2015/06/21

සුබ වේවා මචං!


2009 සිට මම ෆේස්බුකේ කවි ලියමි. ඒ දිනවල ලියූ කවි දෙස බලන්නටත් මට දැන් ලැජ්ජා ය. 2010 සහ 2011 ආසන්න කාලය ෆේස්බුකේ ගත කළ සොඳුරුම වකවානුව යි. අද මා කුමන හෝ ජාතියක කවියෙකු ලෙසින් කවුරුන් හෝ අයෙකු හඳුණාගනී නම්, මා පෙර කී සොඳුරු වකවානුව තුළ මා ෆේස්බුක් ඇසුරෙහි කියැවූ කවි, ඉගෙන ගත් දෑ ආදිය ඊ්ට බොහෝ උපකාරී වන්නට ඇත.

ෆේස්බුක් කවියෙකු ලෙස, ෆේස්බුක් කවිකමම මා හට බොහෝ දේ අහිමි කෙරුවේ ය. ඒවායින් සමහරකට කිසි දා මිලක් නියම කළ නොහැක. නමුදු ඒ අහිමිවීම් සමූහයම මට තවත් මිල කළ නොහැකි දෑ ගෙනැවිත් දෙන්නට සමත් විය. ඉතින් ඒ අතින් බැලූ විට, ෆේස්බුක් කවිකම මා හට බොහෝ විපර්යාස සිදු කර ඇත. අද සිට අතීතය ගැන කල්පනා කරද්දී ඒ විපර්යාස පිළිබඳ හිතට දැනෙන්නේ යම් ආකාරයක සතුටකි.

පෙර කී සොඳුරු යුගයෙහි ෆේස්බුක් කවීන් සිටියේ මතක තබාගත හැකි  ගණනකි. දැන් නම් මෙහි සිටින හැමෙකාම කවියන් ය. එදිනෙදා කතා කරන දෙබසක් ගෙන, එහි වචන කැඩීම පමණක් සිදු කර ලියන රචනාකරුවන් ද කවියන් ය. බස්සීගේ නිර්වචනයෙන් කිවහොත් ඒවා "පහළට කවි" ය. එක් අතකින් එය හොඳ ය. හැමෝම කවියන් යයි කියාගන්නා තැනෙක, හොඳ කවියෙකු ලෙස අයෙකු බිහි වේ නම්, ඌ පට්ට පොරක් ලෙස මම දකිමි. එමෙන්ම එවන් පට්ට පොරවල් අල්ප වීම නිසා බොරළු ගොඩක මැණික් මෙන් දිස්නේ දෙනවා ද ඇත.

ෆේස්බුක් කවිකමෙන් බිහි වූ පළමු පොත ලෙස මා දුටුවේ ටැටූ කොටනා හොර ගුණේ මාමාගේ "හිතේ කෙටූ ටැටූ" ය. එකල ගුණේ මාමා මා හඳුණන්නේ නැත. ඒ ටැටූවලට වඩා ගුණේ මාමාගේ දැන් කවි පට්ටෙත් පට්ට ය. 

ඊට පසු මගේ මතකයට එන්නේ මිහිරි අක්කාගේ පෑළවිය පොත ය. මට එම පොත එළිදැක්වීමට සහභාගීවීමටම උවමණා වූයේ මිහිරි අක්කා යනු මා ෆේස්බුකෙන් හඳුණාගත් ආදරණීයම චරිතයන්ගෙන් එකක් වන නිසා ය. එයට සහභාගී වීමට නොහැකි වූ නමුත් උත්සවයට අදාළ ඩිසයිනයක් කර දී හිතේ දුක අඩු කර ගත හැකි විය.

