2014/12/19

පොළවක් සහ කුණාටුවක්


දවස් හතරක් තිස්සේ වහින ධාරාණිපාත වැස්ස තවමත් නතර වෙලා නැහැ! කොංක්‍රීට් වහලයක් තියෙන අපේ ගෙදර ඇතුලේ ඉද්දි වුණත් බය හිතෙන තරමට ලොකු කුණාටුවක් එක්කයි ඊයේ මහ රෑ වැස්ස තවත් දරුණු වුණේ! අල්ලපු ගමේ තරුණ අම්මා කෙනෙකුගේ සහ ඒ අම්මට තුරුල් වෙලා උණුහුමට නිදාගෙන හිටපු පුංචි දියණියෙකුගේ ජීවිත උදුරගෙන යන්න තරම් ඒ කුණාටුව දරුණු උනා! සමහර විට ඒ දෙන්නම ඒ වෙලාවේ හිතන්න ඇත්තේ, තමන් දකින්නේ නපුරු හීනයක් කියලා වෙන්න ඇති! අසරණ ජීවිත දෙකක් හොරකම් කරලත්, මොහොතකට හෝ විවේකයක් ගන්නට තවමත් අහසට ඕනි වෙලා නැහැ!

ඒත් මට හිතෙන්නේ අහස මෙච්චර වතුර වක්කරන්නේ පොළවට තියෙන අසීමිත ආදරේට කියලා! ආදරෙත් හරියට වැස්ස වගේ! පොලවට වැස්ස නැතුව බෑ වගේම, හිතකට ආදරේ නැතුව බෑ! ඒක සාමාන්‍ය ආදරයක් වුණොත්, සාමාන්‍ය වැස්සක් විඳින පොළවක් වගේ, හැම දෙයක්ම සමබරව තියේවි! හැබැයි, කෙනෙකුගේ ආදරය, අසාමාන්‍යැයි කිව හැකි තරම් විශාලත්වයෙන් වැඩි නම්, සාමාන්‍ය හිතකට බැහැ ඒක දරාගන්න! හරියට, මහා වැහි කුණාටුවකට හසු වෙලා, ගස් වැල් ඉරිදිලා, නාය ගිහින්, ගෙවල් දොරවල් කැඩිලා බිඳිලා, පොළව මත ජීවත් වුණු ජීවිතත් විනාශ වෙන තරම් පීඩාවක් විඳින සාමාන්‍ය පොළවක් වගේ! සාමාන්‍ය පොළවකට බැහැ, කුණාටුවක් දරාගන්න! මහා වැස්සක් දරාගන්න! සාමාන්‍ය හිතකට ආදර කුණාටුවක් දරාගන්න බැහැ වගේම!

ඒත්, කොච්චර වැස්ස වැටුණත්, සුලි සුළං ආවත්, දරාගෙන ඉන්න තැනුත්, මේ පොළව මත තියෙනවා! දරාගෙන ඉන්නවා නෙවෙයි! ඒ වගේ තැන් වල පොළව, හරිම ආදරෙන් තමයි වැහි කුණාටුව විඳින්නේ! ඒ තැන් වලට හැමදාමත් වගේ කුණාටුත් එනවා! ඉතින් ඒ කුණාටුව වගේම අසාමාන්‍ය ආදරයක්, විඳින්න පුලුවන් තරම් අසාමාන්‍ය හිත් තියෙන අයත් ඉන්නවා! ඒ වගේ හිතක් තියෙන කෙනෙකුට, සාමාන්‍ය ආදරයක් විඳගන්නත් බැහැ! එවැනි හිතකට ඕනි කුණාටුවක්! නිමා නොවෙන කුණාටුවක්! කුණාටුවටත් ඕනි, කොච්චර වැහි වැටුණත්, "තමුසෙගෙ ඔය කෙහෙල්මල් ආදරේ මට ලොකු වැඩියි ඕයි! මම බලාපොරොත්තු වෙන්නේ ඔය තරං ලොකු ආදරයක් නෙවෙයි" කියලා බෙරිහන් නොදෙන පොළවක්! හැම වැහිබිංදුවක්ම ආදරෙන් උරාගන්න පොළවක්! "මගේ ආදරණීය කුණාටුව! තව වැහැපියෝ" කියලා කෑගහන පොළවක්!

ඉතින් මම, මහා වැහි කුණාටුවක්!
ඇය, ඒ කුණාටුව දරාගන්න බැරිව නාය ගිය පොළවක්!
මැය, කුණාටුවේ හැම වැහි බිංදුවක්ම උරාගන්න ලෑස්ති වෙලා,
අහස දිහා බලං ඉන්න පොළවක්!
අහස - පොළව කෙදිනක හෝ යා නොවිය හැකි වුවත්,
කුණාටුව හැමීම කිසිසේත් නවත්වන්න බැහැ!
කුණාටුව ආදරෙන් විඳගන්නා පොළව ඉන් වලක්වාලන්නටත් බැහැ!
කාටවත් බැහැ! කිසිම දෙයකටවත් බැහැ!
අඩුම තරමේ, ලෝකේ ලොකුම බලවතා වෙච්චි,
කාලයට වත් බැහැ!

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 19

සිටිනු ඇත නුඹ










හදිසියෙම නුඹට දී
සිහිනයෙක පැහැය
අතුරුදන් කරවූ නුඹ
මගෙ ලොවෙන් පිටට
සැබැවින්ම සිහිනයක් දෝ නුඹ
ඉතින් කාට කියනු හැකි වෙද මට?

බලමි නුඹ බෝ ආසා කල
තරු පිරුණු රෑ අහස දෙස මම
දිය වී කඳුළු මත ඒ තරු කැට
කොපුලතින් බේරෙන තුරාවට
මවමි නෙක තරු රටාවන් ගෙන්
සිලිටි නුඹගේ සැලෙන නෙතු යුග

මා හඬන තැන
සිනහ වන තැන
මගෙන් හැංඟී
මගේ හිස සිඹ
සිටිනු ඇත නුඹ
සිහිනක් හෝ
වෙමින් මගෙ දිවි
දිවෙන තුරුවට

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 19

2014/12/17

කඳුළු තටාකයේ සිට







කඳුළු තටාකය අබියස
උණුසුම් වූ නමුදු
තෙතබරිත ද වූ
ඒ ඉවුරු මත හිඳ
දෙඅත් පටලා බැඳ ගත් අපි
බලා සිටියෙමු
අනන්තය ලඟා වන තුරා
නොගනිමින් ගතවෙනා තත්පර

අනන්තය ලං වනා වේගය
නුඹේ දෙඇසට නොපෙනුනෙන්
ඉවසා සිටි නුඹේ සිතුවිලි අංශු තුල
න්‍යශ්ටිගතව තිබූ ඒ මහා ශක්තිය
පුපුරවා හැර එයින් මත්තට
දෙඅත් අතහැර තනිව යන්නට
අනන්තය වෙත

ලොවම යටිකුරු කෙරූ සැණෙකින්
අවසාන තීන්දුව ගත්තාය නුඹ
කඳුළු තටාකය වියරු වී රැළි ගැසූ
නොවැම්බර් රාත්‍රියක් ගෙවෙන්නට පෙර
එළැඹි අවසාන පැයක් මත
අවසාන මැජික් සංදර්ශණය සිදු කොට

