අන්න බලපන්
මධුමතී !
තරුවක් වැටුණා
හරිම හිමිහිට
හරියටම
අන්න අර ටැලිපොන් කණුවෙ
මුදුනටම
පතපන් පතපන්
අවුරුදු පන්සීයක් ගියත්
අපෙ එකතු වීමම පතපන්!
උඹට මතකද
මධුමතී ?
මේ වගේම හවසක
මේ වගේම අහම්බෙක
මේ වගේම හදිස්සියක
අන්තිමට අපි හමු උනා
ආන්න අර
ඔප නැති කොන්ක්‍රීට් පිල උඩ
මට දුකයි
මධුමතී !
එදා ඒ හැන්දෑව
කොයි තරම් නම්
කෙට්ටුද ?
මගෙ හිතටත් වඩා කෙට්ටුයි
ඒත්
මම මේ තරම්ම
දුක් වෙන්නේ ඇයි නේද
මධුමතී ?
උඹෙ අතේ ඔරලෝසුවෙ තප්පරේ
මගේ හිතේ පැයක් නම්
පැය හතරක්ම
මං උඹෙ අත
අල්ලන් හිටිය එකම
ඇති නේද
මධුමතී ?





