2016/05/08

අතින් ඇණයකුත් අරගෙන එන්ට


ප්‍රේමයක් හැදෙන්නෙම
හදක් මත කෙනෙක් හද තබනකොට
විරහවක් මැවෙන්නෙම
හදක් තැබු තැනෙන් බිම වැටෙනකොට

හදක් නොම වැටෙන්නට
පෙමත් වැඩි කරන්නට
හදක් මත හදක් තැබු තැනක් වෙත
සිහින් ඇණයකුත් ගෙන ගැසූ විට
ටිකක් රිදුනමුත් එය දරා හිත
පෙමින් බැඳලමින් හුන් අයත් ඇත

නමුත් හද උයන් මැද
ඇණත් ගලවන් වැටෙන
ගිලන් හදවතුත් ඇති අයත් ඇත

එහෙව් තැන්වල පෙමක පරවෙච්ච
පෙතිත් තියෙනව විටෙක නොදිරච්ච
නැවුම් විරහවක රොඩු තැවරිච්ච
ඇණත් ගැසු හද තනිව තනිවෙච්ච

කලක් ගත වී ගිය ද
තවත් බැහැ කියා රිදවා ගන්ට
කලින් ගැසු ඇණත් අමුණා ගත්ත
බියෙන් ගල් ගැසී ගුල් තුළ නින්ද
මැදත් රිදවගත් නෙක අයත් ඇත

එහෙත් ඔය නොයෙක් දෙස බලං හිඳ
සරත් කල අහස් තලය මෙන් සිත
කලල් නැති දෙයින් පුරවමින් සොඳ
ඇණත් ගලවගත් හදවතුත් ඇත

ඉතින් මගෙ පෙමින් නැහැවී ඉන්ට
රිසින් සිටින බැව් පෙන්වා දෙන්ට
වෙතින් මගෙ හදින් නොවැටී ඉන්ට
අතින් ඇණයකුත් අරගෙන එන්ට


සහන් පද්මසංඛ පීරිස්
2015 සැප්තැම්බර් 01

2015/11/08

ඔබ වහන්සේට සුබ ගමන්!!

ශ්‍රී ලාංකීය සිවුරුකාරයින් පිළිබඳව මා තුළ ඇති ආකල්පය ඉතාමත් අයහපත් එකකි. ඇතැමුන් එළිපිට කුණුහරප කියා දඟලති. අන්‍යාගමිකයික් කපා කොටා දමන්නට අනුබල දෙති. ඇතැමුන් බඩුකාරයින් ය. තවත් අය කොලුකාරයන් ය. තවත් සමහර අය බේබද්දන් ය. කට පිහගන්නේ ද සිවුරෙනි. තව බොහෝ දෙනාගේ කොණ්ඩා රැවුළු, චර්යා, හැසිරීම් සියල්ල දැක අවසානයේ ලාංකීය සිවුරුකාරයින් පිළිබඳ මා තුළ ඇත්තේ අසූචි අප්‍රසන්න බවකි.

එහෙත් මාදුළුවාවේ සෝභිත නම කියද්දී මට හැමවිටම දැණුනේ සිවුරුකාරයෙක් ගැන නොව භික්ෂුවක් ගැන යි. මම උන්වහන්සේව නොහඳුනමි. මා උන්වහන්සේ ගැන දන්නේ ද ඔබ මෙන්ම ජනමාධ්‍ය ඔස්සේම පමණි.

සෝභිත හිමි පිළිබඳ මාගේ ප්‍රථම මතකය ඇත්තේ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ධර්ම සාකච්ඡාවක් පිළිබඳවයි. වර්තමාන සිවුරුකාරයින් බණ කියනා අයුරුද මහත් සේ අප්‍රසන්න වූ යුගයක යි සෝභිත හිමි සහභාගී වූ ඉහත කී දහම් දෙසුම මා දුටුවේ. එය මීට අවුරුදු කිහිපයකට පෙර එළැඹි වෙසක් පොහෝ දිනෙක ස්වර්ණවාහිනී නාළිකාව සංවිධානය කළ විශේෂ වැඩසටහනක් වූ අතර එය විකාශය වූයේ කුසිනාරාවේ සිට යි.