පසුව ෆේස්බුක් කවියන් කිවිඳියන් කිහිප දෙනෙකුම පොත් ගැසුවෝ ය. ඒ එකකට හෝ එන්නට නොහැකි වූයේ මා සිටියේ අගනුවරින් බොහෝ දුර වීම නිසා ය. ආසන්නතම පොත වුණු සඳුන් අයියාගේ පොතේ එළිදැක්වීමටත් එන්නට බැරි වූ හේතුව එය යි.

රියල් මචං ප්‍රොෆයිලය ෆ්‍රෙන්ඩ් ලිස්ටෙකේ ඇත්තේ බොහෝ කලක පටන් ය. නමුත් මා ඔහුගේ කවක් කියෙව්වේ ඉතා මෑතක දී ය. කවිය මතක නැතත්, මා මුලින් කීවා සේ පට්ට පොරක් ය යන හැඟීම ඒ මොහොතේ මට ඇති විය.

මචං පිටුපස සැඟවී සිටි සම්පත් කුරුප්පු ආරච්චිගේ කවි පොත එළිදැක්වීමට අද ගියෙමි. කිසිදාක හැබැහින් නොදුටු මචංකාරයා දැකගත්තෙමි. කලක සිටම ෆේස්බුකෙන් පමණක් දැක සිටිවුන් බොහොමයක්ම හැබැහින් දැක්කෙමි. ඉතින් එය මට මහත් වූ සතුටු ගෙන දෙන්නකි.

මෙතෙක් බොහෝ උන්ගෙන් මට පෙනුනේ ෆේස්බුක් කවිකමින් ඉපිද පොත් ගසා මිය යන සෙයකි. පොත ගැසූ පසු කලින් මෙන් කවි නොලියා සිටිති. සමහරුන් හිටියාට වඩා පට්ට ප්‍රබුද්ධ ‍වෙති. ඇතැමුන් හිටියාටත් වඩා ලෙංගතු වූ මුත් කවි අඩුවෙන් ලියති. ඉතිං, මේ පොතෙන් පස්සේ මචන්ගේ කවි උල්පත හිටින්නේ නැති වේ යැයි අපේක්ෂා කරමි. දැන් ඇහින් දැක්ක නිසා මචං දානා කවි තවත් හොඳින් ද කියවමි. තාම පොත නොකියවූ නිසා පොත ගැන කිසිවක්ම නොකියමි.

රියල් සම්පත් මචං, උඹට සිරාවටම හදවතින් සුබ පැතුම්!

සහන් පද්මසංඛ පීරිස්​
THЕ SAHAN​
2015.06.20

2015/06/16

යෙහෙළියක නම් සිටිය යුතුම ය


යෙහෙළියක නම් සිටිය යුතුම ය
හැමදාම හැමවිටම හැමතැනම

යන්තමට පිපාසය එනකොටම
දැන් ඉතින් මට
උණු කරපු හාදුවක් පොවන්නැයි
තුනීයට කොඳුරන්න හැකිවෙන්න
තෝඩු ලූ කනක් උර මත තිබ්බ
යෙහෙළියක නම් සිටිය යුතුම ය

තොරක් නැති හීනංශුකා වලට
මගෙ හිතේ ඉඩ
දරුණුවට මදි වෙද්දි ටිකෙන් ටික
හීන අහුරක් දෙකක් තබන්නට
හිසෙහි පෙදෙසක්ම අස් කර දෙන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය

දිගු ප්‍රේම ගිම්හානෙකට පසුව
විරහවක අග
නමක් නැති නැවුම් සුබ ඉර්තුවක
හදින් අල්ලා තදින් මිරිකන්න
ප්‍රේමවන්තියගෙ තැන අරගන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය

ඔව්!
ලෝකයේ සැබෑ සිරි පෙන්නන්න
සොබා පැහැයන් ඇසේ තවරන්න
තවම ජීවත් වෙතැයි දැනගන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය
හැමදාම හැමවිටම හැමතැනම


සහන් පද්මසංඛ පීරිස්​
THЕ SAHAN​
2015.04.16

2015/05/27

අසැබි නම් පුරුෂ ලිඟුව


හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බන්දුල ගුණවර්ධන මහතාගේ “ඓතිහාසික” සිංහල ගැට පද විවරණ පංතියෙන් පසු ශ්‍රී ලංකාව තුල භාෂාව වෙනස් වී ඇති අයුරු! 

