Showing posts with label මතක. Show all posts
Showing posts with label මතක. Show all posts

2015/11/08

ඔබ වහන්සේට සුබ ගමන්!!

ශ්‍රී ලාංකීය සිවුරුකාරයින් පිළිබඳව මා තුළ ඇති ආකල්පය ඉතාමත් අයහපත් එකකි. ඇතැමුන් එළිපිට කුණුහරප කියා දඟලති. අන්‍යාගමිකයික් කපා කොටා දමන්නට අනුබල දෙති. ඇතැමුන් බඩුකාරයින් ය. තවත් අය කොලුකාරයන් ය. තවත් සමහර අය බේබද්දන් ය. කට පිහගන්නේ ද සිවුරෙනි. තව බොහෝ දෙනාගේ කොණ්ඩා රැවුළු, චර්යා, හැසිරීම් සියල්ල දැක අවසානයේ ලාංකීය සිවුරුකාරයින් පිළිබඳ මා තුළ ඇත්තේ අසූචි අප්‍රසන්න බවකි.

එහෙත් මාදුළුවාවේ සෝභිත නම කියද්දී මට හැමවිටම දැණුනේ සිවුරුකාරයෙක් ගැන නොව භික්ෂුවක් ගැන යි. මම උන්වහන්සේව නොහඳුනමි. මා උන්වහන්සේ ගැන දන්නේ ද ඔබ මෙන්ම ජනමාධ්‍ය ඔස්සේම පමණි.

සෝභිත හිමි පිළිබඳ මාගේ ප්‍රථම මතකය ඇත්තේ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ධර්ම සාකච්ඡාවක් පිළිබඳවයි. වර්තමාන සිවුරුකාරයින් බණ කියනා අයුරුද මහත් සේ අප්‍රසන්න වූ යුගයක යි සෝභිත හිමි සහභාගී වූ ඉහත කී දහම් දෙසුම මා දුටුවේ. එය මීට අවුරුදු කිහිපයකට පෙර එළැඹි වෙසක් පොහෝ දිනෙක ස්වර්ණවාහිනී නාළිකාව සංවිධානය කළ විශේෂ වැඩසටහනක් වූ අතර එය විකාශය වූයේ කුසිනාරාවේ සිට යි.

බුදුන්වහන්සේගේ පරිනිර්වාණය එම ධර්ම සාකච්ඡාවේ මාතෘකාව විය. සෝභිත හිමි උන්වහන්සේටම ආවේනික වූ ශෛලියෙන් බුද්ධ පරිනිර්වාණය පිළිබඳ කතාව කියන්නට විය. නිර්ආගමික අදහස් ඇති මාගේ දෙනෙත් ද එය අසා සිටියදී තෙත් වන්නට වූයේ උන්වහන්සේ එය කොයි තරම් සංවේදී ලෙස පැවසුවේද යන්න ඔප්පු කරමිනි.

බොහෝ සිවුරුකාරයින් ධර්ම දේශණා අතරතුර ගොන් ජෝක්ස් දමයි. ද්වීඅර්ථ ඇති කුණුහරප කියයි. ධර්ම ශ්‍රාවකයින්ට කුණු ආතල් දෙයි. නමුත් සෝභිත හිමිගේ දහම් දෙසුම් තුළ මා එවැන්නක් කිසි දිනෙක දැක නැත.

ජාතික ප්‍රශ්ණවල දී සිවුරුකාරයින්ගේ මැදිහත් වීම ද නොගැලපෙන සුළුය. අප රටේ ජාතික ප්‍රශ්ණවල දී මැදිහත්වන බොහෝ දෙනා ආවේගයෙන් කතාකරන, ආවේගයෙන් හැසිරෙන, නිළ නොවන හමුදාවක් ලෙස හඳුන්වාගන්නා සිවුරු පැළඳගත් මී හරකුන් ය. ඇතැමුන් හරකුන් වෙනුවෙන් ගිණිතබාගෙන සියදිවි නසාගන්නා හරකුන් ය.

නමුත් මෙරට තීරණාත්මක ජාතික වෙනසක් සඳහා මූලිකත්වය ගත් සෝභිත හිමියන්ගේ හැසිරීම, කතා විලාශය හෝ මැදිහත් වීම කිසි දිනෙක චීවරයට නොගැලපෙන්නක් වූයේ නැත. අද දින යහපාලකයින් පිළිබඳ කුමන විවේචන ඇතත් පසුගිය ජනපතිවරණ ප්‍රතිඵලයෙන් රටට ලැබුණේ අනාගත විනාශයක වැලකීමකි.

මෙන්න මේ කාරණා නිසා මගේ හිත තුළ සෝභිත හිමිට ඉතා ඇල්මක් පැවතිණි. මෙලොව බොහෝ කල් වෙසෙන්නේ යහපත් මිනිසුන් නොව අයහපත් මිනිසුන් ය. ඇතැම් විට එයට හේතුව එකම දුක් ගෝලයක් වූ ලෝකයෙහි වැඩිපුර කාලයක් වාසය කිරීම යනු වැඩි කාලයක් දුක් විඳීමට සිදුවීම විය හැක. 

ආගමික නායකයෙකු මියගිය විට මා කිසි දිනෙක ඒ වෙනුවෙන් පෝස්ට් දමා කහ කොඩි ෂෙයා කොට නැත. එහෙත් මම අද එය කරමි.

මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබ වහන්සේට සුබ ගමන්!!
_________________________
සහන් පද්මසංඛ පීරිස් 
THE SAHAN​ © 2015 නොවැම්බර් 08

2015/07/03

දේදුනු පෙරහන්



හමුව ඇගෙ සිත පෙමක රැඳි වග සිහිනයෙක රූසිරි මවා
අදහගන්නට සැබෑවක් වග නොහැකි තුටු සිත පිරවුවා
බිය ඇතත් හිත තුල මහත් එය වසා පෙම් බස් මිමිණුවා
වෙනස් බැඳුමන් බැඳෙනු නොහැකි ද දෙදෙනගෙම හද විමසුවා

ඉවසගන්නට පෙමක වෙනසක් නොහැකි වුණු ගල් කැට පවා
ඇගේ සියුමැළි සුමුදු නළලත රුධිර තිලකය තැවරුවා
හදිසියෙම දුර ඇමෙරිකාවෙන් දේදුන්න මෙහෙ පෑයුවා
පළමු ගල ගැසු සරණපාලත් මුහුණුපොත උගෙ සැරසුවා

දුටුවමුදු ඒ සොඳුරු දේදුනු පෑයු මහ මුහුදින් එහා
තවම ඉක්මන් නොවී හිටපන් සඟවගෙන ඔය පෙම මහා
නොම බලන් දේදුනු පෙරන් සවිකරන් ඉන්නා උන් දිහා
මුහුණුපොත බිතු යටින් හමනා දුගඳ පැතිරෙන වහ වහා

සහන් පද්මසංඛ පීරිස්​
THЕ SAHAN​
2015.06.30

2015/06/21

සුබ වේවා මචං!


2009 සිට මම ෆේස්බුකේ කවි ලියමි. ඒ දිනවල ලියූ කවි දෙස බලන්නටත් මට දැන් ලැජ්ජා ය. 2010 සහ 2011 ආසන්න කාලය ෆේස්බුකේ ගත කළ සොඳුරුම වකවානුව යි. අද මා කුමන හෝ ජාතියක කවියෙකු ලෙසින් කවුරුන් හෝ අයෙකු හඳුණාගනී නම්, මා පෙර කී සොඳුරු වකවානුව තුළ මා ෆේස්බුක් ඇසුරෙහි කියැවූ කවි, ඉගෙන ගත් දෑ ආදිය ඊ්ට බොහෝ උපකාරී වන්නට ඇත.

