2014/12/19

පොළවක් සහ කුණාටුවක්


දවස් හතරක් තිස්සේ වහින ධාරාණිපාත වැස්ස තවමත් නතර වෙලා නැහැ! කොංක්‍රීට් වහලයක් තියෙන අපේ ගෙදර ඇතුලේ ඉද්දි වුණත් බය හිතෙන තරමට ලොකු කුණාටුවක් එක්කයි ඊයේ මහ රෑ වැස්ස තවත් දරුණු වුණේ! අල්ලපු ගමේ තරුණ අම්මා කෙනෙකුගේ සහ ඒ අම්මට තුරුල් වෙලා උණුහුමට නිදාගෙන හිටපු පුංචි දියණියෙකුගේ ජීවිත උදුරගෙන යන්න තරම් ඒ කුණාටුව දරුණු උනා! සමහර විට ඒ දෙන්නම ඒ වෙලාවේ හිතන්න ඇත්තේ, තමන් දකින්නේ නපුරු හීනයක් කියලා වෙන්න ඇති! අසරණ ජීවිත දෙකක් හොරකම් කරලත්, මොහොතකට හෝ විවේකයක් ගන්නට තවමත් අහසට ඕනි වෙලා නැහැ!

ඒත් මට හිතෙන්නේ අහස මෙච්චර වතුර වක්කරන්නේ පොළවට තියෙන අසීමිත ආදරේට කියලා! ආදරෙත් හරියට වැස්ස වගේ! පොලවට වැස්ස නැතුව බෑ වගේම, හිතකට ආදරේ නැතුව බෑ! ඒක සාමාන්‍ය ආදරයක් වුණොත්, සාමාන්‍ය වැස්සක් විඳින පොළවක් වගේ, හැම දෙයක්ම සමබරව තියේවි! හැබැයි, කෙනෙකුගේ ආදරය, අසාමාන්‍යැයි කිව හැකි තරම් විශාලත්වයෙන් වැඩි නම්, සාමාන්‍ය හිතකට බැහැ ඒක දරාගන්න! හරියට, මහා වැහි කුණාටුවකට හසු වෙලා, ගස් වැල් ඉරිදිලා, නාය ගිහින්, ගෙවල් දොරවල් කැඩිලා බිඳිලා, පොළව මත ජීවත් වුණු ජීවිතත් විනාශ වෙන තරම් පීඩාවක් විඳින සාමාන්‍ය පොළවක් වගේ! සාමාන්‍ය පොළවකට බැහැ, කුණාටුවක් දරාගන්න! මහා වැස්සක් දරාගන්න! සාමාන්‍ය හිතකට ආදර කුණාටුවක් දරාගන්න බැහැ වගේම!

ඒත්, කොච්චර වැස්ස වැටුණත්, සුලි සුළං ආවත්, දරාගෙන ඉන්න තැනුත්, මේ පොළව මත තියෙනවා! දරාගෙන ඉන්නවා නෙවෙයි! ඒ වගේ තැන් වල පොළව, හරිම ආදරෙන් තමයි වැහි කුණාටුව විඳින්නේ! ඒ තැන් වලට හැමදාමත් වගේ කුණාටුත් එනවා! ඉතින් ඒ කුණාටුව වගේම අසාමාන්‍ය ආදරයක්, විඳින්න පුලුවන් තරම් අසාමාන්‍ය හිත් තියෙන අයත් ඉන්නවා! ඒ වගේ හිතක් තියෙන කෙනෙකුට, සාමාන්‍ය ආදරයක් විඳගන්නත් බැහැ! එවැනි හිතකට ඕනි කුණාටුවක්! නිමා නොවෙන කුණාටුවක්! කුණාටුවටත් ඕනි, කොච්චර වැහි වැටුණත්, "තමුසෙගෙ ඔය කෙහෙල්මල් ආදරේ මට ලොකු වැඩියි ඕයි! මම බලාපොරොත්තු වෙන්නේ ඔය තරං ලොකු ආදරයක් නෙවෙයි" කියලා බෙරිහන් නොදෙන පොළවක්! හැම වැහිබිංදුවක්ම ආදරෙන් උරාගන්න පොළවක්! "මගේ ආදරණීය කුණාටුව! තව වැහැපියෝ" කියලා කෑගහන පොළවක්!

ඉතින් මම, මහා වැහි කුණාටුවක්!
ඇය, ඒ කුණාටුව දරාගන්න බැරිව නාය ගිය පොළවක්!
මැය, කුණාටුවේ හැම වැහි බිංදුවක්ම උරාගන්න ලෑස්ති වෙලා,
අහස දිහා බලං ඉන්න පොළවක්!
අහස - පොළව කෙදිනක හෝ යා නොවිය හැකි වුවත්,
කුණාටුව හැමීම කිසිසේත් නවත්වන්න බැහැ!
කුණාටුව ආදරෙන් විඳගන්නා පොළව ඉන් වලක්වාලන්නටත් බැහැ!
කාටවත් බැහැ! කිසිම දෙයකටවත් බැහැ!
අඩුම තරමේ, ලෝකේ ලොකුම බලවතා වෙච්චි,
කාලයට වත් බැහැ!