දියට වැටී වෙර දරා
පොර බදා මරණය සමඟ
කෙසේ හෝ ගොඩ ආවෙමි මම
තුත්තිරි ගසක පිහිට ලැබගෙන
පුදුමයකි සැණෙක ඒ තුත්තිරිය
මහ විසල් නුග රුකක් විය සෙවෙණ කර

ඉතින් මා පෙර සොඳුර
නුඹම ගත් ඒ අවසන් තීන්දුව
තුලින් උත්තානිත නමුදු
මහත් රිදවුම් විඳි ආත්මය
එකතු කොට ඔබාගෙන කය තුල
නුග රුකින් කල කුඩා ඔරුවක
නැගෙමි මම දැන් එගොඩ වන්නට
කඳුළු තටාකයෙන් එපිට ලෝකය
කාලයයි දැන් බලාගන්නට
නුඹ නැතිව තනිව වුව
අනන්තය වෙත ලඟා වන්නට

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 17

2014/12/16

හැකි ද පෙම සසඳන්න?


වැස්ස වැටෙනා රැයක
වැස්ස වී නුඹ වැටෙන
සිරි සිරිය ඇහෙන විට
කෙලෙස තනි හිතන්න ද?

මුලු අහස වී පෙනෙන
නුඹෙ උමතු ආදරය
සෙවණ කර සිටින විට
කෙලෙස දුක හිතන්න ද?

දෙනෙතු තෙමෙනා බරට
අමුතු හිත් යුවලකට
උමතු පෙම වැළදි විට
කෙලෙස මග හරින්න ද?

ගව් සියක් දුර වුව ද
නුඹම වී අැත මහිත
ප්‍රේම කෙරුමට නුඹට
ලඟම සිටි යුතුම වෙද?

වසර - දින ගලපන්න
හැකි ද පෙම සසඳන්න?
ඔරලෝසු කටු වලට
හැකි ද පෙම විමසන්න?

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 16

2014/12/13

පසුවදනක්

ප්‍රේම සබඳතාවක් බිඳවැටීමෙන් පසු, කෙනෙකු වැටීම සිටිනවාද, එසේත් නොමැති නම් නැගිටිනවාද යන්න තීරණය කල හැක්කේ එයින් පීඩිත පුද්ගලයාටම පමණක් මිස ඔහු වටා සිටින්නන්ට නොවේ! වටේ සිටින්නන්ට කල හැකි දෑ දෙවර්ගයකි! එක්කෝ නැගිටීමට උනන්දු කිරීමට හෝ එයට උදව් කිරීමට හැක! එක්කෝ වැටී සිටීමට අනුබල දීමට, නැගී සිටින්නට උත්සහ ගැනීමේදී එය වලක්වා නැවත නැවතත් වැට්ටීමට හැක! එමෙන්ම ඔහු විරහා වේදනාව විඳවිය යුතු කාලසීමාව තීරණය කරන්නේ එම පුද්ගලයාම මිස, කිසිත් නොදත් තෙවැනි පාර්ශවයක් නොවෙයි!

වසර ගණනක් විරහා වේදනාවෙන් පෙළෙමින් ජීවිතයම නාස්ති කරගන්නා පුද්ගලයන් ඔබ සිය දහස් ගණනින් දැක ඇත! ඇතැම් විට එය එසේ වීමට තව තවත් හේතු රැසක් බලපානු ඇත! ඔහු සමඟ පෙමින් වෙලී සිටි සහකාරියට සමාන හෝ ඊට වඩා හොඳින් වැඩි යැයි හැඟෙන්නියක් ලොව තුල හමු නොවීම, එයට බලපෑ හැකි එක් හේතුවකි! කෙසේ වුවත් ඔබ එවැන්නෙකු දෙස බලන්නේ කෙසේ ද? ඔබ අතුරින් ඇතැමෙක් අසරණයෙකු දෙස බලන අයුරින් ඔහු දෙස බලනු ඇත! ඇතැමෙක් මොඩයෙකු දෙස, පිස්සෙකු දෙස බලන අයුරින් ඔහු දෙස බලනු ඇත! අඳුරු ආගාධයක වැටී ජීවිතය විනාශ කරගන්නේ යැයි ඔහුට බැණවදිනු ඇත! නැගී සිටීමට කිසිදු උනන්දුවක් නැතැයි බැණ වදිනු ඇත! තවත් කෙනෙක් ඔහුගේ උතුම් වූ ප්‍රේමය ගැන, ප්‍රේමය වෙනුවෙන් කරනා පරිත්‍යාග පිළිබඳ පසසනු ඇත! සබඳතාව බිඳ වැටී දවස් 10කින් 15කින් නැගිටින කෙනාට ලැබෙන ප්‍රතිචාර කෙසේ විය හැකි ද? එහි දී ඔහු කල ආදරයට ලැබෙන වටිනාකම බලු බළලුන්ගේ මට්ටමට වට්ටන්නට ඔබ ක්‍රියා කරනු ඇත! ජීවිතය නාස්ති නොකරගෙන නැගිටීම පිළිබඳ පැසසුමෙන් කතා කරන්නන් ඔබ අතුරින් ඉතා අඩුවෙන් බිහිවනු ඇත! අනෙක් සියල්ලෝම ඔහු දෙසට ඇඟිල්ල දිගු කරනු ඇත!

කෙනෙකු විරහා වේදනාව නමැති අඳුරෙහි විඳවනා කාලයෙන්, ඔහු සිදු කල ප්‍රේමයේ දිග පළල සෙවීමට යන්නේ නම් ඔබ මහත් වූ මෝඩයෙකු යැයි මම කියමි! විරහා වේදනාවේ කාල සීමාව ප්‍රේමය මැනීමේ ඒකකයක් ලෙස යොදා ගන්නා ඔබ සියල්ලෝම මෝඩයන් බව මම කියමි! කාලය යනු කුමක්දැයි ඔබ දන්නවා ද? කාලය යනු අපට පෙනෙනා දෙයක්, අත ගෑ හැකි දෙයක් නොව, අපට දැනෙනා දෙයකි! ඒ දැනීමට හේතු වන්නේ මතක, විඳීම්, හැඟීම් සහ බලාපොරොත්තු/අපේක්ෂා අප සිත තුල නිරතුරුව රැඳී පැවතීමයි! ඒ දේවල් ඔබේ මනස තුල නොවූ තැන දී ඔබ හට කාලය අතික්‍රමණය කල හැකි වනු ඇත! කාලය පිළිබඳ හැඟීමකින් තොරව සිටිය හැකි වනු ඇත! ඉතින්, කාලය දැනෙන්නේ ඔරලෝසු වලට වත්, කැලැන්ඩර වලට වත් නොව, එකිනෙකාගේ සිත් වලටම පමණි! එය ද සිත් වලට ස්වාධීන වන ලෙස ය! ඔබට දැනෙන පැයක කාල සීමාවෙදි ඇති දිගම, මට දැනෙන්නේ නැත! ඉතින්, එදිනෙදා කටයුතු වලදී ජීවිතය පහසු කරගැනීමට යොදාගන්නවා මිස, ඔරලෝසු වලින් ඔබේ සිතේ කාලය මැනිය නොහැක!

