2014/02/27

ෆේක් ෆ්ලොරෙන්තිනෝ


විද්වත්ය කියන, පරිණතය කියන සමහර මිනිස්සු, විශේෂයෙන් මේකේ ඉන්න ෆේස්බුක් කවි චරිත හිතන් ඉන්නේ උනුත් ෆ්ලොරෙන්තිනෝ අරීසාලා කියලා! හැබැයි උන්ට අමතකයි ෆ්ලොරෙන්තිනෝ කවදාවත් ෆර්මිනාගේ සහ උර්බිනෝගේ පවුල් ජීවිතය කැඩෙන ආකාරයේ ගොබ්බ වැඩක් කලේ නෑ කියලා! අන්න එතනයි ෆ්ලොරෙන්තිනෝගේ වටිනාකම තියෙන්නේ!

අහ් මට වැරදුනා! උර්බිනෝ මැරෙනකල් ෆ්ලොරෙන්තිනෝ ගෑණු හයසීයක් එක්ක අහවල් දේ කලා! ඔහු බුදියගත්තු ගෑණු 600 ඇතුලේ අනුන්ගේ ගෑණුත් හිටියා! සමහර උන්ගේ පවුලුත් කැඩුනා! සමහර ගෑණු, තමන්ගේ මිනිහා අතින් මැරුම් කෑවා! ෆ්ලොරෙන්තිනෝව ආරෝපණය කරගන්න උත්සහ කරන මේ හිස් පරිණත මිනිස්සු කරන්නෙත් ඒ පාර්ට් එක වෙන්න ඇති! තමන්ගේ අහිමි ප්‍රේමයේ වේදනාව, අනුන්ගේ ගෑණියෙකුගෙන් හරි වහගන්න උත්සහ කරන එක! හැබැයි, ෆ්ලොරෙන්තිනෝ වෙන කෙනෙක්ව කසාද බැන්දේ නෑ! ඔහුට දරුවෝ හිටියෙත් නෑ! හැබැයි මේ පරිණත ෆේස්බුක් කලාකාරයෝ බැඳලා දරුවොත් ඉන්න උන්!

ඔවුන්ගේ කවි වල තියෙන ගැඹුරු බව, පරිණත බව, ඇයි ඔවුන්ගේ ජීවිත වල නැත්තේ? එයින් පෙනෙන්නේ ඒක බලෙන් තවරාගත් පරිණත බවක් කියලා ද? ඕනෑම මිනිහෙකුට හැඟුම් වලට තහනමක් නෑ තමයි! සිතුවිලි වලටත් තහනමක් නෑ! හැබැයි ඕන වල් කමක් කරගන්න ඕනි තමන්ගේ හිතේ සීමාවේ! එහෙම නැතුව ඒවා නිදහස් අදහස්ය කියලා ප්‍රකාශ කරන්න ගියොත්, අනුන්ගේ ජීවිත අවුල් කරවීමෙන් ඇතිවෙන සාපයෙන් කවදාවත් උන්ට ගැලවීමක් නෑ!

අනික් අතට, අහඹු ලෙස කිහිප දෙනෙක් කෙරෙහි හිත බැඳෙන එක සාමාන්‍ය උනත්, එක සහකාරයෙක් එක්ක විතරක් සිතුවිලිමය හෝ කායික ගණුදෙනුවක යෙදෙන්න හික්මීමක්, ශික්ෂණයක්, ස්වයං පාලනයක් නැති මිනිස්සු, ශිෂ්ඨාචාරයකට නොගැලපෙන බවයි මම පුද්ගලිකව හිතන්නේ!

කෙනෙකු ගැන හිතේ තියෙන යහපත් ආකල්පයක් අතිශයින් අයහපත් වෙන්න ගතවෙන්නේ බොහොම සුළු කාලයක්! පහුගිය දවස් ටිකේ අපේ ජීවිත වලට බලපෑම් කරපු, මේක ලියන්න හේතු වුණු මේ ෆේක් ෆ්ලොරෙන්තිනෝ ගැනත් මගේ හිතේ කලින් තිබුනේ බොහෝම වැදගත් ස්ථානයක්! ඔහුගේ නිර්මාණ හරහා ගොඩ නැඟුණු ගෞරවයක්! එහෙත්, තමන්ගේ බොළඳ බව හෝ හැඟුම් වල ස්වයං පාලනයක් නොමැති කමින් ඔහු ඒ ගෞරවය වෛරයක් බවට පත් කලා!

