2014/08/23

කාලය


දැක ඇති ද සුමිතුර
කාලයේ පැහැය
කාලයේ හැඩය

අල්ලා ඇති ද සුමිතුර
කාලයේ දිග පළල
කාලයේ බර, ගැඹුර

නොවේ සැබෑ ලොව කිසිවිට
අතීතය වර්තමානය හෝ
අනාගතය

හඬන හිනැහෙන
සෙලවෙන මතක
විඳින විඳවන
හැඟුමන් සමඟ
රැයේ නොනිදන
පැතුමන් වලට
තනි නමක්
දී තිබේ කාලය

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 අගෝස්තු 23
Painting - Salvador Dali

2014/08/10

උඹේ හිතේ මගේ සුවඳ - වගා කෙරුව මං


අතීතයේ මතක රැගෙන
නොහුරු අතේ ගුලි කරගෙන
උඹේ දිහා බලං ඉන්න
උඹට වඩා උඹෙ හදවත
හඳුනා ඇති මං
උඹට වඩා උඹෙ කවි පද
කියවා ඇති මං

උඹේ අතින් කඩදහි මත
අතීතයේ ලියා තැබුණු
කවි පද ගෙන පරිස්සමට
අද දවසේ උඹ ලියනා
කවි පද හා ගලපාලා
වෙනස හොයන මං
මා දකිනා වෙනස දිහා
බලං ඉන්න මං

ලෝකය මැද හුදෙකලාව
සමඟ වෙසෙන මගේ හිතග
තියුණු බවින් උඹේ හිතේ
තිබුණ හැඩේ වෙනස් කෙරුව
හපන්කාර මං
උඹේ හිතේ මගේ සුවඳ
වගා කෙරුව මං

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 අගෝස්තු 10
Picture - Eli Craven

2014/08/06

ඛේදය මඟහැරි ප්‍රේමය








ඛේදයේ පෙරවදන අබියස
ප්‍රේමයේ දිය බඳුන ඉහිරුණි
අකුරු බොඳ වී මැකී ගොස් එහි
ස්නේහයේ නෙක රටා දිස් වුණි

කඳුළු වරුසා හලනු රිසියෙන්
සිටි වළාකුල් සැණින් සැඟවුණි
සොබා ලොව සිත උමතු ගන්වන
සුවඳ විහිදා මලින් හැඩ වුණි

තෙමුණු දෙනයන සුවෙන් තදකොට
දෙතොල් අග ලුණු කඳුළු රස බොමි
හසිත පෙති පිපෙනා තුරා නුඹෙ
මුලු ගතම හාදුවෙන් මණිනෙමි

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 අගෝස්තු 06