කෙනෙකු ප්‍රේම සබඳතාව බිඳ වැටී වසර 20ක් විඳවනවා විය හැකිය! තවත් කෙනෙකු දවස් 20කින් නැගිටිනවා විය හැකිය! ඔබෙන් බහුතරය සිතන්නේ දවස් 20න් නැගිටින්නාගේ ප්‍රේමයේ ප්‍රබලත්වය, වටිනාකම ඉතා අඩු බව ය! නමුදු, ඒ දවස් 20 ඇතුලත ඔහු විඳවූ විඳවීම, ඔහුට දැණුනේ දවස් 20ක විඳවීමක් ලෙසින්ම ද, මාස 20ක විඳවීමක් ලෙසින් ද, එසේත් නොමැති නම් අවුරුදු 20ක කුරිරු විඳවීමක් ලෙසින් ද යන්න ඔබට උපකල්පනය කල නොහැක! එසේ උපකල්පන වල සිට විනිෂ්ච්‍යයන් ලබා දීමට ඔබට අයිතියක් ද නොමැත!

අවසන, දෙයක් ගැන කිසිවක් නොදැන ජජ්මන්ට් දීමට ඉදිරිපත් නොවන්න! පරචිත්ත විජානන ඥානය නොමැති නම්, අනුන්ගේ සිත් පිළිබඳව සහතික දීමට ඉදිරිපත් නොවන්න! එසේම, කිසිවකුට ප්‍රේම කරන අයුරු ඉගැන්වීමට ද ඉදිරිපත් නොවන්න!

මන්ද, ඔබ, මා නොවන බැවිණි! මා, ඔබ නොවන බැවිණි!

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 13

මමයි හුස්ම


මමයි හුස්ම
නුඹේ පපුව
තුලට ඇදන

ලෙයට මුසුව
නුඹේ සිරුර
පුරා දුවන

පෙමින් මගේ
නුඹේ මොලය
උමතු කරන

මමයි හුස්ම
නුඹේ තුලම
දිනෙක මියෙන

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 13

2014/12/05

කඳුළු ඉස සුබ පතා


උදා හිරු තරමටම සෙනෙහසින් රැක බලා
පොහොට්ටුවෙ සමේ සිට උණුහුමින් සැනසුවා
මුලු ලොවම සුවඳ කර පිපිය හැකි ගොමුවකට
තිළිණ කෙරුවෙමි නුඹව කඳුළු ඉස සුබ පතා

මුදාගෙන මරණයෙන් ආදරෙන් උපදවා
කෝෂයේ සමේ සිට හොඳ නරක පෙන්නුවා
මුලු ලොවම දකින්නට ඉගිල යනු හැකි ලෙසට
තටු මැවූයෙමි නුඹට කඳුළු ඉස සුබ පතා

හදාගෙන මහ වැවක් පෙමින් එය පිරවුවා
විටින් විට ඇහිපියෙන් හිත වාන පිටවුවා
කඩාගෙන යනු ලෙසට එයට නුඹ බර වුවා
නමුදු වැව තවම ඇත පැරණි කවි මුමුණවා

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 05

2014/12/03

නැගිමි මේ කඳු මුදුණ වෙත මම


දශකයක් දිගු කටුක ගමනක
කර මතින් කුමරියක් අරගෙන
පෙමේ සවියෙන් හිතම පුරවා
නැගිමි මේ කඳු මුදුණ වෙත මම

මුදුණ සිට ඇගෙ ගමන කෙලවර
යා කෙරූ මග කටුක නොවුනෙන්
ඉතින් ඈ බැස කර මතින් මගෙ
යන්න පිටවුණි පසුත් නොබලම

එහෙව් ලොව අදහන්න නොහැකිව
දෙනෙතු සේදෙන සැඳෑවක අග
කඩු පොලුද නෙක අමෝරාගෙන
ස්මරණ සේනා දුටිමි මෙහි එන

උදව් කරනට පැමිණි නොහැකි ද
කියා ඇය වෙත හඬගැසූව ද
මගේ කට හඬ ඇයට ඇසුණි ද
නොම දනිමි මම නොහැරුණා ඇය

මියෙනු නොහැකිව කඳු මුදුන මත
සටන් වදිනෙමි හැකි ලෙසින් අද
දිනුම පැරදුම මොක වුවත් හෙට
මගේ කර උණුසුම්ය හැම දින

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 03

2014/11/13

අනඟ රැඟුම


රනේ දිස්නෙකින් දුලනා ම‍ලෙකි කොමල පුල්
මිණේ වර්ණෙකින් තැවරූ බිඟෙකි සිත විසල්
සෙනේ කෙන්දකින් ඇඹරූ හුයෙකි රැගෙන කල්
පිනේ අස්නකින් බැඳෙනා දිනෙකි හද යුගල්

පුන් උපුල වන් උවන සිඹ සුවඳ බලා මල්
කවි සියක් ලියූ බිඟු පතළ කර සසර මුල්
පෙරැත්තයකට පසුව බිඳ දමා නුරා සිල්
දෙපුන් සඳ පෑයුවා අරුමයකි දිවා කල්

එසැණ බිඟු විසල සිත එකට හැකිළුණි අඟල්
අනඟ රැඟුමෙක තුටට නිහඬ වුණි හද සුරල්
පෙමක මහිමෙක අසිරි රැඳුණි මරණෙක අකල්
බිඟු නමින් මල ද තනිකඩයි පෙති සිඳෙන කල්

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 නොවැම්බර් 13

Painting - Flower Nude by Dinh Hanh

2014/11/02

ඛේදයේ පෙරවදන

හදක් හිල් කොට පෑන් තලයෙන්
ලියා පෙම් ගී ටිෂූ කොලයක
මමත් ගයනෙමි සෙනේ ස්වරයෙන්
එයින් හැදු කඩදාසි ඔරුවක

නැඟී එය මත නදී දිය පිට
ඇදී යයි - නොම දනී කෙලවර

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 නොවැම්බර් 01

2014/10/04

බැර ලෝහ


යාන්තම් තරලමය ඝන
පරිපූර්ණ තද නිහඬතාවෙක හිඳ
බැර ලෝහ ගීතයක් මහ හඬින් ඇරඹෙන
ඒ පළමු තප්පරය පටන් ගන්නා තැන

අහිමිව යයි මට - මගේ යැයි කී හිත
නුඹේ පිටපත් අසූ දහසක් පැමිණ එකවර
මවනු ඇත්තේ හනික - අනුරාගයේ උත්කර්ෂය
බදා මා - අඟලකදු නොඉතිරි කොට
අග්නිය ද තුසරය ද ධූලකය ද හාමු කොට

උපරිමැති පැණි රසක් එහි කවා - පොවා මට
එතැන කල්පයක් කොට එතප්පරය මත
නරක දෑ කෝටියක් කොට එකල්පය තුල 
නික්ම ඉගිලී ඇත - රුදු සිලා සිළුව නුඹ
නැවත මා දෙනෙතු හැර බලන කල

