2014/03/29

ලියමි තුති කවි තවත්

THE SAHAN POEMS, සහන් කවිසඳත් නොම නැග එන
රැයත් තනි නොරකින
කලක් තිබුණා මෙමට
විලක් කඳුළින් මැව්ව

නමුත් නුඹ දිව ඇවිත්
සුරත් නුඹෙ දිගු කරන්
කරක් ගිලි මා රැගෙන
මැජික් බලයෙන් ගොඩට

සැණක් අසුරක කලෙක
මලක් සේ මුදු සුවඳ
කොණක් නොපෙනෙන පෙමක
සිළක් දැල්වූ නුඹම

අදත් මා අත නොහැර
තවත් ඉද්දී මෙහෙම
කවක් නොලියා කොහොම
සියක් තුතිකුරු පිරුණ












සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 මාර්තු 28

2014/03/28

කවි දහසක්

"කවි දහසක්
ලියමි නුඹ හට"
එසේ නොකියමි
මසොඳුර මම අද

ස්නේහ සේනා
පතුරවා දස දිග
ජයගත් පසුුව නුඹ
මගේ විජිතයේ හද බිම

එදින සිට නුඹ ගැන
නුඹේ මුදු පා යුවල අබියස
සුවහසක් කවි පේලි අතුරන
නුඹට යටත් පෙම් කවියා
සදාකල් මා වූ බැවිණ

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014

2014/03/21

පෙනෙන තුරු


නුඹ
මා නිවස ඉදිරිපිට
කොන්ක්‍රීට් පාර මත වඩින
තත්පර ගණනක දසුන
නරඹනු වස්

හේත්තු කර හිස
ජනෙල් පියන මත
බලා සිටිමි මම
කල්පයක කාලයක්
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 මාර්තු 17