බුදුන්වහන්සේගේ පරිනිර්වාණය එම ධර්ම සාකච්ඡාවේ මාතෘකාව විය. සෝභිත හිමි උන්වහන්සේටම ආවේනික වූ ශෛලියෙන් බුද්ධ පරිනිර්වාණය පිළිබඳ කතාව කියන්නට විය. නිර්ආගමික අදහස් ඇති මාගේ දෙනෙත් ද එය අසා සිටියදී තෙත් වන්නට වූයේ උන්වහන්සේ එය කොයි තරම් සංවේදී ලෙස පැවසුවේද යන්න ඔප්පු කරමිනි.

බොහෝ සිවුරුකාරයින් ධර්ම දේශණා අතරතුර ගොන් ජෝක්ස් දමයි. ද්වීඅර්ථ ඇති කුණුහරප කියයි. ධර්ම ශ්‍රාවකයින්ට කුණු ආතල් දෙයි. නමුත් සෝභිත හිමිගේ දහම් දෙසුම් තුළ මා එවැන්නක් කිසි දිනෙක දැක නැත.

ජාතික ප්‍රශ්ණවල දී සිවුරුකාරයින්ගේ මැදිහත් වීම ද නොගැලපෙන සුළුය. අප රටේ ජාතික ප්‍රශ්ණවල දී මැදිහත්වන බොහෝ දෙනා ආවේගයෙන් කතාකරන, ආවේගයෙන් හැසිරෙන, නිළ නොවන හමුදාවක් ලෙස හඳුන්වාගන්නා සිවුරු පැළඳගත් මී හරකුන් ය. ඇතැමුන් හරකුන් වෙනුවෙන් ගිණිතබාගෙන සියදිවි නසාගන්නා හරකුන් ය.

නමුත් මෙරට තීරණාත්මක ජාතික වෙනසක් සඳහා මූලිකත්වය ගත් සෝභිත හිමියන්ගේ හැසිරීම, කතා විලාශය හෝ මැදිහත් වීම කිසි දිනෙක චීවරයට නොගැලපෙන්නක් වූයේ නැත. අද දින යහපාලකයින් පිළිබඳ කුමන විවේචන ඇතත් පසුගිය ජනපතිවරණ ප්‍රතිඵලයෙන් රටට ලැබුණේ අනාගත විනාශයක වැලකීමකි.

මෙන්න මේ කාරණා නිසා මගේ හිත තුළ සෝභිත හිමිට ඉතා ඇල්මක් පැවතිණි. මෙලොව බොහෝ කල් වෙසෙන්නේ යහපත් මිනිසුන් නොව අයහපත් මිනිසුන් ය. ඇතැම් විට එයට හේතුව එකම දුක් ගෝලයක් වූ ලෝකයෙහි වැඩිපුර කාලයක් වාසය කිරීම යනු වැඩි කාලයක් දුක් විඳීමට සිදුවීම විය හැක. 

ආගමික නායකයෙකු මියගිය විට මා කිසි දිනෙක ඒ වෙනුවෙන් පෝස්ට් දමා කහ කොඩි ෂෙයා කොට නැත. එහෙත් මම අද එය කරමි.

මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබ වහන්සේට සුබ ගමන්!!
_________________________
සහන් පද්මසංඛ පීරිස් 
THE SAHAN​ © 2015 නොවැම්බර් 08

2015/07/03

දේදුනු පෙරහන්



හමුව ඇගෙ සිත පෙමක රැඳි වග සිහිනයෙක රූසිරි මවා
අදහගන්නට සැබෑවක් වග නොහැකි තුටු සිත පිරවුවා
බිය ඇතත් හිත තුල මහත් එය වසා පෙම් බස් මිමිණුවා
වෙනස් බැඳුමන් බැඳෙනු නොහැකි ද දෙදෙනගෙම හද විමසුවා

ඉවසගන්නට පෙමක වෙනසක් නොහැකි වුණු ගල් කැට පවා
ඇගේ සියුමැළි සුමුදු නළලත රුධිර තිලකය තැවරුවා
හදිසියෙම දුර ඇමෙරිකාවෙන් දේදුන්න මෙහෙ පෑයුවා
පළමු ගල ගැසු සරණපාලත් මුහුණුපොත උගෙ සැරසුවා

දුටුවමුදු ඒ සොඳුරු දේදුනු පෑයු මහ මුහුදින් එහා
තවම ඉක්මන් නොවී හිටපන් සඟවගෙන ඔය පෙම මහා
නොම බලන් දේදුනු පෙරන් සවිකරන් ඉන්නා උන් දිහා
මුහුණුපොත බිතු යටින් හමනා දුගඳ පැතිරෙන වහ වහා

සහන් පද්මසංඛ පීරිස්​
THЕ SAHAN​
2015.06.30

2015/06/21

සුබ වේවා මචං!


