2015/05/19

රැවටුම


මිතුරු වෙසැති හතුරන් ද හතුරු වෙසැති මිතුරන් ද මොක්කුදැයි ඔබට තේරුම් ගත හැකි වන්නේ බොහෝ කලකට පසුව ය. ඔව් ඔබ රැවටේවි! අවුරුද්දක්.. දෙකක්.. 5ක්.. 10ක්.. ඔබ රැවටේවි!

ඔබ රැවටී ඇති බව වැටහෙන මොහොතේ දී ඔබ ඔබට කතා කරගත නොහැකි තරම් කම්පන අවස්ථාවකට ලක් වනු ඇත. නමුත් කම්පනය අවසන් වන ඊළඟ මො‍හොතේ ඔබ විඳින ශාන්තිය තේරුම් ගැනීමට නම් ඔබ එවන් අවස්ථාවක් අත්දැක තිබිය යුතුම ය! රැවටී ඇති බව තේරුම් යාම මහත් වේදනාවක් ගෙන දෙන්නකි! රැවැට්ටූ අය පිළිබඳව මහත් වෛරයක් ගෙන දෙන්නකි! ඔබව රැවැට්ටූ පුද්ගලයාටත් වඩා ඔබ වෛර කල යුත්තේ, ඔබව රැවටෙන බව දැන දැනත්, එය ඔබෙන් සැඟවූ අයට ය! රැවැට්ටීමට උදව් කරමින්, ඔබට මිතුරු මුහුණ පෙන්වූ අයට ය!

ඇතැමුන්ට "ඔබ රැවටෙමින් සිටිනවා" යැයි ඔබ හට ඍජුව කීමට අපහසුකමින්, ව්‍යංගයෙන් එය කීමේදී, ඔබ එය තේරුම් ගන්නේ වැරදියට ය! එවෙලේ ඔබට ඔහු හතුරෙකි! නමුත්, ඔබ රැවටී ඇති බව දැනගත් වහාම, චිත්‍රපටයක් මෙන් සියළු දේ හි ගැට ලිහෙමින් ඔබ ඉදිරියේ දර්ශනය වනු ඇත. ඔබ නොදුටු දේ ඔබට පෙනෙනු ඇත! ඔබ දුටු දේ, දුටු දේම නොවන බව වැටහෙනු ඇත.

අවසන, මා පෙර කී ශාන්තිය අත්විඳින අවස්ථාවේ දී, ඔබව රැවැට්ටූ අය, රැවටෙන බව දැන දැන වසන් කල අය, රැවැට්ටීමට උදව් කළ අය පිළිබඳව හිතෙහි ඇති වී නැති වී යන නොතිර කෝපය හැරුණු කොට, ඔබවත් ඔබ වටා ඇති ලෝකයත් දවන ස්ථිර වූ වෛරය ශූන්‍ය කර දැමීමට ඔබට හැකි නම්, ඔබේ ශාන්තිය අසීමිත එකක් වනු ඇත. මා පවසන්නේ ආගමික හෑල්ලක් නොව මගේම අත්දැකීමක සංශිප්ත සාරාංශයක් පමණි.

ඉතින්, වෛරය ශූන්‍ය කිරීමට උදව් වන අය ද ඔබට හමුවනු ඇත. ඔවුන්ව විශ්වාස කරන්න! ලොව සියලු මිනිසුන් ගැන අවිශ්වාසයෙන් බැලීමට තරම් ඔබව පරාජය කිරීමට, ඔබව රැවැට්ටූ  පිරිසට ඉඩ නොතැබීම ඔබේ ජයග්‍රහණයෙන් කොටසකි.

අන්තිමටම, ඔවුන් ගැන වෛරයක් නැති ඔබ, සිනහවෙන්, සංයමයෙන්, ඔවුන්ව අමතද්දී, වරදකාරී මානසිකත්වයෙන් යුතු ඔවුන් එක් වී ඔබ හට තව තවත් අණිනා ඇණුම් සිනහ වී ඉවසද්දී, ඔබේ ශාන්තිය සහ ජයග්‍රාහී හැඟුම් තව තවත් ඉහල යනු ඇති අතර, කවුරුන් කෙසේ පුරසාරම් දෙඩූවත්, ඔබ රැවැට්ටූ උන්ගේ හිත් මහත් වූ පීඩාවක සදා කල් රැඳෙනු ඇත

සහන් පද්මසංඛ පීරිස්
2015 මැයි 19

3 comments:

  1. ඕල් ද බෙස්ට් !!! දිගටම ලියමු මලේ.... (අමක්කී..)

    ReplyDelete
    Replies
    1. තැන්කිව් මැණිකක්කි! <3

      Delete
  2. //ඔවුන් ගැන වෛරයක් නැති ඔබ, සිනහවෙන්, සංයමයෙන්, ඔවුන්ව අමතද්දී, වරදකාරී මානසිකත්වයෙන් යුතු ඔවුන් එක් වී ඔබ හට තව තවත් අණිනා ඇණුම් සිනහ වී ඉවසද්දී, ඔබේ ශාන්තිය සහ ජයග්‍රාහී හැඟුම් තව තවත් ඉහල යනු ඇති අතර, කවුරුන් කෙසේ පුරසාරම් දෙඩූවත්, ඔබ රැවැට්ටූ උන්ගේ හිත් මහත් වූ පීඩාවක සදා කල් රැඳෙනු ඇත//

    ඇත්තම ඇත්ත!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!