ෆේස්බුක් කවියෙකු ලෙස, ෆේස්බුක් කවිකමම මා හට බොහෝ දේ අහිමි කෙරුවේ ය. ඒවායින් සමහරකට කිසි දා මිලක් නියම කළ නොහැක. නමුදු ඒ අහිමිවීම් සමූහයම මට තවත් මිල කළ නොහැකි දෑ ගෙනැවිත් දෙන්නට සමත් විය. ඉතින් ඒ අතින් බැලූ විට, ෆේස්බුක් කවිකම මා හට බොහෝ විපර්යාස සිදු කර ඇත. අද සිට අතීතය ගැන කල්පනා කරද්දී ඒ විපර්යාස පිළිබඳ හිතට දැනෙන්නේ යම් ආකාරයක සතුටකි.

පෙර කී සොඳුරු යුගයෙහි ෆේස්බුක් කවීන් සිටියේ මතක තබාගත හැකි  ගණනකි. දැන් නම් මෙහි සිටින හැමෙකාම කවියන් ය. එදිනෙදා කතා කරන දෙබසක් ගෙන, එහි වචන කැඩීම පමණක් සිදු කර ලියන රචනාකරුවන් ද කවියන් ය. බස්සීගේ නිර්වචනයෙන් කිවහොත් ඒවා "පහළට කවි" ය. එක් අතකින් එය හොඳ ය. හැමෝම කවියන් යයි කියාගන්නා තැනෙක, හොඳ කවියෙකු ලෙස අයෙකු බිහි වේ නම්, ඌ පට්ට පොරක් ලෙස මම දකිමි. එමෙන්ම එවන් පට්ට පොරවල් අල්ප වීම නිසා බොරළු ගොඩක මැණික් මෙන් දිස්නේ දෙනවා ද ඇත.

ෆේස්බුක් කවිකමෙන් බිහි වූ පළමු පොත ලෙස මා දුටුවේ ටැටූ කොටනා හොර ගුණේ මාමාගේ "හිතේ කෙටූ ටැටූ" ය. එකල ගුණේ මාමා මා හඳුණන්නේ නැත. ඒ ටැටූවලට වඩා ගුණේ මාමාගේ දැන් කවි පට්ටෙත් පට්ට ය. 

ඊට පසු මගේ මතකයට එන්නේ මිහිරි අක්කාගේ පෑළවිය පොත ය. මට එම පොත එළිදැක්වීමට සහභාගීවීමටම උවමණා වූයේ මිහිරි අක්කා යනු මා ෆේස්බුකෙන් හඳුණාගත් ආදරණීයම චරිතයන්ගෙන් එකක් වන නිසා ය. එයට සහභාගී වීමට නොහැකි වූ නමුත් උත්සවයට අදාළ ඩිසයිනයක් කර දී හිතේ දුක අඩු කර ගත හැකි විය.

පසුව ෆේස්බුක් කවියන් කිවිඳියන් කිහිප දෙනෙකුම පොත් ගැසුවෝ ය. ඒ එකකට හෝ එන්නට නොහැකි වූයේ මා සිටියේ අගනුවරින් බොහෝ දුර වීම නිසා ය. ආසන්නතම පොත වුණු සඳුන් අයියාගේ පොතේ එළිදැක්වීමටත් එන්නට බැරි වූ හේතුව එය යි.

රියල් මචං ප්‍රොෆයිලය ෆ්‍රෙන්ඩ් ලිස්ටෙකේ ඇත්තේ බොහෝ කලක පටන් ය. නමුත් මා ඔහුගේ කවක් කියෙව්වේ ඉතා මෑතක දී ය. කවිය මතක නැතත්, මා මුලින් කීවා සේ පට්ට පොරක් ය යන හැඟීම ඒ මොහොතේ මට ඇති විය.

මචං පිටුපස සැඟවී සිටි සම්පත් කුරුප්පු ආරච්චිගේ කවි පොත එළිදැක්වීමට අද ගියෙමි. කිසිදාක හැබැහින් නොදුටු මචංකාරයා දැකගත්තෙමි. කලක සිටම ෆේස්බුකෙන් පමණක් දැක සිටිවුන් බොහොමයක්ම හැබැහින් දැක්කෙමි. ඉතින් එය මට මහත් වූ සතුටු ගෙන දෙන්නකි.

මෙතෙක් බොහෝ උන්ගෙන් මට පෙනුනේ ෆේස්බුක් කවිකමින් ඉපිද පොත් ගසා මිය යන සෙයකි. පොත ගැසූ පසු කලින් මෙන් කවි නොලියා සිටිති. සමහරුන් හිටියාට වඩා පට්ට ප්‍රබුද්ධ ‍වෙති. ඇතැමුන් හිටියාටත් වඩා ලෙංගතු වූ මුත් කවි අඩුවෙන් ලියති. ඉතිං, මේ පොතෙන් පස්සේ මචන්ගේ කවි උල්පත හිටින්නේ නැති වේ යැයි අපේක්ෂා කරමි. දැන් ඇහින් දැක්ක නිසා මචං දානා කවි තවත් හොඳින් ද කියවමි. තාම පොත නොකියවූ නිසා පොත ගැන කිසිවක්ම නොකියමි.

රියල් සම්පත් මචං, උඹට සිරාවටම හදවතින් සුබ පැතුම්!

සහන් පද්මසංඛ පීරිස්​
THЕ SAHAN​
2015.06.20

2015/05/26

සිහි උනා ඒ දවස්


අහම්බෙන් දුටුව එක

පෙම්වතුන් යුගලයක්

"නූඩ්ලස් කමු ද මහේස්?"

අම්මෙක්ම වාගේම
ඇය එහෙම අහනකොට
කුඩා දරුවෙකු වගේ
හිනැහුණා ඔහුත්

එතකොටම

"ඔයා ආසා දෙයක්"
හුඟක් දේ සඟවාපු
හරි හීනි හඬක්

මට ඉතිං සිහි උනා

අරුම ඒ දවස්
ලොවේ නන් දනන්ගෙන්
වෙනස් වූ අපිත්..

මවක් වන් වූ නුඹත්..

හුඟක් දේ මට දුන්න
නුඹත්..
ඒ වගෙම මමත්..
හුඟක් දේ නුඹෙන් නොඅරගත්තු
මමත්..

සහන් පද්මසංඛ පීරිස්
2015 මැයි 16


2015/05/19

රැවටුම


මිතුරු වෙසැති හතුරන් ද හතුරු වෙසැති මිතුරන් ද මොක්කුදැයි ඔබට තේරුම් ගත හැකි වන්නේ බොහෝ කලකට පසුව ය. ඔව් ඔබ රැවටේවි! අවුරුද්දක්.. දෙකක්.. 5ක්.. 10ක්.. ඔබ රැවටේවි!

ඔබ රැවටී ඇති බව වැටහෙන මොහොතේ දී ඔබ ඔබට කතා කරගත නොහැකි තරම් කම්පන අවස්ථාවකට ලක් වනු ඇත. නමුත් කම්පනය අවසන් වන ඊළඟ මො‍හොතේ ඔබ විඳින ශාන්තිය තේරුම් ගැනීමට නම් ඔබ එවන් අවස්ථාවක් අත්දැක තිබිය යුතුම ය! රැවටී ඇති බව තේරුම් යාම මහත් වේදනාවක් ගෙන දෙන්නකි! රැවැට්ටූ අය පිළිබඳව මහත් වෛරයක් ගෙන දෙන්නකි! ඔබව රැවැට්ටූ පුද්ගලයාටත් වඩා ඔබ වෛර කල යුත්තේ, ඔබව රැවටෙන බව දැන දැනත්, එය ඔබෙන් සැඟවූ අයට ය! රැවැට්ටීමට උදව් කරමින්, ඔබට මිතුරු මුහුණ පෙන්වූ අයට ය!

ඇතැමුන්ට "ඔබ රැවටෙමින් සිටිනවා" යැයි ඔබ හට ඍජුව කීමට අපහසුකමින්, ව්‍යංගයෙන් එය කීමේදී, ඔබ එය තේරුම් ගන්නේ වැරදියට ය! එවෙලේ ඔබට ඔහු හතුරෙකි! නමුත්, ඔබ රැවටී ඇති බව දැනගත් වහාම, චිත්‍රපටයක් මෙන් සියළු දේ හි ගැට ලිහෙමින් ඔබ ඉදිරියේ දර්ශනය වනු ඇත. ඔබ නොදුටු දේ ඔබට පෙනෙනු ඇත! ඔබ දුටු දේ, දුටු දේම නොවන බව වැටහෙනු ඇත.

