2011/08/29

ලද පෙමින් පොහොසත්ව

පෙමක අඩුව දැනෙනා සමයක ඉහත
දුප්පත්කමක රිදවුම් දැනුණා මහත
පිපිරූ බිමක කඳුලින් සිටියා බරිත
කටුමැටි පෙමක්වත් වූයේ නැහැ මහිත

රැයකදි සඳ රැසින් පිරවුණු වලා සැදී
පිපුණා මගේ හිත ඔබගේ සුවඳ වැදී
හිත රැඳි ප්‍රේමයේ දුප්පත් කමින් මිදී
සිටු කුමරෙකු වුණෙමි ඔය අත්තටුවෙ රැඳී

සුර පෙම් මැදුරු මාලිග සාදා දීලා
සෙවනක් නොදුටු මහදට සෙවනක් වීලා
ප්‍රේමය සමඟ මවකගෙ සෙනෙහස පාලා
මා රැකි සොඳුර සිපගමි දෑඟිලි අල්ලා
2011 අගෝස්තු 29

2011/08/19

අළු පරවියා සහ නුඹ

නුඹ ගියා
පිටස්තර කොදෙව්වක..
මගෙ අතට
අළු පරවියෙකු තෑගි කොට..

හිරු මතට
මුහුදු දිය වැටෙන සවසක..
ඇසිමි මම
"පරවි සඳ, ඈ නැවත එනු කෙදින?"

පිළිතුරක් වෙනුවට
ඉගිලුනා අළු පරවියා
පිටස්තර කොදෙව්වට
නුඹ එදා පිටව ගිය..

2011 අගෝස්තු 19

2011/08/16

සයුරෙන් එතෙර ගිය ප්‍රේමය



ඔය යස නෙතින් ගිලිහෙන රැස් විඳින්නට
ඔබෙ ඔය ලගන්නා සිනහව දකින්නට
ඔය දෙතොලින් කියනා කවි අසන්නට
එනවාමයි ළඟඳී නුඹ දකින්නට

ඔහු

සියුමැලි කුමරියේ නොගනින් මහන්සිය
දහඩිය කඳුළු නුඹ වෙත දෙයි රිදුම් සිය
සිනහව මුව ඇඳන් නුඹ ලඟ ගනන් පැය
ඉන්නට ලඟට එමි මම නොම ගනින් බිය

ඇය

වෙහෙසක් දැනේ එනමුත් එය කමක් නැතී
සිනහව දකින සඳ නුඹෙ මුව විඩා නැතී
කුමරුනි දකින තුරු නුඹ ඉවසුමක් නැතී
තුන් තිස් පැයේ මගෙ නෙතු දැන් නිදිත් නැතී

ඔහු

හිටියත් කුමරියේ මම කෙලවරක ලොවේ
තවමත් නුඹේ නම කියමින් මහද ගැහේ
දුරු රටකට ගියත් එදවස ගුවන් නැවේ
නුඹමයි මගේ තනි මල ප්‍රේමයේ ගහේ

ඇය

එන දවසකදි මගෙ කුමරුනි දැකගන්ට
ගෙන එනු මැනවි ඒ පෙම් මල සිපගන්ට
පෙම් මල තුරුළු කර ළමැදේ සතපන්ට
ඔබ එනවාද පෙර මගෙ නෙතු පියවෙන්ට

ඔහු

රන් මිණි මාලයක් නුඹගේ ගෙල රන්දා
කාසි සොයාගෙන කරකාරය බන්දා
ඒ සිහිනයේ හිඳිමින් මම දුක වින්දා
සයුරින් එතෙර නැව් නැග්ගේ නුඹ හින්දා

ඇය

රන් මිණි මාල නැතුවට මට කම් නැතුවා
රන් මසු පොදිවලට මම නම් සිත් නැතුවා
බැඳ කරකාරෙ නුඹ ළඟ ඉන්නට සිතුවා
යළි එනු මැනවි ඉන්නට බෑ නුඹ නැතුවා

ඔහු

නැතිබව ආලයක් රන් මිල මුදල කරා
හොඳ හැටි දනිමි පෙම් කල නුඹ මසිත අරා
එනමුදු ල‍ඳේ නුඹෙ නෑසිය පරම්පරා
සනසනු තකා රන් සොයනෙමි වෙහෙස මරා

ඇය

අප සිතු සිතුම් අප පමණයි හදුනන්නේ
ඇතුවට කම් නැතේ උදහස නෑසියනේ
උන් කියනා බසින් නැහැ අප වෙන් වන්නේ
විගසට පැමිණ තුරුලට මා අර ගන්නේ

ඔහු

එක වහලයක එක හෙවනක එක් වන්න
සුර සැප නැතත් යහතින් ජීවත් වන්න
අතමිට සරුව කරගෙන යලි මම එන්න
තව එක මාසයයි ඇත්තේ ඉවසන්න

ඇය

සුර සැප ඇතේ නුඹ සෙවණේ රැ‍‍දෙන කල
ළතැවුල් පලා යයි පෙම් සුව විඳින කල
සිහිනෙන් දුටිමි සිප ගනු නුඹෙ මුව කමල
සිහිනය සැබෑ වනු ඇත මස ගෙවුණු කල

ඔහු

තනි නෑ කෙදින ඒ සිහිනය නුඹ දකිනා
ඔය මුව සිපිමි හැම සිහිනෙම මට පෙනෙනා
දෙකොපුල රැඳි සුවඳ ලං ලං වී විඳිනා
දින එන තුරා මයෙ හිත ඉවසුම් සිඳෙනා