පයිය = පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, එල්ලීම (අසැබි නම් පුරුෂ ලිඟුව)
පක = ගෙඩිය, ඵලය, පැසුණ ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්, සතුන්ගේ බෙට්ටිච්ච (අසැබි නම් පුරුෂ ලිඟුව)

-----------------------------

උදෑසන රූපවාහිනී ප්‍රවෘත්ති

සිරස්තල
“ඉන්දියානු මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිපක නිකුත් වේ.
ඊයේ රාත්‍රියේ පකස්තීනයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් 10 දෙනකු මරුට.
ප්‍රේම සම්බන්ධතාවයට දෙමාපිය ආශිර්වාදය නොලැබීම නිසා සිත් තැවුලට පත් තරුණිය කාමරය තුළ පයි වී මරුට.”

-----------------------------

බස් රථයක් තුල

කොන්දොස්තර මහතා පැමිණේ.
“ඔය නැග්ග අය සල්ලි ගන්න”
“බහිද්දි දෙන්නං අයියෙ, සල්ලි පයියෙ. දැන් එළියට ගන්න අමාරුයි”
“මල්ලි ඔය පයියවල් කරේ දාගෙන නගින්නෙපා. නංගි පයියවල් අතට අරං නගින්න. මහත්තයා ඔය පයිය උඩින් දාගන්න. ඔයාගෙ පයිය නිසා ඔතනින් අනික් අයට යන්න බෑනෙ. දොරේ පයි වෙලා ඉන්ටෙපා.. උඩට නගින්න.. පොලිසියෙන් ලියනවා..
හරි යං..!!”

කුඩා දරුවෙක් තාත්තාට යමක් පවසනු පෙනේ.
“තාත්ති මට වමනෙ යන්න වගේ..”
“ආ පුතා.. මේ සොපින් පයියට දාන්න..”
“ඔවෑක්....”

-----------------------------

වෙළඳ සැළක්

“මේ ඇපල් පකක් කීයද?”
“පකවල් 10ම 100යි නෝනා.”
“එහෙනං මට පකවල් 5ක් දෙන්න.”
“හොඳ පකවල් ටිකක් තෝරගන්න නෝනා.”
“ම්.. මේ පක නම් තැලිලා.. ආ! මේ පක හොඳයි.. මුදලාලි මට මේ පකවල් 5 දෙන්න.”
“අනේ මේක පොඩියිනේ! ලොකු පයියක දාලා දෙන්න මුදලාලි.”

-----------------------------

පාර අයිනේ පිහිටි නිවසක්

“ආන්ටි ආන්ටි.. වතුර ටිකක් දෙන්න පුලුවන්ද.. මගෙ ඔලුවට කුරුළු පකක් වැටුණා. :( 
මුං එක එක පකවල් කාලා කාලා අපේ ඔලුවටමනේ ආන්ටි පක දාන්නෙ! සික්! ”

-----------------------------

ෆේස්බුක් චැට් එකක ස්ක්‍රීන් ෂොටක්

“මචන් Chameera​! අරුංගේ පේජ් වලින් උඹට දිගට හරහට නෙළනවා නේද බං? :( ”
“ඕවා මොනවද මල්ලි! පක ඇති රුකටනේ ගල් ගහන්නේ! :3 ”

-----------------------------

පැරණි ගීතයක රීමික්ස් ගීතයක් ප්‍රචාරය වේ

“දෙඅදර විලිකුන් සුරත් පකේ
පෙම් මදිරා අයදිමින් සැළේ
සීත මීදුම් සිහින වැල් පැටලේ”