අවසන, මා පෙර කී ශාන්තිය අත්විඳින අවස්ථාවේ දී, ඔබව රැවැට්ටූ අය, රැවටෙන බව දැන දැන වසන් කල අය, රැවැට්ටීමට උදව් කළ අය පිළිබඳව හිතෙහි ඇති වී නැති වී යන නොතිර කෝපය හැරුණු කොට, ඔබවත් ඔබ වටා ඇති ලෝකයත් දවන ස්ථිර වූ වෛරය ශූන්‍ය කර දැමීමට ඔබට හැකි නම්, ඔබේ ශාන්තිය අසීමිත එකක් වනු ඇත. මා පවසන්නේ ආගමික හෑල්ලක් නොව මගේම අත්දැකීමක සංශිප්ත සාරාංශයක් පමණි.

ඉතින්, වෛරය ශූන්‍ය කිරීමට උදව් වන අය ද ඔබට හමුවනු ඇත. ඔවුන්ව විශ්වාස කරන්න! ලොව සියලු මිනිසුන් ගැන අවිශ්වාසයෙන් බැලීමට තරම් ඔබව පරාජය කිරීමට, ඔබව රැවැට්ටූ  පිරිසට ඉඩ නොතැබීම ඔබේ ජයග්‍රහණයෙන් කොටසකි.

අන්තිමටම, ඔවුන් ගැන වෛරයක් නැති ඔබ, සිනහවෙන්, සංයමයෙන්, ඔවුන්ව අමතද්දී, වරදකාරී මානසිකත්වයෙන් යුතු ඔවුන් එක් වී ඔබ හට තව තවත් අණිනා ඇණුම් සිනහ වී ඉවසද්දී, ඔබේ ශාන්තිය සහ ජයග්‍රාහී හැඟුම් තව තවත් ඉහල යනු ඇති අතර, කවුරුන් කෙසේ පුරසාරම් දෙඩූවත්, ඔබ රැවැට්ටූ උන්ගේ හිත් මහත් වූ පීඩාවක සදා කල් රැඳෙනු ඇත

සහන් පද්මසංඛ පීරිස්
2015 මැයි 19

2015/03/28

නාදුනන හිතවත



හදිස්සියෙම හදට ගොඩවැදුන
කැම්පස් කෙල්ලක් ය ලං උන
බොහෝ දෑ දෙඩූමුදු
තවත් මදියැයි හිතවන

පාඩමක් ගැන විස්තර අතරතුර
දිනක් දෙඩුවා ඈ මෙහෙම
"අයියෙ දන්නවද පසන් කොඩිකාර?
මං හරිම ආදරේ ; ඒ අපේ සර් ය
පිස්සෙකු වාගේ අමුතු වූවාට
හරි හොඳ ය ආදරෙයි අප හට"

කී නිසා ඈ තව තවත් විස්තර
සොයා බැලුවෙමි ෆේස්බුක් පිටු අතර
දුටිමි පෙර දැක තිබූ මුත් මගහැරි
ඔහුගේ පාලු කාල රේඛාව

යවා මාගේ මිතුරු ඇරයුම
සතියකට පසු දිනෙක එළඹුන
අවදිවන්නට බෝ පමාවුණ
දහවලක මට ඇගෙන් පැමිණුන
කෙටිම කෙටි පණිවිඩෙකි ගොළු වුණ

"නැතිවෙලා මගෙ සර් අයියේ"
ඇගේ ඒ කෙටි බිඳුණු වැකියෙන්
ඇසූවෙමි යලි නොතේරුණු මම
කවුද නැතිවූයේ යි කියමින්
එහෙත් ඇගෙ ප්‍රති පණිවිඩෙට පෙර
ගුණේ ලියු සැර කවි පෙලක් දැක
වැටහුණෙමි ඇගෙ වචන මා හට

මගේ රික්වෙස්ටුව ද නොම දැක
බළල් ප්‍රේමියෙකු නික්ම ගොස් ඇත

"අනේ මට නං කවි ලියනු බැහැ"
කියා හැම තිස්සේම මතුරන
තවම ඇස කඳුලකින් තෙත් කල
ඇගේ ගුරු ගෞරවැති ප්‍රේමය
වෙනුවෙනුයි නාදුනන හිතවත
කිසිවක්ම නොම දන්න නුඹ ගැන
මගේ මේ කුරුටු ගෑ ලියමන


සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN 
2015 මාර්තු 26

2015/01/07

අපපූස්


පැත්ත පලාතම හොල්ලං ඉන්න දාමරික කලුපූස්ගේ ආසන්නතම ප්‍රහාරයකින්, අපපූස්ගේ වම් කම්මුලෙහි සැලකිය නොයුතු තරම් පුංචි තුවාලයක් ඇති වුනේ මීට මාස කිහිපයකට කලින්! උපතේ සිටම බාහිර පූසන්ගෙන් කෙතරම් බලපෑම් ආව ද, අපපූස් ප්‍රතිප්‍රහාරයන්ට යොමු නොවී ගුටි කෑම හෝ දුවා ගොස් සැඟවීම පමණක් සිදු කලේ අහිංසකකම නිසා ද බියගුලුකම නිසා ද කියා අපට තේරුණේ නෑ! කෙසේ වෙතත්, අපපූස්ට අතිශයින් ආදරය කල මාගේ බලතල භාවිත කරමින්, කලුපූස්ට එරෙහිව උපරිම බලය යොදා ගැනීමට මා තීරණය කලා!

ඉන්පසු, නිවසෙහි දොරකඩෙහි එක්රැස් කරන ලද ගල් කිහිපයක් නිරන්තරයෙන් දක්නට ලැබුණා! ගල් ප්‍රහාර හමුවේ ද කලුපූස්ගේ ආක්‍රමණ සැලකිය යුතු ලෙස අඩු වුණේ නැහැ. විශේෂයෙන් රාත්‍රී කාලයේ දියත් වුණු නිවෙස තුලටම විත් සිදු කෙරුණු ගරිල්ලා ප්‍රහාර නතර වූයේ නැහැ. නමුත්, කලුපූස් විරෝධී මෙහෙයුමේ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින්, එක්තරා දිනෙක දියත් කෙරුණු ගරිල්ලා ප්‍රහාරයක් අතරතුර දී කලුපූස්ට වැඩ වැරදුණා! නිවෙස තුලට පැමිණි කලුපූස්ට, නිවසින් පිටවිය නොහැකි වන ලෙස, ඌ පැමිණි ජනේලය වසා දමා ඉතා දරුණු ප්‍රහාර මාලාවකින් සංග්‍රහ කිරීමට මා සමත් වුණා! ඒ සියළු ප්‍රහාර, අපපූස් බලා සිටියේ කැබිනට්ටුව යට සැඟවීගෙනයි! ප්‍රහාරය අවසන, ගරිල්ලා සටනෙහි ඇති තම මනා හැකියාවන් භාවිත කරමින්, බොහෝ උසකින් තිබූ කව්ලුවකට නැග පලා යාමට කලුපූස්ට හැකි වූවා! එම ප්‍රහාරයෙහි ප්‍රමුඛතම ආයුධය වූ අම්මා ගේ අතුගානා කොස්ස, නැවත භාවිත කල නොහැකි පරිදි විනාශ වූ බව ද කිව යුතුයි!