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 ඔක්තෝබර් 02

2014/09/26

රිදුම


අහම්බය නමැති එක කල්පයක
ඇබිති හැඩ ගත් සිනිඳු තප්පරෙක
ලියා තිබුණා නොවෙද පිය සොඳුර
අඹ මලක් පිපෙන විට
එහි රේණු සැලෙන විට
නුඹේ ඔය නිල් දිගැස
මගේ ඇහේ වදින ලෙස

ප්‍රේමයෙහි සුරංගන අද මෙලෙස
මගේ හිස සිඹින මුත් බැති සිතින
ඉනුවෙ කඳුලැළි නොවෙද පිය සොඳුර
එදා ඇස් ගැටි මොහොත
පටන් සැදි රිදුමකට
ගොදුරු වුණි මගේ හද
කිසි දිනෙක සුව නොවන

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 සැප්තැම්බර් 25

2014/09/10

එන්න මගෙ එල්ලෙන්න


පරදවා දළ රළ සයුර
සොයාගත් පොඩි දූපතක
උසම තැන සෙවූ මම
කරවීමි මාළිගාවක්
හැකි ලෙසින්
මතකයේ වලාකුල් මත
වාඩි වී සිටි දිළිඳු වූ දැරියට

ඇය ද එය නොදැන
ලොව ද එය නොදැන
දූපතට පමණක් අයිති වූ කාලයෙන්
කල්පයක් ගත වුව ද
නොවුනි එක පලුද්දක්
මාළිගා බිත්ති මත

කල්පයේ හැම කැබැල්ලක් තුල
හෑරුවෙමි...
ගල් බොරළු වැදී තුවාල වන
ඇඟිලි තුඩගින් වැගිරුණු
රුධිරයෙන් පොඟවමින් හිමිහිට
කාෂ්ඨක මහ පොළව

ගැඹුරු පතුලෙන් අතට ගත්තෙමි
දුටු සෙනඟ ඇස් අන්ධ කරවන
ලොවෙන් සැඟවුණු අරුම මිණි කැට
ලොවට නවමු වු අරුම අබරණ

මට කුමකට ද මේ වස්තුව
අමිල වූ වස්තුවක්
මගෙ හිතේ සිටි කල
අබරණ පැළඳුවෙමි ඇගෙ කර
දිළිඳු බව ඇගෙ ගියෙ ද කොයි අත?

ඉතින් දැන් ඈ කුමරියකි
මාළිගාවක වෙසෙන
නොමැත්තක් නොමැති
හරි පුංචි දූපතක

කුමරි මෝරද්දි තව තව
දූපත මදි ය ඇගෙ හිතට
ලෝකටම දැක බලා ගන්නට
තමයි ඇගෙ හිත නැගුණු අදහස...

ඉතින් ඈ විටින් විට
මුහුදු, සමුදුරු උඩින්
චාරිකා කරවීය දස දිග
මාලිගාවෙහි සිටින
කාලෙ අඩු විය ටිකෙන් ටික

ගමන් වියදමට ඇගෙ
කර පැළඳි රන් මාල
විකිණුවෙද උකස් කලෙද
මම නොදන්නා දෙයකි තව

ටිකෙන් ටික ඇය
"දිළිඳු වූ කුමරියක්" වන බව
හිත හිතා සිටි හවස් යාමෙක
මාළිගාවෙහි බිත්තියක කොණ
පිපිරි ගිය සළකුණක් දැක
කඳුළු පොඩ්ඩක් ඇඟිල්ලට ගෙන
බිත්තියේ මේ කවිය ලියනෙමි
කාටවත් නොපෙනෙනා බව දැන

කවිය ලියූ අවසන
මාලිගාවෙහි බාල්කයක්
හුරතලෙන් මට අඬගසයි
"එන්න මගෙ එල්ලෙන්න"

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 සැප්තැම්බර් 10

2014/09/07

ආදරය






සියලු දෙවියන් දණින් සිටුවනා ඇති බලය
සැවොම නොහඳුණන සිව් අකුරකින් සැදි පදය
විශ්වයේ ගීතයට අත්වැලෙහි ගායනය
කිසිදු පැනයක් නොමැති පිළිතුරයි ආදරය

මහ ගසක් විහිදනා ලෙසින් අතු හැම අතට
ආදරය මහ ගසකි නොයෙක අතු ඇති වටට
මව් සෙනේ පිය සෙනේ තව සෙනේ අතු මැදට
මහ බරැති අතු පෙලක් වෙන්ව ඇත නුඹෙ හිතට

අනිත බව ගැන කවුරු දෙඩූව ද වැදි බණෙක
සිදුහත් ද බුදු වුණේ සෙනෙහෙ විඳ එක ළඳෙක
විරූපිව සැමට පිළිකුල් වුවත් නුඹ දිනෙක
සිඹිමි අදටත් වඩා එදවසට මගෙ මැණික

ආගමක් නොවූ මට ආදරය අදහන්ට
ආගමක් මවා දුන් ආදරිය, දැනගන්ට
මරණයත් ජීවයත් එක ලෙසින් විඳගන්ට
ආලයක් වේ අපට ලෝකයක් පරදන්ට

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 සැප්තැම්බර් 7

නරියෙක්ට කවියක්


නරියෙකු ඇවිත්, කවි ලියනා මුහුණු පොතේ
බැටළුවෙකුයැයි හඟවන්නට වෙහෙස වෙතේ
ලියන කියන වැලපෙන දෑ වැදී නෙතේ
ලිඟුවක් ඇති ද නරියට - මට සැකේ සිතේ

පඳුරක් ගාණෙ කවි විසිවෙන ලොවක් වට
කෙදිනක නොවුණි තෝ නම් හරි පොරක් මට
නරියා දකින හැම විට මව මතක් කොට
ෆක් යූ කියමි මැදගිල්ලක් උලුක් කොට

කොපමණ විරිය කෙරුවත්‍ බැහැ හැකි වෙන්න
මගෙ අත නෙලූ මල වෙත විත් රොන් ගන්න
එහෙමැති ලොවක නරි නැටුමන් දැක ඔන්න
කය ඇති සියලු දොරවල් හිනැහෙති මෙන්න


සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 සැප්තැම්බර් 7


2014/09/03

අතථ්‍ය කඳුළු












ලෝකයේ අනෙක් පස
චිත්‍රාගාර තුල මැවෙන
අතථ්‍ය සිහින මත දුවන
නළු සුද්දන් මල විට ගලන
මුහුණු පොත බිතු තෙමන

අංකිත කඳුළු කැට කොහි ද?
අංකිත සොටු දියර හිඟ ද?