අදටත් ඔහුගේ වෝල් එකේ ඔහුව ඉහලින් අගය කරන පිරිස, මේ සිදුවීම ගැන දන්නේ නෑ! ඔහු කවුද කියලා මම කියන්නෙත් නෑ! මොකද, මටත් මගේ කෙලි පොඩ්ඩටත් මේ "වියපත් තුරු හිසෙන්" ලැබුණු මල කරදරය දැන් ඉවරයි කියලා මම හිතනවා! හැබැයි ඒක මට විශ්වාස නෑ! මොකද, "ආයේ මං ඔයාලා දෙන්නගේ ජීවිත වලට කරදර කරන්නෑ නදී" කියලා පොර කිහිප පාරක්ම කියපු නිසා! 

2014/02/22

වියපත් තුරු මල්

වියපත්වු තුරු හිසෙහි
මල් හට ගත හැකි ය
සියක් නොව දහසකුත්
අකලට වුව...

නමුදු තුරු තෙම
එමල රැක ගෙන
පල දරන්නට
දේවි නම් ඉඩ...

තුරු තෙමේ ලඟ
සෙවන ලැබගෙන
වැඩෙන දරු පැළ
කුමක් උගනි ද?

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 පෙබරවාරි 22

2014/02/21

අනපේක්ෂිත (The Unexpected)






නිර්මාණය - සහන් පද්මසංඛ පීරිස්

THE SAHAN © 2014

කඳුළු සහ හාදු (Tears & Kisses)






නිර්මාණය - සහන් පද්මසංඛ පීරිස්
Composed By - Sahan Padmasangkha Peiris

THE SAHAN © 2012

2014/02/16

වීදුරු කුඩු

Drowing by - A-Lise
අහෝ හඬන තනි හදවත
දුකයි හොඳටෝම නුඹ ගැන
කුමන වරක් රැවටුනා ද
සැබෑ නොවන සන්තෝසෙට

නාදුනනා නුහුරු නොදුටු
සොඳුරු වෙස් ඇතිව හිනැහුණු
පිසාචයෙකු අහසින් විත්
සතුට ගෙන ගියා හොරෙන්ම

තිස් වසරක මැතිරිල්ලක
බලය රැඳුණු වීදුරු කුඩු
ඔහුගෙ අතින් විසිරූවා
සතුටින් හිස් වුණු දෙහදට

කරුණාකර මේ අහන්න
සතුට අරන් ගියත් මෙහෙම
ගර්ඩාගේ නීල දෑස
අන්ධ කලේ ඇයි කියන්න

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 පෙබරවාරි 15

2014/02/15

හිත හිත

පාළුවේ ගසක
හිත රිකිළි අතර
මුමුණ මුමුණා සරන
සැනසුමක් සොයන
ප්‍රේමයේ සීමාව මවන
ප්‍රේමියේ නුඹ ගැනයි සිහින
මේ අසම්පූර්ණ හිම සිහින

මිනී මල් පිපුන
නිම්නයක කෙලවරක
හඬා හඬා සලන
කඳුළු දෙනෙතක රැඳුණ
දියවරේ රන් මසුන් කොහිද
දිය වුණේ නුඹ ගැනයි මතක
මේ අරුම පුදුම කලු මතක

ටිකක් රැළි වැටුන
ඔරලෝසු වතක
මීට පෙර මැකුන
යලි යලිත් ඇඳුණ
බලා හිඳී ඔබේ මිණි නිල් නුවන
බලාපොරොත්තුවේ රන් රේඛාව
මේ සිර වූ ප්‍රේමයෙන් ඇඳි රේඛාව

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 පෙබරවාරි 15

2014/02/12

නියර



වැහි වැටෙනා දිනෙක
ජලයට වැළඳෙන උමතු බව
වලක්වනු බැරි වග
දන්නා නමුදු
නියර....

තම සිරුර
පසාරු කර
ගලද්දී ජල දහර
ජලය රැක ගැනුමට
වේදනා ඉවසා
වෙහෙසෙයි
දියව මිය යන තෙක්ම
නියර....

ඉපිලෙයි තුටින
බොහෝ සුවිසල්
ඇල දොල - ගඟ දියට මුසුව
පිටව ගිය ජල දහර
මරා දමා
නියර....

අවසන
තම පවිත්‍ර බව
ලුණු දියට බිලි වන
අවසන් නිමේශයෙහි
ජල දහර සිහි කරයි
නියර....

සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN
2014 පෙබරවාරි 12

2014/02/10

චරිත


දුයිෂෙන්ලා
ෆ්ලොරෙන්තිනෝලා
දෙවෙන්දොරාලා
මෙන්ම
නොරිකෝලා
ෆර්මිනාලා
අල්තිනායිලා
වෙන්න තටමන
පොත් කියවාපු
හිස් මිනිස්සු..


සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 පෙබරවාරි 10

2014/02/09

86 වන කුරුටු කවිය


සඳ හිරු අතර
හිර වුණු සිරුරු
සොයමින් දුවති
සැනසුම් පොකුරු

මග පැනනගින
නපුරැති පවුරු
දැක බියවැදී
දිනුවේ කවුරු

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 පෙබරවාරි 09