එම තීරණාත්මක රාත්‍රියෙන් පසු අපපූස් හට කලුපූස්ගෙන් තිබූ කරදර සැලකිය යුතු ලෙස අඩු වුණා! අපපූස් සතුටින් ජීවත් වුණා! තමා මෙතෙක් කල් බිය වී සිටි කලුපූස් උවදුර පහවයාමත් සමඟ තමාට ලැබුණු නිදහස සහ ප්‍රාදේශික බලය, අපපූස් සති කිහිපයකින් ප්‍රදර්ශණය කර පෙන්වූවා! එහි පළමු පියවර වූයේ, මෙතෙක් තම මිතුරෙකු වූ, පෙර කල තමා මෙන්ම කලුපූස්ගෙන් බැට කෑ, එහා ගෙදර මෝඩපූස් සමඟ යුද්ධ ප්‍රකාශ කිරීමයි! උපතේ සිටම අවිහිංසකත්වය ප්‍රදර්ශණය කල අපපූස්, සති කිහිපයක් ගත වෙද්දී, සිරුරටත් වඩා නැට්ට පුම්බා ගෙරවීමටත්, මෝඩපූස් අප වත්තට ඇතුලුවන වේලාවල් බලා රැක සිට පෙරළාගෙන පහර දීමටත් පටන් ගත්තා! ලැබුණු බලයත්, නිදහසත්, අපපූස් විසින් අනිසි ලෙස භාවිත කරන බව අපට හැඟුණත්, අපපූස්ට තිබූ ආදරයක්, අපපූස් අප සමඟ පානා හුරතලයත් නිසා, අප මෝඩපූස් කෙරෙහි සංවේදී වූයේ නැහැ! "දැන් කලුපූස් නෑනේ! ඒක නිසා අපේපූස් චණ්ඩියා උනාම මොකද!" අන්න එහෙමයි අපේ කටවල් වලින් කියැවුනේ!

මෙසේ තවත් කලක් ගත වෙද්දී, තම ආරක්ෂාව ද, තමා කෙරෙහි දක්වන සැලකිල්ල ද, කලුපූස් උවදුර තිබූ සමයේ තරම් නොමැති බව, අපපූස්ට තේරුණා! එයට විකල්පයක් ලෙස, අපපූස් යොදාගත් උපාය මාර්ගය වූයේ, සුව වෙමින් තිබූ කම්මුලෙහි තුවාලය, තම පස්සා කකුලේ නියපොතු යොදාගෙන ඩිංගිත්තක් පාරාගැනීමයි! මුල් කාලයේදී අප මෙය නොදැන, නැවතත් කලුපූස්ට චෝදනා කරන්නට වූවා! කලුපූස් උවදුර නැවත හිස ඔසවන බවට වූ සිතිවිල්ල අපේ සිත් සතන් වල ඇඳී ගියා! අප නොමැති වේලාවක, කලුපූස් නැවතත් පැමිණ පහර දී කම්මුල තුවාල කරන්නට ඇතැයි අප උපකල්පනය කලා! නැවතත් අපපූස් වටා ආරක්ෂාව තර කෙරුණා! සැලකිල්ල ද වැඩි කෙරුණා! එම සැලකිල්ල සහ ආරක්ෂාව මධ්‍යයේ මෝඩපූස්ට එරෙහි ප්‍රහාර ද දිගින් දිගටම සිදු කෙරුණා!

එහෙත්, මෙවන් දැඩි ආරක්ෂාවක් යටතේ වුව, කම්මුලේ තුවාලය සුව වන බවක් පෙණුනේ නැහැ! දිනෙන් දින එය තව දුරටත් වැඩි වුණා! මිලිමීටර් කිහිපයක තුවාලයක් වූ එය, අඟල් කිහිපයක් දක්වා පැතිරුණා! එය දකිද්දී, අපපූස් කෙරෙහි අනුකම්පාව සහ සැලකිල්ල තවදුරටත් වැඩි කරවන්නත්, කලුපූස් කෙරෙහි අප සිත් තුල වූ වෛරය යලි යලිත් වැඩෙන්නටත් වූවා! නමුත්, කල් ගතවී හෝ සිදුවන දේ තේරුම් ගැනීමට අපට හැකි වුණා! පස්සා කකුල යොදාගනිමින් තුවාලය පාරාගන්නා බවත්, වේදනාව විඳගෙන හෝ, තව දුරටත් එහි වපසරිය වර්ධනය කරගැනීමට අපපූස් බලාපොරොත්තුවෙන් සිටින බවත් අපට තේරුම් ගියා! තවත් මෙය බලා සිටියහොත්, අපට නැති වෙන්නේ අපපූස්ම බවත් අපට තේරුම් ගියා! අපපූස් අහිමි වුවහොත්, එය නිවසේ සතුටට දරුණු බලපෑමක් එල්ල කරන්නක් වන බව අපට තේරුම් ගියා!

ඉතින් අපි තීරණයක් ගත්තා! එක්කෝ අපි හෙට අපපූස්ගේ නියපොතු ටික කපා දානවා! නැතහොත්, අපි, අපපූස්ව මීලඟ පූසාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරනවා!

(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN
2015 ජනවාරි 07

2014/12/19

පොළවක් සහ කුණාටුවක්


දවස් හතරක් තිස්සේ වහින ධාරාණිපාත වැස්ස තවමත් නතර වෙලා නැහැ! කොංක්‍රීට් වහලයක් තියෙන අපේ ගෙදර ඇතුලේ ඉද්දි වුණත් බය හිතෙන තරමට ලොකු කුණාටුවක් එක්කයි ඊයේ මහ රෑ වැස්ස තවත් දරුණු වුණේ! අල්ලපු ගමේ තරුණ අම්මා කෙනෙකුගේ සහ ඒ අම්මට තුරුල් වෙලා උණුහුමට නිදාගෙන හිටපු පුංචි දියණියෙකුගේ ජීවිත උදුරගෙන යන්න තරම් ඒ කුණාටුව දරුණු උනා! සමහර විට ඒ දෙන්නම ඒ වෙලාවේ හිතන්න ඇත්තේ, තමන් දකින්නේ නපුරු හීනයක් කියලා වෙන්න ඇති! අසරණ ජීවිත දෙකක් හොරකම් කරලත්, මොහොතකට හෝ විවේකයක් ගන්නට තවමත් අහසට ඕනි වෙලා නැහැ!

ඒත් මට හිතෙන්නේ අහස මෙච්චර වතුර වක්කරන්නේ පොළවට තියෙන අසීමිත ආදරේට කියලා! ආදරෙත් හරියට වැස්ස වගේ! පොලවට වැස්ස නැතුව බෑ වගේම, හිතකට ආදරේ නැතුව බෑ! ඒක සාමාන්‍ය ආදරයක් වුණොත්, සාමාන්‍ය වැස්සක් විඳින පොළවක් වගේ, හැම දෙයක්ම සමබරව තියේවි! හැබැයි, කෙනෙකුගේ ආදරය, අසාමාන්‍යැයි කිව හැකි තරම් විශාලත්වයෙන් වැඩි නම්, සාමාන්‍ය හිතකට බැහැ ඒක දරාගන්න! හරියට, මහා වැහි කුණාටුවකට හසු වෙලා, ගස් වැල් ඉරිදිලා, නාය ගිහින්, ගෙවල් දොරවල් කැඩිලා බිඳිලා, පොළව මත ජීවත් වුණු ජීවිතත් විනාශ වෙන තරම් පීඩාවක් විඳින සාමාන්‍ය පොළවක් වගේ! සාමාන්‍ය පොළවකට බැහැ, කුණාටුවක් දරාගන්න! මහා වැස්සක් දරාගන්න! සාමාන්‍ය හිතකට ආදර කුණාටුවක් දරාගන්න බැහැ වගේම!

ඒත්, කොච්චර වැස්ස වැටුණත්, සුලි සුළං ආවත්, දරාගෙන ඉන්න තැනුත්, මේ පොළව මත තියෙනවා! දරාගෙන ඉන්නවා නෙවෙයි! ඒ වගේ තැන් වල පොළව, හරිම ආදරෙන් තමයි වැහි කුණාටුව විඳින්නේ! ඒ තැන් වලට හැමදාමත් වගේ කුණාටුත් එනවා! ඉතින් ඒ කුණාටුව වගේම අසාමාන්‍ය ආදරයක්, විඳින්න පුලුවන් තරම් අසාමාන්‍ය හිත් තියෙන අයත් ඉන්නවා! ඒ වගේ හිතක් තියෙන කෙනෙකුට, සාමාන්‍ය ආදරයක් විඳගන්නත් බැහැ! එවැනි හිතකට ඕනි කුණාටුවක්! නිමා නොවෙන කුණාටුවක්! කුණාටුවටත් ඕනි, කොච්චර වැහි වැටුණත්, "තමුසෙගෙ ඔය කෙහෙල්මල් ආදරේ මට ලොකු වැඩියි ඕයි! මම බලාපොරොත්තු වෙන්නේ ඔය තරං ලොකු ආදරයක් නෙවෙයි" කියලා බෙරිහන් නොදෙන පොළවක්! හැම වැහිබිංදුවක්ම ආදරෙන් උරාගන්න පොළවක්! "මගේ ආදරණීය කුණාටුව! තව වැහැපියෝ" කියලා කෑගහන පොළවක්!