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 19

සිටිනු ඇත නුඹ










හදිසියෙම නුඹට දී
සිහිනයෙක පැහැය
අතුරුදන් කරවූ නුඹ
මගෙ ලොවෙන් පිටට
සැබැවින්ම සිහිනයක් දෝ නුඹ
ඉතින් කාට කියනු හැකි වෙද මට?

බලමි නුඹ බෝ ආසා කල
තරු පිරුණු රෑ අහස දෙස මම
දිය වී කඳුළු මත ඒ තරු කැට
කොපුලතින් බේරෙන තුරාවට
මවමි නෙක තරු රටාවන් ගෙන්
සිලිටි නුඹගේ සැලෙන නෙතු යුග

මා හඬන තැන
සිනහ වන තැන
මගෙන් හැංඟී
මගේ හිස සිඹ
සිටිනු ඇත නුඹ
සිහිනක් හෝ
වෙමින් මගෙ දිවි
දිවෙන තුරුවට

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 19

2014/12/17

කඳුළු තටාකයේ සිට







කඳුළු තටාකය අබියස
උණුසුම් වූ නමුදු
තෙතබරිත ද වූ
ඒ ඉවුරු මත හිඳ
දෙඅත් පටලා බැඳ ගත් අපි
බලා සිටියෙමු
අනන්තය ලඟා වන තුරා
නොගනිමින් ගතවෙනා තත්පර

අනන්තය ලං වනා වේගය
නුඹේ දෙඇසට නොපෙනුනෙන්
ඉවසා සිටි නුඹේ සිතුවිලි අංශු තුල
න්‍යශ්ටිගතව තිබූ ඒ මහා ශක්තිය
පුපුරවා හැර එයින් මත්තට
දෙඅත් අතහැර තනිව යන්නට
අනන්තය වෙත

ලොවම යටිකුරු කෙරූ සැණෙකින්
අවසාන තීන්දුව ගත්තාය නුඹ
කඳුළු තටාකය වියරු වී රැළි ගැසූ
නොවැම්බර් රාත්‍රියක් ගෙවෙන්නට පෙර
එළැඹි අවසාන පැයක් මත
අවසාන මැජික් සංදර්ශණය සිදු කොට

දියට වැටී වෙර දරා
පොර බදා මරණය සමඟ
කෙසේ හෝ ගොඩ ආවෙමි මම
තුත්තිරි ගසක පිහිට ලැබගෙන
පුදුමයකි සැණෙක ඒ තුත්තිරිය
මහ විසල් නුග රුකක් විය සෙවෙණ කර

ඉතින් මා පෙර සොඳුර
නුඹම ගත් ඒ අවසන් තීන්දුව
තුලින් උත්තානිත නමුදු
මහත් රිදවුම් විඳි ආත්මය
එකතු කොට ඔබාගෙන කය තුල
නුග රුකින් කල කුඩා ඔරුවක
නැගෙමි මම දැන් එගොඩ වන්නට
කඳුළු තටාකයෙන් එපිට ලෝකය
කාලයයි දැන් බලාගන්නට
නුඹ නැතිව තනිව වුව
අනන්තය වෙත ලඟා වන්නට

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 17

2014/12/16

හැකි ද පෙම සසඳන්න?


වැස්ස වැටෙනා රැයක
වැස්ස වී නුඹ වැටෙන
සිරි සිරිය ඇහෙන විට
කෙලෙස තනි හිතන්න ද?

මුලු අහස වී පෙනෙන
නුඹෙ උමතු ආදරය
සෙවණ කර සිටින විට
කෙලෙස දුක හිතන්න ද?

දෙනෙතු තෙමෙනා බරට
අමුතු හිත් යුවලකට
උමතු පෙම වැළදි විට
කෙලෙස මග හරින්න ද?

ගව් සියක් දුර වුව ද
නුඹම වී අැත මහිත
ප්‍රේම කෙරුමට නුඹට
ලඟම සිටි යුතුම වෙද?

වසර - දින ගලපන්න
හැකි ද පෙම සසඳන්න?
ඔරලෝසු කටු වලට
හැකි ද පෙම විමසන්න?