පුංචිම රටක තැනක
දහඩිය තුලින් ඉපිද
වේදිකා මතින් නැගිට
පාදම තැනි තථ්‍ය මිනිසුන්
කලා පස පොහොර කර මල විට

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 සැප්තැම්බර් 03

Bandula withanage, ඉන්දුල විතානගේ sinhala Poems සිංහල කවි

2014/08/23

කාලය


දැක ඇති ද සුමිතුර
කාලයේ පැහැය
කාලයේ හැඩය

අල්ලා ඇති ද සුමිතුර
කාලයේ දිග පළල
කාලයේ බර, ගැඹුර

නොවේ සැබෑ ලොව කිසිවිට
අතීතය වර්තමානය හෝ
අනාගතය

හඬන හිනැහෙන
සෙලවෙන මතක
විඳින විඳවන
හැඟුමන් සමඟ
රැයේ නොනිදන
පැතුමන් වලට
තනි නමක්
දී තිබේ කාලය

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 අගෝස්තු 23
Painting - Salvador Dali

2014/08/10

උඹේ හිතේ මගේ සුවඳ - වගා කෙරුව මං


අතීතයේ මතක රැගෙන
නොහුරු අතේ ගුලි කරගෙන
උඹේ දිහා බලං ඉන්න
උඹට වඩා උඹෙ හදවත
හඳුනා ඇති මං
උඹට වඩා උඹෙ කවි පද
කියවා ඇති මං

උඹේ අතින් කඩදහි මත
අතීතයේ ලියා තැබුණු
කවි පද ගෙන පරිස්සමට
අද දවසේ උඹ ලියනා
කවි පද හා ගලපාලා
වෙනස හොයන මං
මා දකිනා වෙනස දිහා
බලං ඉන්න මං

ලෝකය මැද හුදෙකලාව
සමඟ වෙසෙන මගේ හිතග
තියුණු බවින් උඹේ හිතේ
තිබුණ හැඩේ වෙනස් කෙරුව
හපන්කාර මං
උඹේ හිතේ මගේ සුවඳ
වගා කෙරුව මං

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 අගෝස්තු 10
Picture - Eli Craven

2014/08/08

ප්‍රේමය යනු සිරගෙයයි

Created with Adobe Photoshop CS6
THE SAHAN © 2014

ප්‍රේමය යනු නිදහසයි කියන දේ කවදාවත් මම විශ්වාස කරන්නෑ! මම විශ්වාස කරන සැබෑ ප්‍රේමයක් තුල අනිවාර්යෙන් සිරගෙයක් තිබිය යුතුමයි! ඒ සිරගෙය ඇතැම් විට හැරෙන්නවත් බැරි අඟල් ගණනක වපසරියක් සහිත වූවක් විය හැකියි. ඇතැම් විට රටක් ලෝකයක් තරම් විශාල විය හැකියි. ඒ වගේම, පෙම් කරන දෙදෙනා ජීවත් විය යුත්තේ සිරගෙවල් දෙකක් තුල නොවෙයි. එකම සිරගෙයක් තුලයි. ඒ වගේම, වැදගත්ම කාරණාව වන්නේ, මොන මොන වේදනා කරදර මැද වුවත්, දෙදෙනාම සිරගෙයට ආදරය කිරීමයි. සිරගෙයි සිරවීමට ආසා කිරීමයි.

ප්‍රේමය යනු නිදහසයි කියනා සංකල්පය ක්‍රියාත්මක වන ප්‍රේමාවකාශයකට වැඩි පැවැත්මක් තිබේවියි කියලා මං හිතන්නෑ. එතකොට ඒක නිකං හිපි ප්‍රේමයක් වේවි. ලිංගිකත්වයට පමණක් නොවෙයි මිනිස් ජීවිත වටා කරකැවෙන සෑම දෙයකමටම ප්‍රේමයේදී සීමාවක්, සිරගෙයක් තිබිය යුතුයි. මා මෙයින් අදහස් කරන්නේ අනිකාව හිර කිරීමෙන්, සීමා නීති පැනවීමෙන් ප්‍රේම කල යුතුමයි කියලා නොවෙයි. සිරගත විය යුත්තේ දෙදෙනා එකටමයි. ස්වකැමැත්තෙන්මයි. සිරගෙයෙහි වපසරිය තීරණය කර, එය තනන්නෙත් දෙදෙනාමයි. එය එකිනෙකාට රිදවීම අරමුණු කොට නොව, එකිනෙකාගේ යහපත සඳහායි.

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 අගෝස්තු 08
Picture - THE SAHAN

2014/08/06

ඛේදය මඟහැරි ප්‍රේමය








ඛේදයේ පෙරවදන අබියස
ප්‍රේමයේ දිය බඳුන ඉහිරුණි
අකුරු බොඳ වී මැකී ගොස් එහි
ස්නේහයේ නෙක රටා දිස් වුණි

කඳුළු වරුසා හලනු රිසියෙන්
සිටි වළාකුල් සැණින් සැඟවුණි
සොබා ලොව සිත උමතු ගන්වන
සුවඳ විහිදා මලින් හැඩ වුණි

තෙමුණු දෙනයන සුවෙන් තදකොට
දෙතොල් අග ලුණු කඳුළු රස බොමි
හසිත පෙති පිපෙනා තුරා නුඹෙ
මුලු ගතම හාදුවෙන් මණිනෙමි

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 අගෝස්තු 06

2014/07/25

නුඹයි මමයි


අතට හසුවුණු වචන අහුරක්
දමා ගැසුවේ මමයි සොඳුරිය
රිදවුණේ නුඹටත් වඩා ඉන්
මගේ හදටම තමයි සොඳුරිය

රුදුරු වෙස් ගෙන ඇහැට කඳුළක්
මවාලූ හිත මගෙයි සොඳුරිය
මවක වෙස් ගෙන හාදු මුහු කොට
ගැලූ නැළවිලි නුඹෙයි සොඳුරිය

ඇසිල්ලක් ගතවන්න නොම දී
නැමුණු දණ යුග මගෙයි සොඳුරිය
මගේ දෙදණිස නමනු හැකි වුණු
එකම හදවත නුඹෙයි සොඳුරිය 

සහන් පද්මසංඛ පීරිස්
2014.07.25

Photograph by Gilbert Sape

2014/07/22

පුපුරු















කඳු ශිඛර වනන්තර‍
පසු කරන් හමන් එන
වෛරයේ මිහිරි රස
දිය කෙරුව සුළං රොද
අදත් දෝතින්ම නුඹ
විඳගනිමි තුරුළු කොට

ශීත හිම වලාකුළ
ගැලුම් ගණනින් ගණන
වැසි හැලූමුදු බැතින
නිමෙන්නට නොරිසි හිත
දෙඇස් අතරින් ඉපිද
වැඩුණු ගිනි පුපුරකට
එළිපිටම පෙම් බඳින

වසා දෙසවන් තදින
කඩදාසියක සැඟව
පැන්සලක් උලුක් කොට
හදවතක් සිදුරු කොට
මමත් වන්නෙමි තුටින
මිනීමරුවෙකු හෙටම