ඉතින් මම, මහා වැහි කුණාටුවක්!
ඇය, ඒ කුණාටුව දරාගන්න බැරිව නාය ගිය පොළවක්!
මැය, කුණාටුවේ හැම වැහි බිංදුවක්ම උරාගන්න ලෑස්ති වෙලා,
අහස දිහා බලං ඉන්න පොළවක්!
අහස - පොළව කෙදිනක හෝ යා නොවිය හැකි වුවත්,
කුණාටුව හැමීම කිසිසේත් නවත්වන්න බැහැ!
කුණාටුව ආදරෙන් විඳගන්නා පොළව ඉන් වලක්වාලන්නටත් බැහැ!
කාටවත් බැහැ! කිසිම දෙයකටවත් බැහැ!
අඩුම තරමේ, ලෝකේ ලොකුම බලවතා වෙච්චි,
කාලයට වත් බැහැ!

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 19

2014/12/13

පසුවදනක්

ප්‍රේම සබඳතාවක් බිඳවැටීමෙන් පසු, කෙනෙකු වැටීම සිටිනවාද, එසේත් නොමැති නම් නැගිටිනවාද යන්න තීරණය කල හැක්කේ එයින් පීඩිත පුද්ගලයාටම පමණක් මිස ඔහු වටා සිටින්නන්ට නොවේ! වටේ සිටින්නන්ට කල හැකි දෑ දෙවර්ගයකි! එක්කෝ නැගිටීමට උනන්දු කිරීමට හෝ එයට උදව් කිරීමට හැක! එක්කෝ වැටී සිටීමට අනුබල දීමට, නැගී සිටින්නට උත්සහ ගැනීමේදී එය වලක්වා නැවත නැවතත් වැට්ටීමට හැක! එමෙන්ම ඔහු විරහා වේදනාව විඳවිය යුතු කාලසීමාව තීරණය කරන්නේ එම පුද්ගලයාම මිස, කිසිත් නොදත් තෙවැනි පාර්ශවයක් නොවෙයි!

වසර ගණනක් විරහා වේදනාවෙන් පෙළෙමින් ජීවිතයම නාස්ති කරගන්නා පුද්ගලයන් ඔබ සිය දහස් ගණනින් දැක ඇත! ඇතැම් විට එය එසේ වීමට තව තවත් හේතු රැසක් බලපානු ඇත! ඔහු සමඟ පෙමින් වෙලී සිටි සහකාරියට සමාන හෝ ඊට වඩා හොඳින් වැඩි යැයි හැඟෙන්නියක් ලොව තුල හමු නොවීම, එයට බලපෑ හැකි එක් හේතුවකි! කෙසේ වුවත් ඔබ එවැන්නෙකු දෙස බලන්නේ කෙසේ ද? ඔබ අතුරින් ඇතැමෙක් අසරණයෙකු දෙස බලන අයුරින් ඔහු දෙස බලනු ඇත! ඇතැමෙක් මොඩයෙකු දෙස, පිස්සෙකු දෙස බලන අයුරින් ඔහු දෙස බලනු ඇත! අඳුරු ආගාධයක වැටී ජීවිතය විනාශ කරගන්නේ යැයි ඔහුට බැණවදිනු ඇත! නැගී සිටීමට කිසිදු උනන්දුවක් නැතැයි බැණ වදිනු ඇත! තවත් කෙනෙක් ඔහුගේ උතුම් වූ ප්‍රේමය ගැන, ප්‍රේමය වෙනුවෙන් කරනා පරිත්‍යාග පිළිබඳ පසසනු ඇත! සබඳතාව බිඳ වැටී දවස් 10කින් 15කින් නැගිටින කෙනාට ලැබෙන ප්‍රතිචාර කෙසේ විය හැකි ද? එහි දී ඔහු කල ආදරයට ලැබෙන වටිනාකම බලු බළලුන්ගේ මට්ටමට වට්ටන්නට ඔබ ක්‍රියා කරනු ඇත! ජීවිතය නාස්ති නොකරගෙන නැගිටීම පිළිබඳ පැසසුමෙන් කතා කරන්නන් ඔබ අතුරින් ඉතා අඩුවෙන් බිහිවනු ඇත! අනෙක් සියල්ලෝම ඔහු දෙසට ඇඟිල්ල දිගු කරනු ඇත!

කෙනෙකු විරහා වේදනාව නමැති අඳුරෙහි විඳවනා කාලයෙන්, ඔහු සිදු කල ප්‍රේමයේ දිග පළල සෙවීමට යන්නේ නම් ඔබ මහත් වූ මෝඩයෙකු යැයි මම කියමි! විරහා වේදනාවේ කාල සීමාව ප්‍රේමය මැනීමේ ඒකකයක් ලෙස යොදා ගන්නා ඔබ සියල්ලෝම මෝඩයන් බව මම කියමි! කාලය යනු කුමක්දැයි ඔබ දන්නවා ද? කාලය යනු අපට පෙනෙනා දෙයක්, අත ගෑ හැකි දෙයක් නොව, අපට දැනෙනා දෙයකි! ඒ දැනීමට හේතු වන්නේ මතක, විඳීම්, හැඟීම් සහ බලාපොරොත්තු/අපේක්ෂා අප සිත තුල නිරතුරුව රැඳී පැවතීමයි! ඒ දේවල් ඔබේ මනස තුල නොවූ තැන දී ඔබ හට කාලය අතික්‍රමණය කල හැකි වනු ඇත! කාලය පිළිබඳ හැඟීමකින් තොරව සිටිය හැකි වනු ඇත! ඉතින්, කාලය දැනෙන්නේ ඔරලෝසු වලට වත්, කැලැන්ඩර වලට වත් නොව, එකිනෙකාගේ සිත් වලටම පමණි! එය ද සිත් වලට ස්වාධීන වන ලෙස ය! ඔබට දැනෙන පැයක කාල සීමාවෙදි ඇති දිගම, මට දැනෙන්නේ නැත! ඉතින්, එදිනෙදා කටයුතු වලදී ජීවිතය පහසු කරගැනීමට යොදාගන්නවා මිස, ඔරලෝසු වලින් ඔබේ සිතේ කාලය මැනිය නොහැක!

කෙනෙකු ප්‍රේම සබඳතාව බිඳ වැටී වසර 20ක් විඳවනවා විය හැකිය! තවත් කෙනෙකු දවස් 20කින් නැගිටිනවා විය හැකිය! ඔබෙන් බහුතරය සිතන්නේ දවස් 20න් නැගිටින්නාගේ ප්‍රේමයේ ප්‍රබලත්වය, වටිනාකම ඉතා අඩු බව ය! නමුදු, ඒ දවස් 20 ඇතුලත ඔහු විඳවූ විඳවීම, ඔහුට දැණුනේ දවස් 20ක විඳවීමක් ලෙසින්ම ද, මාස 20ක විඳවීමක් ලෙසින් ද, එසේත් නොමැති නම් අවුරුදු 20ක කුරිරු විඳවීමක් ලෙසින් ද යන්න ඔබට උපකල්පනය කල නොහැක! එසේ උපකල්පන වල සිට විනිෂ්ච්‍යයන් ලබා දීමට ඔබට අයිතියක් ද නොමැත!