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 16

2014/12/13

පසුවදනක්

ප්‍රේම සබඳතාවක් බිඳවැටීමෙන් පසු, කෙනෙකු වැටීම සිටිනවාද, එසේත් නොමැති නම් නැගිටිනවාද යන්න තීරණය කල හැක්කේ එයින් පීඩිත පුද්ගලයාටම පමණක් මිස ඔහු වටා සිටින්නන්ට නොවේ! වටේ සිටින්නන්ට කල හැකි දෑ දෙවර්ගයකි! එක්කෝ නැගිටීමට උනන්දු කිරීමට හෝ එයට උදව් කිරීමට හැක! එක්කෝ වැටී සිටීමට අනුබල දීමට, නැගී සිටින්නට උත්සහ ගැනීමේදී එය වලක්වා නැවත නැවතත් වැට්ටීමට හැක! එමෙන්ම ඔහු විරහා වේදනාව විඳවිය යුතු කාලසීමාව තීරණය කරන්නේ එම පුද්ගලයාම මිස, කිසිත් නොදත් තෙවැනි පාර්ශවයක් නොවෙයි!

වසර ගණනක් විරහා වේදනාවෙන් පෙළෙමින් ජීවිතයම නාස්ති කරගන්නා පුද්ගලයන් ඔබ සිය දහස් ගණනින් දැක ඇත! ඇතැම් විට එය එසේ වීමට තව තවත් හේතු රැසක් බලපානු ඇත! ඔහු සමඟ පෙමින් වෙලී සිටි සහකාරියට සමාන හෝ ඊට වඩා හොඳින් වැඩි යැයි හැඟෙන්නියක් ලොව තුල හමු නොවීම, එයට බලපෑ හැකි එක් හේතුවකි! කෙසේ වුවත් ඔබ එවැන්නෙකු දෙස බලන්නේ කෙසේ ද? ඔබ අතුරින් ඇතැමෙක් අසරණයෙකු දෙස බලන අයුරින් ඔහු දෙස බලනු ඇත! ඇතැමෙක් මොඩයෙකු දෙස, පිස්සෙකු දෙස බලන අයුරින් ඔහු දෙස බලනු ඇත! අඳුරු ආගාධයක වැටී ජීවිතය විනාශ කරගන්නේ යැයි ඔහුට බැණවදිනු ඇත! නැගී සිටීමට කිසිදු උනන්දුවක් නැතැයි බැණ වදිනු ඇත! තවත් කෙනෙක් ඔහුගේ උතුම් වූ ප්‍රේමය ගැන, ප්‍රේමය වෙනුවෙන් කරනා පරිත්‍යාග පිළිබඳ පසසනු ඇත! සබඳතාව බිඳ වැටී දවස් 10කින් 15කින් නැගිටින කෙනාට ලැබෙන ප්‍රතිචාර කෙසේ විය හැකි ද? එහි දී ඔහු කල ආදරයට ලැබෙන වටිනාකම බලු බළලුන්ගේ මට්ටමට වට්ටන්නට ඔබ ක්‍රියා කරනු ඇත! ජීවිතය නාස්ති නොකරගෙන නැගිටීම පිළිබඳ පැසසුමෙන් කතා කරන්නන් ඔබ අතුරින් ඉතා අඩුවෙන් බිහිවනු ඇත! අනෙක් සියල්ලෝම ඔහු දෙසට ඇඟිල්ල දිගු කරනු ඇත!

කෙනෙකු විරහා වේදනාව නමැති අඳුරෙහි විඳවනා කාලයෙන්, ඔහු සිදු කල ප්‍රේමයේ දිග පළල සෙවීමට යන්නේ නම් ඔබ මහත් වූ මෝඩයෙකු යැයි මම කියමි! විරහා වේදනාවේ කාල සීමාව ප්‍රේමය මැනීමේ ඒකකයක් ලෙස යොදා ගන්නා ඔබ සියල්ලෝම මෝඩයන් බව මම කියමි! කාලය යනු කුමක්දැයි ඔබ දන්නවා ද? කාලය යනු අපට පෙනෙනා දෙයක්, අත ගෑ හැකි දෙයක් නොව, අපට දැනෙනා දෙයකි! ඒ දැනීමට හේතු වන්නේ මතක, විඳීම්, හැඟීම් සහ බලාපොරොත්තු/අපේක්ෂා අප සිත තුල නිරතුරුව රැඳී පැවතීමයි! ඒ දේවල් ඔබේ මනස තුල නොවූ තැන දී ඔබ හට කාලය අතික්‍රමණය කල හැකි වනු ඇත! කාලය පිළිබඳ හැඟීමකින් තොරව සිටිය හැකි වනු ඇත! ඉතින්, කාලය දැනෙන්නේ ඔරලෝසු වලට වත්, කැලැන්ඩර වලට වත් නොව, එකිනෙකාගේ සිත් වලටම පමණි! එය ද සිත් වලට ස්වාධීන වන ලෙස ය! ඔබට දැනෙන පැයක කාල සීමාවෙදි ඇති දිගම, මට දැනෙන්නේ නැත! ඉතින්, එදිනෙදා කටයුතු වලදී ජීවිතය පහසු කරගැනීමට යොදාගන්නවා මිස, ඔරලෝසු වලින් ඔබේ සිතේ කාලය මැනිය නොහැක!