සහන් පද්මසංඛ පීරිස්
2014.07.22

2014/07/06

තරුවක් දුටිමි



ලංකාවේ රියැලිටි සංගීත වැඩසටහන් ගැන මොන මොන අදහස් සහ චෝදනා තිබුණත්, ඒවාගෙන් බිහිවුණු පිරිසෙන් අතලොස්සක් දෙනා බොහොම දක්ෂයෝ. හැබැයි ඒ සැබෑ දක්ෂයෝ අතලොස්සෙනුත් ක්ෂේත්‍රය තුල ඇත්ත ගායකයෝ විදිහට කවුරු රැඳිලා ඉන්නවාද කියන එකයි සැබෑ ප්‍රශ්ණය. කවුරු මොන කතාව කිව්වත්, සිරසෙන් බිහිවුණු ශිහාන් මිහිරංග මම අදටත් කැමති ගායකයෙක්. හැම සින්දුවකටම නොවුනත්, ඔහුගේ ගීත කිහිපයකටම මම කැමතියි. ඔහු මට අනුව දක්ෂයෙක් වගේම, මම දැකපු විදිහට එදා මෙදාතුර ලාංකීය රියැලිටි ටීවී ඉතිහාසයේ, සැබෑවටම "ස්ටාර් කෙනෙක්" වුනේ ඔහුයි. ඔහුව දැක්කම හායි හූයි ගාලා කෑගැහෙන රසික පිරිසක් ඔහු එදා බිහිකරගත්තා. එයිනුත් වැඩි පිරිස වුණේ ගැහැණු පාර්ෂවය වීම නිසාම, බහුතර ලාංකීය පිරිමින් තුල ශිහාන් කෙරෙහි ඉර්ශියාවක් ද, ඒ හරහා යම් ආකාරයක වෛරයක් ද හටගත්තා. හැබැයි ඒ කාලේ පිරිමි බොහෝ පිරිසක් ශිහාන්ගේ පෙනුම ගන්න උත්සහ කරපු එකත් නොරහසක්. ඔහුගේ "ස්ටාර්භාවයට" එයම සාක්ෂි දරනවා. හැබැයි ඔහුටත් මීට වඩා යමක් කරන්න තිබුණා කියලා තමයි අන්තිමට කියන්න තියෙන්නේ. ඊලඟට, සිරසෙන්ම බිහි වුණු හිතවත් අර්ජුන අයියත් මට අනුව සැබෑ දක්ෂයෙක්! හැබැයි, ශිහාන්ටත් වඩා ස්ටාර් කෙනෙක් වෙන්න හැකියාවක් තිබූ ඔහුගෙන් ලංකාවට දැනෙන්න තරම් යමක් එලියට ආවද කියන එකත් ප්‍රශ්ණයක්. අනාගතයේදී වත් අර්ජුන රූකාන්ත කියන ස්ටාර්, ලංකාව හෙල්ලෙන විදිහේ වැඩක් කරාවි කියලා මම ප්‍රාර්ථනා කරනවා! 

ඊයේ සිරස සුපර් ස්ටාර් බැලුවා. ලයිව් සිංග් කරනවා වගේ රෙකෝඩින් වලට කට හොල්ලපු ඒ කවුරුවත් ස්ටාර්ස්ලා නෙවෙයි. අද දෙරණ ඩ්‍රීම් ස්ටාර් බැලුවා. සිරසට සාපේක්ෂව ඩ්‍රීම් ස්ටාර් ගොඩාක් ඉහලින් ඉන්න බව මට දැනෙනවා. එහි නිවේදකයා හැරුණු කොට හැම අතින්ම. තරඟකාරයෝ සහ විනිසුරු මඩුල්ලත් ඇතුලත්ව. දිනපතා නොබැලුවත් ඉඳහිට අහම්බෙන් දැක්ක තැන් වලින් මට දැනෙන්නේ එහෙමයි. ඒ වගේම එදා මෙදා තුර රියැලිටි ටීවී ඉතිහාසයේදි මගේ හිත අතිශයින් ඇද බැඳගත්තු ගායකයා මම දැක්කෙත් මේ පාර දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකෙන්. ඔහු හඬින් ද පෙණුමෙන් ද Nickelback සංගීත කණ්ඩායමේ Chad Kroegerව සිහිපත් කලා. ඒ තමයි මහනුවරින් බිහිවුණු හර්ෂ ධනෝෂ්. මම මෙතෙක් දැක්ක හොඳම රියැලිටි තරඟකරුවා. රොක් ස්ටාර් කෙනෙක් වෙනවා නම් එයට සුදුසුම කෙනෙක්. හැබැයි ඔහුගේ ශෛලිය වැළඳගැනීමට වර්ථමාන ලංකාව තවම සූදානම් කියලා මම හිතන්නේ නැහැ. අවසන් තිදෙනා අතරට පැමිණිය යුතු ඔහු කලින්ම ඉවත් වීම සිදු වීමට එයත් හේතුවක්. රසික පිරිස වැඩි කරගැනීම සහ මුදල ගැන නොසිතා, තමන්ගේම අනන්‍යතාවය හරහා ඔහු මේ පෙන්නපු දේ වෙනස් නොකර ඉදිරියට රැගෙන ගියහොත්, ඔහුට අනාගතයේදී සැබෑ "පොරක්" වීමේ හැකියාව තියෙනවා. මොකද, ලංකාව තුල රොක් අහන, මෙටල් අහන රසික පිරිසක් මෙන්ම රොක්/මෙටල් ගායකයින් පිරිසක් බිහිවෙමින් පවතින්නේ ද දැනුයි!

සහන් පද්මසංඛ පීරිස් 
THЕ SAHAN ©
2014.07.06

Harsha Dhanosh, Derana Dream Star, Shihan Mihiranga, Arjuna Rookantha, Sahan, Sirasa Super Star

2014/07/02

වැහි

බරිත ප්‍රේමෙන් අහස
නමුදු වැහි නොවැටී..
තෙමෙනු රිසියෙන් සුසැදි
අපේ හිත් රිදවී..
වෙන්ව ගියමුත් දෙදෙන
වළාකුල් බර වී..
විසිරි වියනක් සදා
අප දෙසට නැමුණී..

මුණගැහී යළි වරෙක
අප යනෙන මඟ දී..
වියපත්ය සිත ගත ද
පර මලක් සදිසී..
දුබල පෙර මතක මැද
මුව වදන් ගොළු වී..
නමුදු වැහි වැටුණි - අප
එවැහි යට තෙමුනී..

සහන් පද්මසංඛ පීරිස්
(THE SAHAN)
2014 ජුලි 02
Photo by Halit Efe Polat

2014/06/30

හුළං කාලය


වෙසක් පොහොය පහුවනවාත් සමඟම හසලක - මහියංගනයට එළැඹෙන්නේ නියං සමයයි. වර්ෂාව නැවතී පතිත වන දැඩි අව්රශ්මියට පොළව වියළා දමන්නට උදව් සපයමින් පොසොන් මාසයේ ආරම්භයත් සමඟ ගස් කොළන් අඹරවාගෙන, දුහුවිලි අවුස්සාගෙන හුළං කාලය ද පැමිණෙයි. හුළං කාලය යනු මගේ මනස මටම නොතේරෙන කුමක්දෝ දුකකින් පුරවා දමන කාලයකි. අවට පරිසරයේ ක්ෂණිකව සිදුවන්නා වූ වෙනස් වීම් එයට හේතු වන්නායි මට හැඟේ. මා අතිශයින් ආශා කරන වැස්ස හිටිහැටියේ නතර වේ. ගහ කොළ මලානික වේ. අම්මාගේ මල් පැල එකතුවේ ඇතැම්වා මියැදේ. මිදුලේ ද පාර දෙපස ද තණ පත් මියැදී දුඹුරු පැහැයට හැරේ. උල්පත් සිඳී යයි. කන්දේ උල්පතකින් ජලසම්පාදනය කරන නිවාස ජල නළ පද්ධතිය මුළුමනින්ම බිඳවැටේ. නිවසේ කටයුතු සඳහා තාත්තාටත් මටත් පහළ නළ ළිඳෙන් වතුර ඇදීමට සිදු වේ. නිවසේ පිටුපස කොටසට වසා ඇති සීට් ගසාගෙන යාවි දැයි බිය වීමට සිදු වේ. රැජිනක් සේ ඇද හැළුණු රත්න ඇල්ල, විශ්වාස කරගත නොහැකි තරමට කෙට්ටු වේ. වැවට ඉහළින් සිටගන්නා බටගල, නිල් පැහැ ඇඳුම් අතැරලන්නට පටන් ගනියි. 