----------------------------

සති පොලක වට්ටක්කා විකුණනා ස්ථානයක්

“මේ කොල්ලො.. මේ පකවල් වලට බෙහෙත් ගහලද මේ හැටි ලොකු?”
“නෑ ආච්චි! කමතෙ හැදුණ පකවල්! පේන්නැද්ද පාට! :3 ”
“එහෙනං මට පක බෑයක් දීහං! ආ! ඉඳා මේ සිලිපයියට දාහං! ” 

-----------------------------

විකිපීඩියාවේ කොටසක්
“බැබි‍ලෝනියාවේ පයිවෙන උයන, සෙමිරමිස් හි පයිවෙන උයන යනුවෙන්ද හඳුන්වයි.”

-----------------------------

ප්‍රස්ථා පිරුළක්
“ගිලෙන්න යන මිනිහා තුත්තිරි ගහෙත් පයි වේ.”


සහන් පද්මසංඛ පීරිස්


2015/05/26

සිහි උනා ඒ දවස්


අහම්බෙන් දුටුව එක

පෙම්වතුන් යුගලයක්

"නූඩ්ලස් කමු ද මහේස්?"

අම්මෙක්ම වාගේම
ඇය එහෙම අහනකොට
කුඩා දරුවෙකු වගේ
හිනැහුණා ඔහුත්

එතකොටම

"ඔයා ආසා දෙයක්"
හුඟක් දේ සඟවාපු
හරි හීනි හඬක්

මට ඉතිං සිහි උනා

අරුම ඒ දවස්
ලොවේ නන් දනන්ගෙන්
වෙනස් වූ අපිත්..

මවක් වන් වූ නුඹත්..

හුඟක් දේ මට දුන්න
නුඹත්..
ඒ වගෙම මමත්..
හුඟක් දේ නුඹෙන් නොඅරගත්තු
මමත්..

සහන් පද්මසංඛ පීරිස්
2015 මැයි 16


2015/05/19

රැවටුම


මිතුරු වෙසැති හතුරන් ද හතුරු වෙසැති මිතුරන් ද මොක්කුදැයි ඔබට තේරුම් ගත හැකි වන්නේ බොහෝ කලකට පසුව ය. ඔව් ඔබ රැවටේවි! අවුරුද්දක්.. දෙකක්.. 5ක්.. 10ක්.. ඔබ රැවටේවි!

ඔබ රැවටී ඇති බව වැටහෙන මොහොතේ දී ඔබ ඔබට කතා කරගත නොහැකි තරම් කම්පන අවස්ථාවකට ලක් වනු ඇත. නමුත් කම්පනය අවසන් වන ඊළඟ මො‍හොතේ ඔබ විඳින ශාන්තිය තේරුම් ගැනීමට නම් ඔබ එවන් අවස්ථාවක් අත්දැක තිබිය යුතුම ය! රැවටී ඇති බව තේරුම් යාම මහත් වේදනාවක් ගෙන දෙන්නකි! රැවැට්ටූ අය පිළිබඳව මහත් වෛරයක් ගෙන දෙන්නකි! ඔබව රැවැට්ටූ පුද්ගලයාටත් වඩා ඔබ වෛර කල යුත්තේ, ඔබව රැවටෙන බව දැන දැනත්, එය ඔබෙන් සැඟවූ අයට ය! රැවැට්ටීමට උදව් කරමින්, ඔබට මිතුරු මුහුණ පෙන්වූ අයට ය!

ඇතැමුන්ට "ඔබ රැවටෙමින් සිටිනවා" යැයි ඔබ හට ඍජුව කීමට අපහසුකමින්, ව්‍යංගයෙන් එය කීමේදී, ඔබ එය තේරුම් ගන්නේ වැරදියට ය! එවෙලේ ඔබට ඔහු හතුරෙකි! නමුත්, ඔබ රැවටී ඇති බව දැනගත් වහාම, චිත්‍රපටයක් මෙන් සියළු දේ හි ගැට ලිහෙමින් ඔබ ඉදිරියේ දර්ශනය වනු ඇත. ඔබ නොදුටු දේ ඔබට පෙනෙනු ඇත! ඔබ දුටු දේ, දුටු දේම නොවන බව වැටහෙනු ඇත.