2009 සිට මම ෆේස්බුකේ කවි ලියමි. ඒ දිනවල ලියූ කවි දෙස බලන්නටත් මට දැන් ලැජ්ජා ය. 2010 සහ 2011 ආසන්න කාලය ෆේස්බුකේ ගත කළ සොඳුරුම වකවානුව යි. අද මා කුමන හෝ ජාතියක කවියෙකු ලෙසින් කවුරුන් හෝ අයෙකු හඳුණාගනී නම්, මා පෙර කී සොඳුරු වකවානුව තුළ මා ෆේස්බුක් ඇසුරෙහි කියැවූ කවි, ඉගෙන ගත් දෑ ආදිය ඊ්ට බොහෝ උපකාරී වන්නට ඇත.

ෆේස්බුක් කවියෙකු ලෙස, ෆේස්බුක් කවිකමම මා හට බොහෝ දේ අහිමි කෙරුවේ ය. ඒවායින් සමහරකට කිසි දා මිලක් නියම කළ නොහැක. නමුදු ඒ අහිමිවීම් සමූහයම මට තවත් මිල කළ නොහැකි දෑ ගෙනැවිත් දෙන්නට සමත් විය. ඉතින් ඒ අතින් බැලූ විට, ෆේස්බුක් කවිකම මා හට බොහෝ විපර්යාස සිදු කර ඇත. අද සිට අතීතය ගැන කල්පනා කරද්දී ඒ විපර්යාස පිළිබඳ හිතට දැනෙන්නේ යම් ආකාරයක සතුටකි.

පෙර කී සොඳුරු යුගයෙහි ෆේස්බුක් කවීන් සිටියේ මතක තබාගත හැකි  ගණනකි. දැන් නම් මෙහි සිටින හැමෙකාම කවියන් ය. එදිනෙදා කතා කරන දෙබසක් ගෙන, එහි වචන කැඩීම පමණක් සිදු කර ලියන රචනාකරුවන් ද කවියන් ය. බස්සීගේ නිර්වචනයෙන් කිවහොත් ඒවා "පහළට කවි" ය. එක් අතකින් එය හොඳ ය. හැමෝම කවියන් යයි කියාගන්නා තැනෙක, හොඳ කවියෙකු ලෙස අයෙකු බිහි වේ නම්, ඌ පට්ට පොරක් ලෙස මම දකිමි. එමෙන්ම එවන් පට්ට පොරවල් අල්ප වීම නිසා බොරළු ගොඩක මැණික් මෙන් දිස්නේ දෙනවා ද ඇත.

ෆේස්බුක් කවිකමෙන් බිහි වූ පළමු පොත ලෙස මා දුටුවේ ටැටූ කොටනා හොර ගුණේ මාමාගේ "හිතේ කෙටූ ටැටූ" ය. එකල ගුණේ මාමා මා හඳුණන්නේ නැත. ඒ ටැටූවලට වඩා ගුණේ මාමාගේ දැන් කවි පට්ටෙත් පට්ට ය. 

ඊට පසු මගේ මතකයට එන්නේ මිහිරි අක්කාගේ පෑළවිය පොත ය. මට එම පොත එළිදැක්වීමට සහභාගීවීමටම උවමණා වූයේ මිහිරි අක්කා යනු මා ෆේස්බුකෙන් හඳුණාගත් ආදරණීයම චරිතයන්ගෙන් එකක් වන නිසා ය. එයට සහභාගී වීමට නොහැකි වූ නමුත් උත්සවයට අදාළ ඩිසයිනයක් කර දී හිතේ දුක අඩු කර ගත හැකි විය.

පසුව ෆේස්බුක් කවියන් කිවිඳියන් කිහිප දෙනෙකුම පොත් ගැසුවෝ ය. ඒ එකකට හෝ එන්නට නොහැකි වූයේ මා සිටියේ අගනුවරින් බොහෝ දුර වීම නිසා ය. ආසන්නතම පොත වුණු සඳුන් අයියාගේ පොතේ එළිදැක්වීමටත් එන්නට බැරි වූ හේතුව එය යි.