අවුරුදු කිහිපයකට පෙරදී හුළං කාලයේ පාසල් යාම ද එපා වන අයුරු මට මතක ය. අද කිසි විටෙක නොපීරුවත් එකල මහත් සේ සැලකිලිමත් වී පීරෑ කොණ්ඩය නිවසින් එළියට බට විගස හුළඟ විසින් අවුස්සා දමයි. එකම විසඳුම වූයේ තහනමට පිටින් වුව හොරාට හෙයාජෙල් ගෑමයි. ටැප් එක වෙත දුවා කෙතරම් මූණ සේදුව ද පලක් නැත. පාසල් බිම වැලි කුණාටුවෙන් වැසී යයි. ඇස් වලට වදින දුහුවිල්ල දැවිල්ලක් ද කැසීමක් ද ඇති කරවයි. දුහුවිල්ල ආඝ්‍රාණය කිරීම, නාසය අැවිලෙන තෙත් බවකින් පුරවා දමයි. කොණ්ඩය අස්සේ වැලි කැට රැඳේ. උදයේ පාසල් මිදුල අතුගෑම සිදු කිරීමේදී ද අප මහත් අපහසුතාවයට පත්වේ.

අපගේ උසස් පෙළ පන්ති කාමරය තිබූයේ තෙවන මහලේ වුව ද, අපට බේරීමට නොහැකි විය. පන්ති කාමරය තුළට ද වැලි කුණාටුව කඩා වදියි. සර සර හඬ නංවා පොත් පිටු මතට වැලි පතිත වේ. මෙවන් අවස්ථාවන්හී දී අප ලේන්සුවෙන් නාසය වසාගන්නා මුත්, රසායන විද්‍යා ගුරුතුමා කිසිදු අපහසුවකින් තොරව දිගින් දිගටම හඬගාන අයුරු දුහුවිලි අස්සෙන් අපට පෙනේ. "සහන්ලට සුරේෂ්ලට ඉතින් හරි ප්‍රශ්න.. දූවිල්ලද අරකද මේකද" වැන්නක් කියා අපේ අපහසුතාවය පිළිබඳ "කිණ්ඩියක්" ද දමයි. හුළං කාලයෙහි අප ලද එකම ආස්වාදය වූයේ හිටිහැටියේ හමන හුළං පහරට ගැහැණු ළමුන්ගේ ගවුම් උඩ ඉගිලීමෙන් නිරාවරණය වන දෙකකුල් නැරඹීම පමණි. ගවුමක් උඩ යන මොහොතක් පාසා, "මේ වගේ හුළං වලට මං හරී ආසයි" කියා මගේ හොඳම යහළුවා එකල පවසයි. :-)

මෙසේ, මා කැමති බොහෝ දෑ අවලස්සන කරනා හුළං කාලය මා හට අප්‍රියජනක වීමට තවත් කාරණා කිහිපයක් ප්‍රබලව හේතු වන්නේයි මට හැඟේ. මගේ ප්‍රථම සහ එකම ප්‍රේමය මා හට මුනගැසෙන්නේ පොසොන් පොහොය දිනකට පසු දිනයකදී පැවැත්වුණු බැති ගී ප්‍රසංගයකදී ය. එනම්, හුළං කාලය එළැඹීමට ඔන්න මෙන්න කියා තිබියදී ය. කිසි දා එවන් හැඟුමක් නොපුරුදු වූ මට ඈ නැවත දැකීමේ දැඩි උවමනාවක් ද ඒ සමඟම යම් දරුණු වේදනාවක් ද දැනෙන්නට වූයේ හුළං කාලයේදී ය. පසුව පොසොන් බැති ගී වැඩසටහන් හේතුවෙන් අප නැවත නැවත හමු වූයේ ද හුළං කාල වලදී ය. එකල ඇයට රහසින් පෙම්බැඳි මා ඇයව දැකීමට පොසොන් කාලය එළැඹෙන තෙක් ඇඟිලි ගැන්න නමුදු, බැති ගී වැඩසටහන් නිමා වීමත් සමඟ සිදුවන ඇගේ නික්මීමේ වියෝ දුකින් මා පෙළෙන්නට වූයේ ද හුළං කාල වලදී ය. අද ඈ මට හිමි වී ඇතත්, හුළං කාලය එළැඹීමත් සමඟම පැරණි වේදනාබර මතක තැවරූ අඳුරු බවකින් මා සිත වැසී යයි. හුළං කාලය පුරාම හාත්පස පැතිර යන එයටම ආවේණික සුවඳ ඒ අඳුරු බව තව තවත් තීව්ර කරයි. 

ඉතින්, මේ සියල්ලත් සමඟ වචනයේ පරිසමාප්තියෙන්ම හුළං කාලය මගේ හිතට මූසල කාලයකි.

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජුනි 30

2014/06/28

හවස














හිසරදයක අතවර අතර
කලකිරුමක කරදර ස්වර
හඬගායි සංවර ලෙසින්
මගේ සුමිතුරු ගිටාරය

කවුළුවෙන් අත වනා හිනැහෙන

පෙරදිගට වේගයෙන් පාවෙන
කහට තැවරූ දිගු
වලා සිතුවම් අඳින

මා බැලූ සැණ

වලා දියකර හැර
අළු පාට හිස් අහස
මවයි නපුරැති හවස

ජීවිතේටත් වඩා වේගෙක

ඉගිලෙනා ඔරලෝසු තත්පර
ඇබිත්තක් හති අරින්නටවත්
මඳක් නැවතී ගියොත් නරක ද?





සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014

2014/06/17

ඔලුවේ ගිණ්දර


පහුගිය දින කිහිපයේ රටේ සිදු වූ අනපේක්ෂිත නොවන කාලකණ්නි සිදුවීම් පෙලත් සමඟම, 90 දශකයේ මුල් අවධියේ දී ළමා කාලයේ මා නැරඹූ, මගේ ළමා මනස කම්පනය කල ඉතා පැරණි Stop-Motion කෙටි චිත්‍රපටයක් වෙත මගේ මතකය ඇදී ගියා! ජාතික රූපවාහිනියේ ස්වර්ණමය අවධියේදී විකාශනය වූ එය, ටයිටස් තොටවත්ත මහතාගේ සිංහල හඬ කැවීම නිසා, ලාංකික ළමා මනසට පමණක් නොව, වැඩිහිටි මනසට ද මනා ලෙස ආමණ්ත්‍රණය කල නිර්මාණයක් වුණා! එහි නම "ඔලුවේ ගින්දර"! ගිණි සිළුවක හැඩයට ඇඳපු, ලංකාවට සමාන රූපයක් තිරයට පැමිණීමත් සමඟ පසුබිම් කථනයකින් තමයි චිත්‍රපටය ආරම්භ වන්නේ! මට මතක විදිහට ඒ කටහඬ ප්‍රේම කීර්ති ද අල්විස් මහතාගේ! ඒ ගිණි සිළුව රටක් විදිහටයි ඔහු හඳුන්වන්නේ! ඒ රට තුල සිදු වුණු ඛේදාන්තයක් ගැනයි චිත්‍රපටය දිගහැරෙන්නේ! මම ඒ කියපු ලංකාවේ හැඩයට සමාන ගිණි සිළුවේ රූපය, ටයි මාමා විසින් චිත්‍රපටයට එකතු කරන ලද්දක්! මුල් නිර්මාණයේ එය දක්නට නැහැ!