අවසන, දෙයක් ගැන කිසිවක් නොදැන ජජ්මන්ට් දීමට ඉදිරිපත් නොවන්න! පරචිත්ත විජානන ඥානය නොමැති නම්, අනුන්ගේ සිත් පිළිබඳව සහතික දීමට ඉදිරිපත් නොවන්න! එසේම, කිසිවකුට ප්‍රේම කරන අයුරු ඉගැන්වීමට ද ඉදිරිපත් නොවන්න!

මන්ද, ඔබ, මා නොවන බැවිණි! මා, ඔබ නොවන බැවිණි!

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 13

2014/09/03

අතථ්‍ය කඳුළු












ලෝකයේ අනෙක් පස
චිත්‍රාගාර තුල මැවෙන
අතථ්‍ය සිහින මත දුවන
නළු සුද්දන් මල විට ගලන
මුහුණු පොත බිතු තෙමන

අංකිත කඳුළු කැට කොහි ද?
අංකිත සොටු දියර හිඟ ද?

පුංචිම රටක තැනක
දහඩිය තුලින් ඉපිද
වේදිකා මතින් නැගිට
පාදම තැනි තථ්‍ය මිනිසුන්
කලා පස පොහොර කර මල විට

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 සැප්තැම්බර් 03

Bandula withanage, ඉන්දුල විතානගේ sinhala Poems සිංහල කවි

2014/07/06

තරුවක් දුටිමි



ලංකාවේ රියැලිටි සංගීත වැඩසටහන් ගැන මොන මොන අදහස් සහ චෝදනා තිබුණත්, ඒවාගෙන් බිහිවුණු පිරිසෙන් අතලොස්සක් දෙනා බොහොම දක්ෂයෝ. හැබැයි ඒ සැබෑ දක්ෂයෝ අතලොස්සෙනුත් ක්ෂේත්‍රය තුල ඇත්ත ගායකයෝ විදිහට කවුරු රැඳිලා ඉන්නවාද කියන එකයි සැබෑ ප්‍රශ්ණය. කවුරු මොන කතාව කිව්වත්, සිරසෙන් බිහිවුණු ශිහාන් මිහිරංග මම අදටත් කැමති ගායකයෙක්. හැම සින්දුවකටම නොවුනත්, ඔහුගේ ගීත කිහිපයකටම මම කැමතියි. ඔහු මට අනුව දක්ෂයෙක් වගේම, මම දැකපු විදිහට එදා මෙදාතුර ලාංකීය රියැලිටි ටීවී ඉතිහාසයේ, සැබෑවටම "ස්ටාර් කෙනෙක්" වුනේ ඔහුයි. ඔහුව දැක්කම හායි හූයි ගාලා කෑගැහෙන රසික පිරිසක් ඔහු එදා බිහිකරගත්තා. එයිනුත් වැඩි පිරිස වුණේ ගැහැණු පාර්ෂවය වීම නිසාම, බහුතර ලාංකීය පිරිමින් තුල ශිහාන් කෙරෙහි ඉර්ශියාවක් ද, ඒ හරහා යම් ආකාරයක වෛරයක් ද හටගත්තා. හැබැයි ඒ කාලේ පිරිමි බොහෝ පිරිසක් ශිහාන්ගේ පෙනුම ගන්න උත්සහ කරපු එකත් නොරහසක්. ඔහුගේ "ස්ටාර්භාවයට" එයම සාක්ෂි දරනවා. හැබැයි ඔහුටත් මීට වඩා යමක් කරන්න තිබුණා කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නේ. ඊලඟට, සිරසෙන්ම බිහි වුණු හිතවත් අර්ජුන අයියත් මට අනුව සැබෑ දක්ෂයෙක්! හැබැයි, ශිහාන්ටත් වඩා ස්ටාර් කෙනෙක් වෙන්න හැකියාවක් තිබූ ඔහුගෙන් ලංකාවට දැනෙන්න තරම් යමක් එලියට ආවද කියන එකත් ප්‍රශ්ණයක්. අනාගතයේදී වත් අර්ජුන රූකාන්ත කියන ස්ටාර්, ලංකාව හෙල්ලෙන විදිහේ වැඩක් කරාවි කියලා මම ප්‍රාර්ථනා කරනවා! 

ඊයේ සිරස සුපර් ස්ටාර් බැලුවා. ලයිව් සිංග් කරනවා වගේ රෙකෝඩින් වලට කට හොල්ලපු ඒ කවුරුවත් ස්ටාර්ස්ලා නෙවෙයි. අද දෙරණ ඩ්‍රීම් ස්ටාර් බැලුවා. සිරසට සාපේක්ෂව ඩ්‍රීම් ස්ටාර් ගොඩාක් ඉහලින් ඉන්න බව මට දැනෙනවා. එහි නිවේදකයා හැරුණු කොට හැම අතින්ම. තරඟකාරයෝ සහ විනිසුරු මඩුල්ලත් ඇතුලත්ව. දිනපතා නොබැලුවත් ඉඳහිට අහම්බෙන් දැක්ක තැන් වලින් මට දැනෙන්නේ එහෙමයි. ඒ වගේම එදා මෙදා තුර රියැලිටි ටීවී ඉතිහාසයේදි මගේ හිත අතිශයින් ඇද බැඳගත්තු ගායකයා මම දැක්කෙත් මේ පාර දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකෙන්. ඔහු හඬින් ද පෙණුමෙන් ද Nickelback සංගීත කණ්ඩායමේ Chad Kroegerව සිහිපත් කලා. ඒ තමයි මහනුවරින් බිහිවුණු හර්ෂ ධනෝෂ්. මම මෙතෙක් දැක්ක හොඳම රියැලිටි තරඟකරුවා. රොක් ස්ටාර් කෙනෙක් වෙනවා නම් එයට සුදුසුම කෙනෙක්. හැබැයි ඔහුගේ ශෛලිය වැළඳගැනීමට වර්ථමාන ලංකාව තවම සූදානම් කියලා මම හිතන්නේ නැහැ. අවසන් තිදෙනා අතරට පැමිණිය යුතු ඔහු කලින්ම ඉවත් වීම සිදු වීමට එයත් හේතුවක්. රසික පිරිස වැඩි කරගැනීම සහ මුදල ගැන නොසිතා, තමන්ගේම අනන්‍යතාවය හරහා ඔහු මේ පෙන්නපු දේ වෙනස් නොකර ඉදිරියට රැගෙන ගියහොත්, ඔහුට අනාගතයේදී සැබෑ "පොරක්" වීමේ හැකියාව තියෙනවා. මොකද, ලංකාව තුල රොක් අහන, මෙටල් අහන රසික පිරිසක් මෙන්ම රොක්/මෙටල් ගායකයින් පිරිසක් බිහිවෙමින් පවතින්නේ ද දැනුයි!

සහන් පද්මසංඛ පීරිස් 
THЕ SAHAN ©
2014.07.06

Harsha Dhanosh, Derana Dream Star, Shihan Mihiranga, Arjuna Rookantha, Sahan, Sirasa Super Star

2014/02/27

ෆේක් ෆ්ලොරෙන්තිනෝ


විද්වත්ය කියන, පරිණතය කියන සමහර මිනිස්සු, විශේෂයෙන් මේකේ ඉන්න ෆේස්බුක් කවි චරිත හිතන් ඉන්නේ උනුත් ෆ්ලොරෙන්තිනෝ අරීසාලා කියලා! හැබැයි උන්ට අමතකයි ෆ්ලොරෙන්තිනෝ කවදාවත් ෆර්මිනාගේ සහ උර්බිනෝගේ පවුල් ජීවිතය කැඩෙන ආකාරයේ ගොබ්බ වැඩක් කලේ නෑ කියලා! අන්න එතනයි ෆ්ලොරෙන්තිනෝගේ වටිනාකම තියෙන්නේ!