කෙනෙකු ප්‍රේම සබඳතාව බිඳ වැටී වසර 20ක් විඳවනවා විය හැකිය! තවත් කෙනෙකු දවස් 20කින් නැගිටිනවා විය හැකිය! ඔබෙන් බහුතරය සිතන්නේ දවස් 20න් නැගිටින්නාගේ ප්‍රේමයේ ප්‍රබලත්වය, වටිනාකම ඉතා අඩු බව ය! නමුදු, ඒ දවස් 20 ඇතුලත ඔහු විඳවූ විඳවීම, ඔහුට දැණුනේ දවස් 20ක විඳවීමක් ලෙසින්ම ද, මාස 20ක විඳවීමක් ලෙසින් ද, එසේත් නොමැති නම් අවුරුදු 20ක කුරිරු විඳවීමක් ලෙසින් ද යන්න ඔබට උපකල්පනය කල නොහැක! එසේ උපකල්පන වල සිට විනිෂ්ච්‍යයන් ලබා දීමට ඔබට අයිතියක් ද නොමැත!

අවසන, දෙයක් ගැන කිසිවක් නොදැන ජජ්මන්ට් දීමට ඉදිරිපත් නොවන්න! පරචිත්ත විජානන ඥානය නොමැති නම්, අනුන්ගේ සිත් පිළිබඳව සහතික දීමට ඉදිරිපත් නොවන්න! එසේම, කිසිවකුට ප්‍රේම කරන අයුරු ඉගැන්වීමට ද ඉදිරිපත් නොවන්න!

මන්ද, ඔබ, මා නොවන බැවිණි! මා, ඔබ නොවන බැවිණි!

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 13

මමයි හුස්ම


මමයි හුස්ම
නුඹේ පපුව
තුලට ඇදන

ලෙයට මුසුව
නුඹේ සිරුර
පුරා දුවන

පෙමින් මගේ
නුඹේ මොලය
උමතු කරන

මමයි හුස්ම
නුඹේ තුලම
දිනෙක මියෙන

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 13

2014/12/05

කඳුළු ඉස සුබ පතා


උදා හිරු තරමටම සෙනෙහසින් රැක බලා
පොහොට්ටුවෙ සමේ සිට උණුහුමින් සැනසුවා
මුලු ලොවම සුවඳ කර පිපිය හැකි ගොමුවකට
තිළිණ කෙරුවෙමි නුඹව කඳුළු ඉස සුබ පතා

මුදාගෙන මරණයෙන් ආදරෙන් උපදවා
කෝෂයේ සමේ සිට හොඳ නරක පෙන්නුවා
මුලු ලොවම දකින්නට ඉගිල යනු හැකි ලෙසට
තටු මැවූයෙමි නුඹට කඳුළු ඉස සුබ පතා

හදාගෙන මහ වැවක් පෙමින් එය පිරවුවා
විටින් විට ඇහිපියෙන් හිත වාන පිටවුවා
කඩාගෙන යනු ලෙසට එයට නුඹ බර වුවා
නමුදු වැව තවම ඇත පැරණි කවි මුමුණවා

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 05

2014/12/03

නැගිමි මේ කඳු මුදුණ වෙත මම


දශකයක් දිගු කටුක ගමනක
කර මතින් කුමරියක් අරගෙන
පෙමේ සවියෙන් හිතම පුරවා
නැගිමි මේ කඳු මුදුණ වෙත මම

මුදුණ සිට ඇගෙ ගමන කෙලවර
යා කෙරූ මග කටුක නොවුනෙන්
ඉතින් ඈ බැස කර මතින් මගෙ
යන්න පිටවුණි පසුත් නොබලම

එහෙව් ලොව අදහන්න නොහැකිව
දෙනෙතු සේදෙන සැඳෑවක අග
කඩු පොලුද නෙක අමෝරාගෙන
ස්මරණ සේනා දුටිමි මෙහි එන

උදව් කරනට පැමිණි නොහැකි ද
කියා ඇය වෙත හඬගැසූව ද
මගේ කට හඬ ඇයට ඇසුණි ද
නොම දනිමි මම නොහැරුණා ඇය

මියෙනු නොහැකිව කඳු මුදුන මත
සටන් වදිනෙමි හැකි ලෙසින් අද
දිනුම පැරදුම මොක වුවත් හෙට
මගේ කර උණුසුම්ය හැම දින

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 03