2016/11/03

හවස් වැසි


වතුර වාගෙම
රිද්මයට ඇදහැලෙන ප්‍රේමය..
පොළව වාගෙම
ප්‍රේමයට තෙත් කෙරෙන හෘදය..

ජීවිතයකට

අවැසිවන්නෙම
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

හැමදාම දාහයට හුරු කෙරුව

හවස සුමටැති කෙරෙන..
සිපුම් හඬ අහස්තල
ගුගුරුවා එළි මවන..
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

මගේ තනි ජීවිතේ

වැස්සකින් පොඟවන්න
ඉක්මනින් පැමිණෙන්න..
යෙහෙළියේ ඇත්තටම පවසන්න..
ජීවිතයකට
අවැසිවන්නෙම
මෙන්න මේ වගෙ 
හවස් වැසි නොවෙ ද?

සහන් පද්මසංඛ පීරිස්
2016 නොවැම්බර් 01

2016/08/24

මතකයන් තියෙන්නේ කොහි ද?


හිතවත,
මතකයන් තියෙන්නේ කොහි ද?
හිත ඇතුලෙ විතරයි ද?

දිනක් මම එකින් එක

අයෙක් දුන් සිහිවටන අතින් ගෙන
එකට ගොඩ ගසා ගිණි තැබූයෙමි

පෑන් සළකුණු බොඳව
පැන්සල් අකුරු මැකුණ
ටිකක් කහ ගැසුණු කොල
මත ලියැවි කවි දහස් ගණනක් ද
ගින්නටම හෙලූයෙමි

දින පොත් ද හතරක්
පින්තූර හත අටක්
අතගගා බල බලා
සිපින්නට ඉල්ලගත්
පිරුණු කෙස් මලු දෙකක්
එගින්නට දැමූවෙමි

හිතවත,
සදාකල් දැවේ යැයි සිතූව ද
සදාකල් දැවෙන ගින්දර කොයිද?

අළු පොදක් තබා ගිණි නිවෙනකොට
හැදුණි හිස්තැන් ගොඩක්
මතක පටියෙහි මැකුණු තැන් ගොඩක්

එහෙමනම් හිතවත,
මතකයන් තිබී ඇත්තේ හිතෙහි විතරම ද?
නැහැ නේද?


සහන් පද්මසංඛ පීරිස්
2015 සැප්තැම්බර් 30

2016/07/17

නීල තටාකය

මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

ඇබිති මල් උඩුකුරුව
පා කෙරුව
සිඟිති ඉඩ තබා දිය
රැළි කෙරුව
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

හැමුව රළු කුණාටුවකට හසුව
උණුව තිව් හිතෙහි සුව දුක ඇසුව
හමුව පා සඟළ රිදවුම් නැසුව
නිමුව ගිණි නුඹයි සැම සුව මුසුව

එසේ නම් පිය සොඳුර
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

ඉපිද ඇති නේක කිවියරු පබඳ
කවි ද පරදන සෙනෙහෙ දී ළමැද
කිමිද නුඹ තුළ සිසිළ විඳ නිබඳ
කිම ද මා විඳින පෙර පින සබඳ

යළි යළි ද
මා නුඹෙන් අහන්නෙම
මේ නීල තටාකය
නුඹ නොවෙ ද?

සහන් පද්මසංඛ පීරිස්
2016.07.11

2016/05/08

අතින් ඇණයකුත් අරගෙන එන්ට


ප්‍රේමයක් හැදෙන්නෙම
හදක් මත කෙනෙක් හද තබනකොට
විරහවක් මැවෙන්නෙම
හදක් තැබු තැනෙන් බිම වැටෙනකොට

හදක් නොම වැටෙන්නට
පෙමත් වැඩි කරන්නට
හදක් මත හදක් තැබු තැනක් වෙත
සිහින් ඇණයකුත් ගෙන ගැසූ විට
ටිකක් රිදුනමුත් එය දරා හිත
පෙමින් බැඳලමින් හුන් අයත් ඇත

නමුත් හද උයන් මැද
ඇණත් ගලවන් වැටෙන
ගිලන් හදවතුත් ඇති අයත් ඇත

එහෙව් තැන්වල පෙමක පරවෙච්ච
පෙතිත් තියෙනව විටෙක නොදිරච්ච
නැවුම් විරහවක රොඩු තැවරිච්ච
ඇණත් ගැසු හද තනිව තනිවෙච්ච

කලක් ගත වී ගිය ද
තවත් බැහැ කියා රිදවා ගන්ට
කලින් ගැසු ඇණත් අමුණා ගත්ත
බියෙන් ගල් ගැසී ගුල් තුළ නින්ද
මැදත් රිදවගත් නෙක අයත් ඇත

එහෙත් ඔය නොයෙක් දෙස බලං හිඳ
සරත් කල අහස් තලය මෙන් සිත
කලල් නැති දෙයින් පුරවමින් සොඳ
ඇණත් ගලවගත් හදවතුත් ඇත

ඉතින් මගෙ පෙමින් නැහැවී ඉන්ට
රිසින් සිටින බැව් පෙන්වා දෙන්ට
වෙතින් මගෙ හදින් නොවැටී ඉන්ට
අතින් ඇණයකුත් අරගෙන එන්ට


සහන් පද්මසංඛ පීරිස්
2015 සැප්තැම්බර් 01