අම්මෙකුගේ ආදරය හරියට ඔප දමාපු වීදුරුවක් වගේ පැහැදිලිව පෙනෙද්දි, තාත්තෙකුගේ ආදරය විටෙක හරිම අපැහැදිලි විදිහට දුවෙකුට දැනෙන්නට ඉඩ තියෙනවා! නිමක් නැති සීමා, නීති රීති, සැරවැරකම්, තරවටු කිරීම් සමඟ පීඩාවට පත් වෙන දුවෙකුට, තාත්තා මට ආදරේ නෑ කියලා හිතෙන්නටත් පුළුවන්!
අම්මා හඳ වගේ නම්, තාත්තා හරියට ඉර වගෙයි! ඉර හැමදාම පායනවා! කිසි කෙනෙකුට ඒකේ ගාණක් නෑ! අව්ව හරි සැරයි, රස්නෙයි කියලා ඉරට හැමෝම බණිනවා! ඉර, සැරම සැර අව්ව පතිත කරන්නේ, ලෝකය සීතලෙන් මුදවගන්නයි කියලා කවුරුවත් දන්නේ නෑ! ඒ වගේම, ඉර කවදාවත් නෑවිදින් ඉන්නේ නෑ! එහෙමත් දවසක රාහු ඇල්ලුවාට, ඉරට අමාවක දවසක් නෑ! ඒත්, හැමෝම මොන රහස් වැඩේ කරන්නෙත්, ඉර බැහැලා ගියාම! ඉරට හොරන්!
ඒත් හඳට හැමෝම ආදරෙයි! හඳ ලස්සනයි, සෞම්‍යයි කියලා හැමෝම හඳේ හොඳ කියනවා! හැබැයි, හැමෝටම අමතකයි, හඳට එලිය ලැබෙන්නේත් ඉරෙන් කියලා! කෙනෙක් ඉරහි අගය හරියට තේරුම් ගන්නේ, කරුවලේ අසරණ උනාම! සීතලේ අතරමං උනාම! නපුරු හීන පිරුණු රාත්‍රියක් නිමා වෙලා එලි වෙන්නේ කොයි වෙලාවේද කියලා නොඉවසිල්ලෙන් ඉන්න සිද්ධවුණාම!
දුවෙකුට තාත්තාව සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට හැකි වන්නේ, ඇය මවක් වූ දාටම පමණයි කියලයි මට හිතෙන්නේ! තාත්තා තමන් කෙරෙහි එදා ඒ විදිහට හිටියේ ඇයිදැයි කියා ඇයට එදාට වැටහේවි! එදා තමන් හිරවුණු නීති රීති, තමන්ගේ ජීවිතයට කොයිතරම් බලපෑවාද කියන දේ, ඈ තේරුම් ගනීවි! එදාට ඇය කම්පා වේවි, ළමා කාලයේදි, තරුණ කාලයේ දී තාත්තා ඇයට නීති රීති දාද්දි, තරවටු කරද්දී ඇය තාත්තාත් සමඟ තරහා ගත් අයුරු මතක් කරමින්! තාත්තා තමන්ට කොපමණක් නම් ආදරේ කරන්න ඇත්දැයි සිහි කරමින්!
ඔබ ඔබේ තාත්තාව විශ්වාස කරන්න! තාත්තාගේ නීති රීති විශ්වාස කරන්න! මම ආයෙමත් කියන්නේ, තාත්තා හරියට ඉර වගෙයි! කොයිතරම් අව්ව සැර උනත්, ඉර ඔබට ආදරෙයි!
සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2013 අගෝස්තු 30
No comments:
Post a Comment
කල් ඇත්නම් අදහසක් ලියා යන්න!