අහ් මට වැරදුනා! උර්බිනෝ මැරෙනකල් ෆ්ලොරෙන්තිනෝ ගෑණු හයසීයක් එක්ක අහවල් දේ කලා! ඔහු බුදියගත්තු ගෑණු 600 ඇතුලේ අනුන්ගේ ගෑණුත් හිටියා! සමහර උන්ගේ පවුලුත් කැඩුනා! සමහර ගෑණු, තමන්ගේ මිනිහා අතින් මැරුම් කෑවා! ෆ්ලොරෙන්තිනෝව ආරෝපණය කරගන්න උත්සහ කරන මේ හිස් පරිණත මිනිස්සු කරන්නෙත් ඒ පාර්ට් එක වෙන්න ඇති! තමන්ගේ අහිමි ප්‍රේමයේ වේදනාව, අනුන්ගේ ගෑණියෙකුගෙන් හරි වහගන්න උත්සහ කරන එක! හැබැයි, ෆ්ලොරෙන්තිනෝ වෙන කෙනෙක්ව කසාද බැන්දේ නෑ! ඔහුට දරුවෝ හිටියෙත් නෑ! හැබැයි මේ පරිණත ෆේස්බුක් කලාකාරයෝ බැඳලා දරුවොත් ඉන්න උන්!

ඔවුන්ගේ කවි වල තියෙන ගැඹුරු බව, පරිණත බව, ඇයි ඔවුන්ගේ ජීවිත වල නැත්තේ? එයින් පෙනෙන්නේ ඒක බලෙන් තවරාගත් පරිණත බවක් කියලා ද? ඕනෑම මිනිහෙකුට හැඟුම් වලට තහනමක් නෑ තමයි! සිතුවිලි වලටත් තහනමක් නෑ! හැබැයි ඕන වල් කමක් කරගන්න ඕනි තමන්ගේ හිතේ සීමාවේ! එහෙම නැතුව ඒවා නිදහස් අදහස්ය කියලා ප්‍රකාශ කරන්න ගියොත්, අනුන්ගේ ජීවිත අවුල් කරවීමෙන් ඇතිවෙන සාපයෙන් කවදාවත් උන්ට ගැලවීමක් නෑ!

අනික් අතට, අහඹු ලෙස කිහිප දෙනෙක් කෙරෙහි හිත බැඳෙන එක සාමාන්‍ය උනත්, එක සහකාරයෙක් එක්ක විතරක් සිතුවිලිමය හෝ කායික ගණුදෙනුවක යෙදෙන්න හික්මීමක්, ශික්ෂණයක්, ස්වයං පාලනයක් නැති මිනිස්සු, ශිෂ්ඨාචාරයකට නොගැලපෙන බවයි මම පුද්ගලිකව හිතන්නේ!

කෙනෙකු ගැන හිතේ තියෙන යහපත් ආකල්පයක් අතිශයින් අයහපත් වෙන්න ගතවෙන්නේ බොහොම සුළු කාලයක්! පහුගිය දවස් ටිකේ අපේ ජීවිත වලට බලපෑම් කරපු, මේක ලියන්න හේතු වුණු මේ ෆේක් ෆ්ලොරෙන්තිනෝ ගැනත් මගේ හිතේ කලින් තිබුනේ බොහෝම වැදගත් ස්ථානයක්! ඔහුගේ නිර්මාණ හරහා ගොඩ නැඟුණු ගෞරවයක්! එහෙත්, තමන්ගේ බොළඳ බව හෝ හැඟුම් වල ස්වයං පාලනයක් නොමැති කමින් ඔහු ඒ ගෞරවය වෛරයක් බවට පත් කලා!

අදටත් ඔහුගේ වෝල් එකේ ඔහුව ඉහලින් අගය කරන පිරිස, මේ සිදුවීම ගැන දන්නේ නෑ! ඔහු කවුද කියලා මම කියන්නෙත් නෑ! මොකද, මටත් මගේ කෙලි පොඩ්ඩටත් මේ "වියපත් තුරු හිසෙන්" ලැබුණු මල කරදරය දැන් ඉවරයි කියලා මම හිතනවා! හැබැයි ඒක මට විශ්වාස නෑ! මොකද, "ආයේ මං ඔයාලා දෙන්නගේ ජීවිත වලට කරදර කරන්නෑ නදී" කියලා පොර කිහිප පාරක්ම කියපු නිසා! 

2013/08/30

තාත්තාගේ ආදරය


අම්මෙකුගේ ආදරය හරියට ඔප දමාපු වීදුරුවක් වගේ පැහැදිලිව පෙනෙද්දි, තාත්තෙකුගේ ආදරය විටෙක හරිම අපැහැදිලි විදිහට දුවෙකුට දැනෙන්නට ඉඩ තියෙනවා! නිමක් නැති සීමා, නීති රීති, සැරවැරකම්, තරවටු කිරීම් සමඟ පීඩාවට පත් වෙන දුවෙකුට, තාත්තා මට ආදරේ නෑ කියලා හිතෙන්නටත් පුළුවන්! 

අම්මා හඳ වගේ නම්, තාත්තා හරියට ඉර වගෙයි! ඉර හැමදාම පායනවා! කිසි කෙනෙකුට ඒකේ ගාණක් නෑ! අව්ව හරි සැරයි, රස්නෙයි කියලා ඉරට හැමෝම බණිනවා! ඉර, සැරම සැර අව්ව පතිත කරන්නේ, ලෝකය සීතලෙන් මුදවගන්නයි කියලා කවුරුවත් දන්නේ නෑ! ඒ වගේම, ඉර කවදාවත් නෑවිදින් ඉන්නේ නෑ! එහෙමත් දවසක රාහු ඇල්ලුවාට, ඉරට අමාවක දවසක් නෑ! ඒත්, හැමෝම මොන රහස් වැඩේ කරන්නෙත්, ඉර බැහැලා ගියාම! ඉරට හොරන්!

ඒත් හඳට හැමෝම ආදරෙයි! හඳ ලස්සනයි, සෞම්‍යයි කියලා හැමෝම හඳේ හොඳ කියනවා! හැබැයි, හැමෝටම අමතකයි, හඳට එලිය ලැබෙන්නේත් ඉරෙන් කියලා! කෙනෙක් ඉරහි අගය හරියට තේරුම් ගන්නේ, කරුවලේ අසරණ උනාම! සීතලේ අතරමං උනාම! නපුරු හීන පිරුණු රාත්‍රියක් නිමා වෙලා එලි වෙන්නේ කොයි වෙලාවේද කියලා නොඉවසිල්ලෙන් ඉන්න සිද්ධවුණාම! 

දුවෙකුට තාත්තාව සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට හැකි වන්නේ, ඇය මවක් වූ දාටම පමණයි කියලයි මට හිතෙන්නේ! තාත්තා තමන් කෙරෙහි එදා ඒ විදිහට හිටියේ ඇයිදැයි කියා ඇයට එදාට වැටහේවි! එදා තමන් හිරවුණු නීති රීති, තමන්ගේ ජීවිතයට කොයිතරම් බලපෑවාද කියන දේ, ඈ තේරුම් ගනීවි! එදාට ඇය කම්පා වේවි, ළමා කාලයේදි, තරුණ කාලයේ දී තාත්තා ඇයට නීති රීති දාද්දි, තරවටු කරද්දී ඇය තාත්තාත් සමඟ තරහා ගත් අයුරු මතක් කරමින්! තාත්තා තමන්ට කොපමණක් නම් ආදරේ කරන්න ඇත්දැයි සිහි කරමින්!

ඔබ ඔබේ තාත්තාව විශ්වාස කරන්න! තාත්තාගේ නීති රීති විශ්වාස කරන්න! මම ආයෙමත් කියන්නේ, තාත්තා හරියට ඉර වගෙයි! කොයිතරම් අව්ව සැර උනත්, ඉර ඔබට ආදරෙයි!

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2013 අගෝස්තු 30

2013/05/29

මිනිත්තුවකි ජීවිතය



මම සහන්!
මම කතාවක් කියන්නම්!

එකෝමත් එක කාලෙක, සුරූපී සුරඟනක් වාසය කලා! මේ සුරඟනට හොර රහසින් පෙම් බැන්ද පුංචිම පුංචි වවුල් පැටියෙක් හිටියා! සුරඟන යන එන විදිහ, ඇගේ කතාව, හිනාව දිහා ඌ හොර රහසේ බලා හිටියේ හරිම ආදරයෙන්! "මම පියාඹන්නේ ඇය වෙනුවෙන්" ඒ ඌ පියාඹන්න කලින් හිතන දේ! "මම කෑම කන්නේ ඇය වෙනුවෙන්" ඒ ඌ ආහාර ගන්න කලින් හිතන දේ! කරන හැම දෙයකටම, සිද්ධවෙන හැම දෙයකටම සුරඟනව කොහොමහරි සම්බන්ධ කරගත්තා ඌ!