රියල් මචං ප්‍රොෆයිලය ෆ්‍රෙන්ඩ් ලිස්ටෙකේ ඇත්තේ බොහෝ කලක පටන් ය. නමුත් මා ඔහුගේ කවක් කියෙව්වේ ඉතා මෑතක දී ය. කවිය මතක නැතත්, මා මුලින් කීවා සේ පට්ට පොරක් ය යන හැඟීම ඒ මොහොතේ මට ඇති විය.

මචං පිටුපස සැඟවී සිටි සම්පත් කුරුප්පු ආරච්චිගේ කවි පොත එළිදැක්වීමට අද ගියෙමි. කිසිදාක හැබැහින් නොදුටු මචංකාරයා දැකගත්තෙමි. කලක සිටම ෆේස්බුකෙන් පමණක් දැක සිටිවුන් බොහොමයක්ම හැබැහින් දැක්කෙමි. ඉතින් එය මට මහත් වූ සතුටු ගෙන දෙන්නකි.

මෙතෙක් බොහෝ උන්ගෙන් මට පෙනුනේ ෆේස්බුක් කවිකමින් ඉපිද පොත් ගසා මිය යන සෙයකි. පොත ගැසූ පසු කලින් මෙන් කවි නොලියා සිටිති. සමහරුන් හිටියාට වඩා පට්ට ප්‍රබුද්ධ ‍වෙති. ඇතැමුන් හිටියාටත් වඩා ලෙංගතු වූ මුත් කවි අඩුවෙන් ලියති. ඉතිං, මේ පොතෙන් පස්සේ මචන්ගේ කවි උල්පත හිටින්නේ නැති වේ යැයි අපේක්ෂා කරමි. දැන් ඇහින් දැක්ක නිසා මචං දානා කවි තවත් හොඳින් ද කියවමි. තාම පොත නොකියවූ නිසා පොත ගැන කිසිවක්ම නොකියමි.

රියල් සම්පත් මචං, උඹට සිරාවටම හදවතින් සුබ පැතුම්!

සහන් පද්මසංඛ පීරිස්​
THЕ SAHAN​
2015.06.20

2015/06/16

යෙහෙළියක නම් සිටිය යුතුම ය


යෙහෙළියක නම් සිටිය යුතුම ය
හැමදාම හැමවිටම හැමතැනම

යන්තමට පිපාසය එනකොටම
දැන් ඉතින් මට
උණු කරපු හාදුවක් පොවන්නැයි
තුනීයට කොඳුරන්න හැකිවෙන්න
තෝඩු ලූ කනක් උර මත තිබ්බ
යෙහෙළියක නම් සිටිය යුතුම ය

තොරක් නැති හීනංශුකා වලට
මගෙ හිතේ ඉඩ
දරුණුවට මදි වෙද්දි ටිකෙන් ටික
හීන අහුරක් දෙකක් තබන්නට
හිසෙහි පෙදෙසක්ම අස් කර දෙන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය

දිගු ප්‍රේම ගිම්හානෙකට පසුව
විරහවක අග
නමක් නැති නැවුම් සුබ ඉර්තුවක
හදින් අල්ලා තදින් මිරිකන්න
ප්‍රේමවන්තියගෙ තැන අරගන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය

ඔව්!
ලෝකයේ සැබෑ සිරි පෙන්නන්න
සොබා පැහැයන් ඇසේ තවරන්න
තවම ජීවත් වෙතැයි දැනගන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය
හැමදාම හැමවිටම හැමතැනම


සහන් පද්මසංඛ පීරිස්​
THЕ SAHAN​
2015.04.16

2015/05/27

අසැබි නම් පුරුෂ ලිඟුව


හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු බන්දුල ගුණවර්ධන මහතාගේ “ඓතිහාසික” සිංහල ගැට පද විවරණ පංතියෙන් පසු ශ්‍රී ලංකාව තුල භාෂාව වෙනස් වී ඇති අයුරු! 