අවසන, මා පෙර කී ශාන්තිය අත්විඳින අවස්ථාවේ දී, ඔබව රැවැට්ටූ අය, රැවටෙන බව දැන දැන වසන් කල අය, රැවැට්ටීමට උදව් කළ අය පිළිබඳව හිතෙහි ඇති වී නැති වී යන නොතිර කෝපය හැරුණු කොට, ඔබවත් ඔබ වටා ඇති ලෝකයත් දවන ස්ථිර වූ වෛරය ශූන්‍ය කර දැමීමට ඔබට හැකි නම්, ඔබේ ශාන්තිය අසීමිත එකක් වනු ඇත. මා පවසන්නේ ආගමික හෑල්ලක් නොව මගේම අත්දැකීමක සංශිප්ත සාරාංශයක් පමණි.

ඉතින්, වෛරය ශූන්‍ය කිරීමට උදව් වන අය ද ඔබට හමුවනු ඇත. ඔවුන්ව විශ්වාස කරන්න! ලොව සියලු මිනිසුන් ගැන අවිශ්වාසයෙන් බැලීමට තරම් ඔබව පරාජය කිරීමට, ඔබව රැවැට්ටූ  පිරිසට ඉඩ නොතැබීම ඔබේ ජයග්‍රහණයෙන් කොටසකි.

අන්තිමටම, ඔවුන් ගැන වෛරයක් නැති ඔබ, සිනහවෙන්, සංයමයෙන්, ඔවුන්ව අමතද්දී, වරදකාරී මානසිකත්වයෙන් යුතු ඔවුන් එක් වී ඔබ හට තව තවත් අණිනා ඇණුම් සිනහ වී ඉවසද්දී, ඔබේ ශාන්තිය සහ ජයග්‍රාහී හැඟුම් තව තවත් ඉහල යනු ඇති අතර, කවුරුන් කෙසේ පුරසාරම් දෙඩූවත්, ඔබ රැවැට්ටූ උන්ගේ හිත් මහත් වූ පීඩාවක සදා කල් රැඳෙනු ඇත

සහන් පද්මසංඛ පීරිස්
2015 මැයි 19

2015/04/14

නාවනම් අවුරුදු කුමාරිය - දුක් කවක් ලියැවෙන්න තිබුණා



ගෑණු හිත් වාගේම එක එක
රාශි පැන පැන මාරු කර කර
අලුත් අහසක පහස පතනා
හිරුත් වදයක් වෙන්න තිබුණා

හුඟක් රා බිව් කුරුල්ලෙකු මෙන්
ගහක් උඩ නැග කොහෝ හොටගින්
කරන මහ කං කරච්චලයත්
දෙසවනට නෑහෙන්න තිබුණා

සැවොම රහ කර කාපු කිරිබත්
දෙවඟනක පලපුරුදු දෑතින්
අලුත් කිරි දා හැදූ මුත් මට
ගොඩක් ලුණු වැඩි වෙන්න තිබුණා

"කොහොමදැ යි අවුරුද්ද" විමසන
මිතුරු පණිවිඩ වලට එක ලෙස
"මට කොහෙද අවුරුදු මචං" යයි
හිස වනා පවසන්න තිබුණා

සැබෑ අවුරුදු කුමාරිය ලෙස
වසත් සුවඳැති දුඹුරැසිය නුඹ
නාවනම් බක් මහට පෙර - අද
දුක් කවිත් ලියැවෙන්න තිබුණා
_____________________________
සහන් පද්මසංඛ පීරිස් | THE SAHAN
2015 අප්‍රේල් 14