2014/01/29

කම් නැත

අවසන
අහිමි කලමුදු
ලොවට කීමට
නුඔ ගැන
ඇති වරම...

තෙරක් නොපෙනෙන
පෙමින් සෑදුණ
විසල් මනසෙහි
මධ්‍යය ලක්ෂයෙහි සිට
හඬගාමි ඇසෙන්නට
මා හට පමණක්
නුඹ ගැන
මම...

මෙසේ සටහන් කොට
බෙදා ගන්නා
අවසන් කවිය
නුඹ සමඟ...

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 29

2014/01/28

ඇරයුමක්

ගොලු වුණි ද
සැඟවුණි ද
විසිරුණු කාලයේ
අරුම පුදුම මතක

විකසිත ද
මුකුලිත ද
සිතුවිලි ප්‍රේමයේ
සැදුන සිහින මලෙක

චන්ද්‍රාලෝකයට යටින්
නිද්‍රා ලෝකයට හොරෙන්
අපි අපිම වී
යලි හමුවන්න

එක රාත්‍රියක
එක හීනයක
ඇබිති ඉඩකඩක්
වෙන් කරගන්න

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 28

2014/01/26

මතකද?

මතකද එක දවසක
පාට පිච්චුණු කුඩයක
හෙවණ බෙදාගෙන
රජ උයනේ බංකුවක..

වැව වටේ රවුම
අවලස්සන කල
සුදු පැහැති බැම්මේ
වලාකුලු එකින් එක
ඇඟිල්ලෙන්
පාට කරපු හැටි
අප..


සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 26

2014/01/25

කවියෝ

කුණුහරපම ලියන
කෙනෙකුට ලැබෙන
නම්බු නාම කෑගසයි
"අසම්මත අපූර්ව කවියෙකි නුඹ..."

කලකට පසුව
ඔහුම ලියන
ඔහුට ද නොතේරෙන
වචන පෙලකට
පෙර දා නම්බු දුන්
උන් කෑගසයි
අපූර්ව යටිපෙල අරුතක් ගැන...

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 25

2014/01/24

ආශා

මිතුරනි මා මියගිය පසුව
නිවන් සුව නොපතන්න..
යලි යලිත් ඈ සමඟම
කෙලවරක් නොමැතිව
සසර මඟ හමුවන්න,
සසර දුක විඳගන්න,
ආශා පිරි කෙලෙස් කුට්ටි
පොදි ගැහුමට ඉඩ දෙන්න..




සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 24

85 වන කුරුටු කවිය

නුඹ තෑගි කල
කෝප්පය
අධි සාන්ද්‍ර කෝපි හා
එක්ව ගයන කල

පාට සළුවෙන් නොකිලි කල
සුපිරිසිදු නිරුවත් සිහින
පුබුදුවයි
උමතු තත්පර මවා හනිකට

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජනවාරි 24

2014/01/07

අඹ

ගසක් ආදරෙන් තම හිත පුරවන්නේ
ඒ ආදරෙන් ගස අඹ මල් පීදෙන්නේ
රුව ගුණ එකතු කොට අඹ ගෙඩි තනවන්නේ
දකින දෙනෙත හිමි හිත මත් කරවන්නේ

ගසට පොලු ගසා අඹයක් කඩන්නේ
වැටුණු අඹය අහුලා හැඩ බලන්නේ
ඉදුණු අඹයෙ සුවඳට ඉව කරන්නේ
රසය කොතරම්ද මනසින් සිතන්නේ

ඇතැමෙක් රසය විඳුමට එය කපන්නේ
බොහොමෙක් තනිව තම අඹ කැබලි කන්නේ
යමෙක් හිතවතුන් වෙතටත් බෙදන්නේ
මුදලක් සොයා ඇතැමෙකු අඹ විකුණන්නේ

පොත්තෙ ද පසුව මදයෙ ද රස බලන්නේ
ඉන් නොනැවතී ඇටය ද සූරා කන්නේ
කෑ පසු ඇටය විසිකරලා දමන්නේ
අඹය ද ගැහැණියකි විටෙකදි සිතෙන්නේ

සහන් පද්මසංඛ පීරිස්
THE SAHAN © 2014 ජනවාරි 07