පයිය = පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, එල්ලීම (අසැබි නම් පුරුෂ ලිඟුව)
පක = ගෙඩිය, ඵලය, පැසුණ ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්, සතුන්ගේ බෙට්ටිච්ච (අසැබි නම් පුරුෂ ලිඟුව)

-----------------------------

උදෑසන රූපවාහිනී ප්‍රවෘත්ති

සිරස්තල
“ඉන්දියානු මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිපක නිකුත් වේ.
ඊයේ රාත්‍රියේ පකස්තීනයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් 10 දෙනකු මරුට.
ප්‍රේම සම්බන්ධතාවයට දෙමාපිය ආශිර්වාදය නොලැබීම නිසා සිත් තැවුලට පත් තරුණිය කාමරය තුළ පයි වී මරුට.”

-----------------------------

බස් රථයක් තුල

කොන්දොස්තර මහතා පැමිණේ.
“ඔය නැග්ග අය සල්ලි ගන්න”
“බහිද්දි දෙන්නං අයියෙ, සල්ලි පයියෙ. දැන් එළියට ගන්න අමාරුයි”
“මල්ලි ඔය පයියවල් කරේ දාගෙන නගින්නෙපා. නංගි පයියවල් අතට අරං නගින්න. මහත්තයා ඔය පයිය උඩින් දාගන්න. ඔයාගෙ පයිය නිසා ඔතනින් අනික් අයට යන්න බෑනෙ. දොරේ පයි වෙලා ඉන්ටෙපා.. උඩට නගින්න.. පොලිසියෙන් ලියනවා..
හරි යං..!!”

කුඩා දරුවෙක් තාත්තාට යමක් පවසනු පෙනේ.
“තාත්ති මට වමනෙ යන්න වගේ..”
“ආ පුතා.. මේ සොපින් පයියට දාන්න..”
“ඔවෑක්....”

-----------------------------

වෙළඳ සැළක්

“මේ ඇපල් පකක් කීයද?”
“පකවල් 10ම 100යි නෝනා.”
“එහෙනං මට පකවල් 5ක් දෙන්න.”
“හොඳ පකවල් ටිකක් තෝරගන්න නෝනා.”
“ම්.. මේ පක නම් තැලිලා.. ආ! මේ පක හොඳයි.. මුදලාලි මට මේ පකවල් 5 දෙන්න.”
“අනේ මේක පොඩියිනේ! ලොකු පයියක දාලා දෙන්න මුදලාලි.”

-----------------------------

පාර අයිනේ පිහිටි නිවසක්

“ආන්ටි ආන්ටි.. වතුර ටිකක් දෙන්න පුලුවන්ද.. මගෙ ඔලුවට කුරුළු පකක් වැටුණා. :( 
මුං එක එක පකවල් කාලා කාලා අපේ ඔලුවටමනේ ආන්ටි පක දාන්නෙ! සික්! ”

-----------------------------

ෆේස්බුක් චැට් එකක ස්ක්‍රීන් ෂොටක්

“මචන් Chameera​! අරුංගේ පේජ් වලින් උඹට දිගට හරහට නෙළනවා නේද බං? :( ”
“ඕවා මොනවද මල්ලි! පක ඇති රුකටනේ ගල් ගහන්නේ! :3 ”

-----------------------------

පැරණි ගීතයක රීමික්ස් ගීතයක් ප්‍රචාරය වේ

“දෙඅදර විලිකුන් සුරත් පකේ
පෙම් මදිරා අයදිමින් සැළේ
සීත මීදුම් සිහින වැල් පැටලේ”

----------------------------

සති පොලක වට්ටක්කා විකුණනා ස්ථානයක්

“මේ කොල්ලො.. මේ පකවල් වලට බෙහෙත් ගහලද මේ හැටි ලොකු?”
“නෑ ආච්චි! කමතෙ හැදුණ පකවල්! පේන්නැද්ද පාට! :3 ”
“එහෙනං මට පක බෑයක් දීහං! ආ! ඉඳා මේ සිලිපයියට දාහං! ” 

-----------------------------

විකිපීඩියාවේ කොටසක්
“බැබි‍ලෝනියාවේ පයිවෙන උයන, සෙමිරමිස් හි පයිවෙන උයන යනුවෙන්ද හඳුන්වයි.”

-----------------------------

ප්‍රස්ථා පිරුළක්
“ගිලෙන්න යන මිනිහා තුත්තිරි ගහෙත් පයි වේ.”


සහන් පද්මසංඛ පීරිස්