ඇය

කුමරුනි නුඹේ එවදන් ඇසෙනා විටදී
මගෙ සිත කිති කැවෙයි මඳහස මුව රැන්ඳී
උණුසුම් හාදුවක් මා නෙතු තවරා දී
ගිය හැටි සිහිවුණා දුරු රට නුඹ සමු දී

ඔහු

කරුණක් කොහි ද එහෙනම් හිත දුක් ගන්න
කඳුළක් නැඟුණි නම් දෑසේ පිසගන්න
අසුරක් ගසන සැණ එමි නුඹ සනසන්න
සිරුරින් දුර වුවත් මනැසින් විඳගන්න

ඇය

මෙතුවක් සිතේ රැඳි දුක දැන් දුරු වූවා
නුඹෙ කවි වලින් මා සිත මන්මත් වූවා
එන බව මා දකින්නට නුඹ පැවසූවා
යළි නුඹ දකිනු රිසියෙන් සිත ලොබ වූවා
.

(මුහුණුපොතෙහි, "කලු අහසේ නෑදෑයෝ" සමූහය තුල ලියැවුණු කවි පෙලකි)

2011/08/15

කණාමැදිරියෙකුගේ නිදොස් බව


කණාමැදිරියෙකුගේ නිදොස් බව
බැලීමට එක මඟක් ඇත...


ඇඟිලි තුඩින් ඌ අල්ලා
නියපිටින් තලා පොඩි කර
කැඩිය යුතුය ඌගේ හිස...


පිහාටු හා පාද උගේ
නොසෙල්වීම ඇරඹුණු පසු ද
දැල්වේ නම් ආලෝකය
හිතාගනින් උපරිම යයි
කණාමැදිරියාගේ නිදොස් බව...



නිපුනි සඳරු පූර්ණිමා නැගණියගේ නිපැයුමකට පිළිතුරක් සේ ලියැවුණි
2011 අගෝස්තු 15

2011/08/12

උපමා කොයි වෙද අපගේ ප්‍රේමෙට

උපමා කොයි වෙද අපගේ ප්‍රේමෙට
සොඳුරිය මට පවසන්
දැනෙනා පෙම් හැඟුමන් බර වැඩි දෝ
සිටිනා හිත ඉවසන්

අප දෙනුවර යා කල මං මාවත්
කඳු පවුරෙන් වෙන් වී
ඇතිමුත් සිතුවිලි රේඛා ගෙනවිත්
නුඹෙ මනසේ අඳිමී

කවි පොත් කුමට ද කවි සිත් ඇති විට
හද මතුපිට ඇතිරූ
සරු දෙහිතක් එක් කරගෙන ඉන්නට
සිතුම් පැතුම් සපිරූ



2011 අගෝස්තු 11

2011/08/10

නුඹට ලියූ කවි පොත

උණුසුම් රැයක දාහය සියොලඟ වෙළෙනා
මඳ සුළඟක් වැනිය නුඹ එකවර හමනා
සිත තනිකමේ සළුවෙන් තද කර වැසෙනා
මොහොතක නුඹ මලක සුවඳකි මට දැනෙනා

ප්‍රේමය පුරවාලු පන්හිඳ තුඩ අගට
ජීවය කැවූ ඔය සුර නෙතු පිය මතට
සිපගැනුමක් තබන්නෙමි නොරිදෙන ලෙසට
කවි පොත ගැන මගේ කියනෙමි නුඹෙ කනට

දුටුවෙමි මේ භවෙත් සසරෙහි හුරු මුහුණ
එදවස පටන් පන්හිඳ සුරතෙහි ඇලුන
දිනකට අසුරු වේගෙන් කවි පොත පිරුන
මේ හැටි මගේ හිත බැඳුමට කිම කරුන

නින්දක් නැතිව කවි පොත හිස් තැන් වසමි
කන්දක් දිගට පද මාලා ගොඩනඟමී
කෙන්දක් රනින් කර පොත වට හැඩ කරමී
සඳ ගත් සුබ රැයක නුඹ වෙත තිළිණ දෙමී

සඳ රුව සදිසි හද වෙත ඇතුළුව රහසේ
සවි දෙමි සොඳුර මල් ගවසා නුඹෙ සිරසේ
කිසිදා‍ නොම විඩා දෙමි ‍ජීවන පලසේ
නුඹ කීවොතින් ගෙන යමි වුව දුර අහසේ

2011 අගෝස්තූ 09

2011/08/08

ඇය යි ශූන්‍යත්වය

වලාකුල් රහිත නිල් අහස ය
අනන්තය තෙක් මහ පොළව ය
ඇවිද යමි මම
අරමුණක් කොයි ද මට

අතරමග හමු වූ
මධුමතිය තුල
දුටිමි පූර්ණත්වය

මා තුල වූ හිස් බව
පුරවන්නට මං සොයා
සැරුවෙමි
ඈ තුල

නමුදු දිගින් දිගට
හිස් බව ය මා තුල
පූර්ණත්වය
මධුමතිය තුල

හෘද චූෂකර
තබා මහිත මත
ප්‍රේමය අදින
මායාකාරිය යි ඇය

කාන්දමක වෙස් ගෙන
දිගින් දිගට
මා හිස් කරන
අරුමැසිය යි ඇය

නැහැ!

කිසිවක් නැති
කිසිම කිසිවක් නැති
ඇය යි ශූන්‍යත්වය

නොසිතන්න
මධූමතියට කල
අවමනක් යයි මෙය

පදාර්ථය
අවකාශය
සීමාන්තික මාන
සාපේක්ෂ නො‍වූ
පූර්ණ ශූන්‍යත්වය යි
මධුමතිය
2011 අගෝස්තු 08