මේ හදිසි තීරණය
අවසාන එකම ය
කොයි තරම් සැනසුම් ද
මුල් ටික හුඟක් රිදුණාට

පුයර තවරා සිනිදු කෙරුවාට
වටට පෙනෙනට හැඩට
ආදරේ ලස්සන ද හැමදාම?
පැලුම් පිපිරුම් හොරෙන් වැහුවාම
නොරිදේ ද හිතක් ඉරිතැලුවාම?

එකතු විය මහ ගොඩක් හරි බරට
ඇයට මට හැර කාට
නොපෙනෙනා කඳුළු දිය හිත මැදට
පිට නොවන ලෙස වාන වැහුවාම
ගිලෙන එක හුරු වුණේ පෙරදාම

ආදරේ සමරලා එක දිනෙක
සටනකින් පැරදිලා පසු දිනෙක
නැතොත් සටනකුත් නැති හිස් හිතක
හැර යාම වාගේ ද - හැමදාම
අපව එක්කල අපේ හැර යාම

නොහඳුනන අය නොදන්නා අය
ගසන කෙල පිඬු, ලියන සහතික 
ඔව් ඉතින් ඔබ සැවොම එක ලෙස
කිරිසුදුයි පිරිසිදුයි - අප හැර

කමක් නෑ ගරහන්න
නැති දේත් පතුරන්න
අද උදෙන් නැගිටලා
ආදරෙත් සමරන්න
යලි පහුවදා ඇවිත්
හුරු ලෙසින් ගරහන්න

ඔබ කුමක් දුටූව ද
ඔබ කුමක් සිතූව ද
ඔබ කුමක් කියූව ද
ඔබ කුමක් ලියූව ද
මේ හදිසි තීරණය
අවසාන එකම ය
කොයි තරම් සැනසුම් ද
මුල් ටික හුඟක් රිදුණාට


සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2015 පෙබරවාරි 14