අවුරුදු ගණනාවකට පස්සේ, වවුල් පැටියා තීරණය කලා, උගේ ප්‍රේමය සුරූපී සුරඟන ඉදිරියේ පවසන්න! ඒත් සුරඟනගේ ප්‍රතිප්‍රේමය, ඌට සිහිනයක්! කොහොම උනත්, ඌට සුරඟනගෙන් තොර වෙනත් ලොවක් නොතිබුණු නිසා, ඌ එක් දිනක් උදයේම හිතට හයිය අරන් සුරඟන සිටි දිහාවට පියෑඹුවා! වවුල් පැටියා පියාඹාගෙන එන හැටි ඈත තියාම දැක්ක සුරූපී සුරඟන, ඇගේ හිරිපොද වැස්සක් මෙන් සිහිල් හිනාවෙන් ඌව පිළිගත්තා! සුරඟන අසලින් හිඳගත්තු වවුල් පැටියාගේ පුංචි හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ වෙන කවරදාකවත් නැති විදිහට!

"ලොව ඇති පිරිසිදුම හදවත හිමි
සුරූපී සුරඟන වන ඔබට,
මේ කාරණය පැවසීමට
මා තරම් නොවන බැව් දනිමි!
නමුදු, දෙනු මැන අවසරය,
සුරඟන මදකට!"

ඌ උගේ බොහොම සියුම් සහ ගැහෙන සුළු කටහඬින් එලෙස පැවසුවා! වවුල් පැටවාගේ කාරණය පැවසීමට අවසර දෙන බැව් අඟවමින් සුරඟන හිස වැනුවා! ගද්‍යයෙන් පවසනු වෙනුවට, වවුල් පැටවා දෙනෙත් පියා, ඉතා මිහිරට ගීයක් ගයා පැවසූවා, තම හිත පුරාම වෙලී පවතින සුවිසල් ප්‍රේමය පිළිබඳව! නිහඬ බව පිරුණු වටපිටාව මධ්‍යයයේ, වවුල් පැටවාගේ සියුම් හඬ හොඳින් ඇසුනා! ගීය අවසානයේ ඌ හෙමින් දෙනෙත් ඇරියා! සුරඟනගේ සිනහව අතුරුදහන් වී තිබුනා! ඈ පුදුමයෙන් ද කෝපයෙන් දැයි වවුල් පැටවාට තේරුම් ගන්න අසීරු වුණා! සැබැවින්ම සුරූපී සුරඟන සිටියේ කිසිම දෙයක් තෝරාගත නොහැකි තරම් පුදුමයෙන්! ජීවිත කාලය පුරාම අපේක්ෂා කරපු දෙයක්, තමන් ඉදිරියට කඩා වැටුණා වැනි හැඟීමක් ඇගේ හිතට එබිකම් කරමින් තිබුණා! සිතෙහි ඇතිවුණු වික්ෂිප්ත බව නිසාම, ඇගේ මුහුණින් කිසිදු හැඟීමක් පිටවූයේ නැහැ!

අවුරුදු ගාණක් රහසින් ගොඩනඟපු මහත් වූ ප්‍රේමය සුරඟන ඉදිරියේ පිටකරපු වවුල් පැටවාගේ හිතට දැණුනේ අසීමිත සැහැල්ලුවක්! ඒත් ඒ අතරේම මහත් වූ කණගාටුවකින් හිත වෙලී යන බව ඌට දැණුනා! තම සිහිනය සිහිනයක්ම පමණක් බැව් දැණුනු නිසා, ඌ ආපසු යන්න හැරුණා! මඳක් දුරක් ඇවිදගොස් පියෑඹීමට පෙර, ඌ නැවත සුරඟන දෙසට හැරුණා! ඌ නැවත ගැයුවා! ඒක ප්‍රේමය, පරාජය, බිඳුණු බලාපොරොත්තු සහ හීන මුසු වෙච්ච සංවේදී ගායනයක්!

"සුරූපී සුරංගනාවියනි!
නුඹේ,
කල්පිත ප්‍රතිප්‍රේමය වෙනුවෙන්
මා සූදානම්,
මගේ දිවියම
නුඹේ සුවඳැති
ශ්වේත පා මතපුද කරන්නට!

සුරූපී සුරංගනාවියනි!
නුඹේ,
කල්පිත ප්‍රතිප්‍රේමය..
කෙතරම් මිහිරියි ද එය!
දනිමි එය මට
නොලැබෙනා බව!

නමුදු උපකල්පනය කරනෙමි!

සුර අඟන නුඹ
පෙම් කලොත් මට
නුඹේ පිරිසිදු
මුළු හිතින්...

සුර අඟන නුඹ
පෙම් කලොත් මට
තැනින් උපදින
හදෙහි ජීවය...

සුර අඟන නුඹ
පුද කලොත් මට
පරම සත්‍යැති
ප්‍රේමයක්...

හකුළවමි මම
මගේ මුළු දිවි
සැණින් ගෙවෙනා
මිනිත්තුවකට!!"

එසේ කියා වවුල් පැටවා තම කඳුළු රූරා වැටෙන දෙනෙත සුරඟනගෙන් වෙන් කොට, පියඹා යන්නට වුණා! සුරූපී සුරඟනගේ දෙකම්මුල් හරහා ඇඳෙන ද්වී කඳුළු රේඛාව ඌ දුටුවේ නෑ! ඌ සුරඟනගෙන් ටිකෙන් ටික ඈත් වෙමින් පියෑඹීම සිදු කරමින් සිටියා! සුරඟන කෑගැසුවා!

"කාල දෙනෙතැති වවුල් පැටව..
නුඹේ පෙමට පමණක් දෙවැනි වූ
විසල් ප්‍රතිප්‍රේමය
නුඹ සතුය අද සිට"

මේක ඇසුණු වවුල් පැටවාට සිහි එලවාගත නොහැකි වුණා! ගමන් මඟ ආපස්සට හැරවූ ඌ වේගයෙන් හුස්ම ගනිමින් සුරඟන දෙසට පියාඹා ගොස් ඇගේ ශ්වේත පා තුඩු මත හිඳගත්තා! ඌ උගේ තද කළු ඇස් වලින් සුරඟනගේ නිල් දෙනෙත් දෙස බැලුවේ මිහිමත කිසිම බලවේගයකට පරාජය නොකල හැකි ප්‍රේමයක් ඒ ඇස් වල පුරවාගෙන යි! ඇගේ දෙනෙත් පිළිබඳවත් පැවසීමට තිබුනේ එයම මිස වෙනෙකක් නොවේ!

එහෙත් කාටත් හොරෙන් මිනිත්තුව සම්පූර්ණ වුණා!
වවුල් පැටවාගේ කුඩා සිරුර, සුරූපී සුරඟනගේ ශ්වේත පා මත සදහටම නිසල වුණා!

කතාව ඉවරයි!
මම සහන්!
මම තවම ඉන්නේ
මිනිත්තුවක් ඇතුලේ!
TheSahan©
2013.05.28


2013/05/02

රණ්ඩුවක නටඹුන්ය


විදුලි ඇසිපිය හෙලා
වැස්සකට තටමනා
අහස්කුස නුඹ වගෙයි හිතෙනවා

ටිකක් ලොකු වැහි කැබලි
තරහින්ම අතහරින
දම්පාට ඇස් නුඹේ දිලෙනවා

විසිර ගිය හාත්පස
රණ්ඩුවක නටඹුන්ය
නුඹේ කට නැතිව ඉකි ගැසෙනවා

එපා කියනට එහෙම
එපා ආයෙම ඔන්න
මම සුළඟ වී නුඹව සිපිනවා
2013 අප්‍රේල් 22