ගිණිපෙට්ටියක කූරු ගැනයි මේ කතාව! එකම ගිණි පෙට්ටියක් ඇතුලේ ඉන්න ගිණිකූරු ටික කණ්ඩායම් දෙකකට බෙදෙනවා! ජාති දෙකකට වගේ! මේ බෙදීමට හේතුවෙන්නේ ගිණි කූරු වල හිසේ, එහෙමත් නැත්නම් වෙඩි බෙහෙත් සහිත කොටසේ පාටයි! කලු පැහැ හිසක් ඇති උන් එක පැත්තකටත්, කොල පැහැ හිසක් ඇති උන් තව පැත්තකටත් බෙදෙනවා! ඊට පස්සේ මේ ගිණිකූරු ජාති දෙක වෙන වෙනම භූමි ප්‍රදේශ දෙකක් වෙන් කරගන්නවා! මේ මායිම දෙපිරිසම විසින් හොඳින් මුර කරනු ලබනවා! හදිසියේම මායිමේ ඇතිවෙන සිළු සිද්ධියක් නිසා ගැටුමක් හටගෙන, ඒක යුද්ධයක් දක්වා දරුණු වෙනවා! එකම පෙට්ටියේ ඉඳන් එලියට ආපු ගිණිකූරු, දෙපිරිසකට බෙදිලා මරාගන්නවා! මේ යුද්ධේ කොයි තරම් දරුණුවෙනවාද කියතොත්, අවසානයේ දෙපිරිසේම ගිණිකූරු සියල්ල දැවී අළු වී යනවා!

පිබිදුණු පැරණි මතකයත් සමඟ ආයෙමත් ඒ චිත්‍රපටය නැරඹීමේ ආසාවක් ඇති වුවත්, අන්තර්ජාලය තුල එය සෙවීම ලේසි දෙයක් වුණේ නැහැ! ටයි මාමා හඬ කැවූ නිර්මාණයේ නම "ඔලුවේ ගිණ්දර" වුවත්, එහි මුල් නිර්මාණයේ නම මා දැන නොසිටීම නිසායි එය අසීරු වූයේ! එහෙත් අවසානයේ මා එය සොයාගත්තා! රුසියානු මුල් නිර්මාණයේ නම "Conflict (конфликт)". මීට සුළු වෙලාවකට කලින්, අවුරුදු ගණනාවකට පසුව එය නරඹද්දි, එකල මගේ ළමා මනසට දැණුනු මූසල කම්පනය මට වැඩි වැඩියෙන් දැනෙන්න පටංගත්තා! මේක මේ වෙලාවේ දී අතිශයින් කාලෝචිත නිසා, මිතුරු ඔබත් සමඟ බෙදා ගැනීම සුදුසු යැයි සිතනවා! විශ්වාස කරන්න! ටයි මාමා විසින් කරනු ලැබූ ප්‍රතිනිර්මාණය, මේ මුල් නිර්මාණයට වඩා දහස් ගුණයකින් ප්‍රබලයි! හොඳින් බලන්න! මේ අපේම රටේ අනාගත ඉරණම විය හැකියි!
සහන් පද්මසංඛ පීරිස් 
THЕ SAHAN © 2014

2014/06/16

එකෝමත් එක රටක්


ජාතීන් කිහිපයකට බෙදිලා මිනිස්සු ජීවත් වෙන එකමත් එක රටක් තියෙනවා! මේ රටේ මිනිස්සුන්ට කවදාවත් හොඳ කරන්න බැරි ලෙඩක් තියෙනවා! ලෙඩේ මොකද්ද කියලා මං කියන්නේ නෑ! ඔන්න ඉතින් මේ රටේ ජාතීන්ගෙන්, වැඩියෙන්ම මිනිස්සු පිරිසක් ඉන්න ජාතියට එක පාරට හැදෙනවා, අර කලින් කිව්ව, රටම පීඩා විඳින ලෙඩේ අතුරු ආබාධයක්! ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ මහා ජාතියේ ඉන්න අර හොඳ කරන්න බැරි ලෙඩේ උග්‍රම විදිහට හැදුණු පිරිස එකතු වෙලා තෝරාගන්නා ලද සුළු ජාතියකට විරුද්ධව වලියක් පටං ගන්නවා! වලියක් කිව්වට එසේ මෙසේ එකක් නෙවෙයි! අම්මලා, තාත්තලා, නංගිලා,මල්ලිලා, දුවලා, පුතාලා කියලා බලන්නේ නැතුව කපලා කොටලා ගිණි තියලා මරන තරම් ලොකු වලියක්! ඉතින් ඒ සුළු ජාතියේත් ඉන්නවානේ අර ලෙඩේ උග්‍ර වෙච්චි පිරිසක්! ඒ අයත් වැඩේ අතාරින්නේ නෑ! පුලුවන් විදිහට එයාලත් වලිය කන්ටිනියු කරනවා! ඔන්න ඔය අස්සේ, මේ වලිය දිහා බලං ඉන්නවා, කොස් ඇට බාවලා රජ වෙන්න ඉන්න සෙට් එකක්! උන් ටික එකතු වෙලා තැටිය රත් වෙච්චි වෙලාවේ රොටිය පුච්චගන්නයි ට්‍රයි කරන්නේ! අර සුළු ජාතියේ ඉන්න හොඳටම පීඩාවට පත් වෙච්ච පොරවල් ටිකක් අල්ලගෙන, උන්ගේ මොල වලට විස එන්නත් කරලා, අතට දෙනවා තුවක්කුවක්! අපිව මරං කන්න එන මහ ජාතිය හැඳිගාවලා මේ රට අපි අල්ලගමු කියලා! වලියෙන් පස්සේ උතුර දකුණ මාරු වෙලා ඉන්න අසරණයෝ ටික තුවක්කු උස්සං ගිහින් යුද්ධ කරනවා මෙලෝ හසරක් නැතුව! යුද්දෙත් ටික ටික දියුණු වෙනවා! දෙපැත්තෙම අහිංසකයෝ දහස් ගාණක් අමු අමුවේ මැරෙනවා! ඔන්න ඔහොම අවුරුදු 10ක් නෙවෙයි, 20ක් 30ක් ජයටම යුද්ධෙ යද්දි, මහා ජාතියෙන් පහල වෙන මහා රජතුමෙක් යුද්ධේ දක්ෂ විදිහට කරලා ජය ගන්නවා! ඒ කිව්වේ අර කොස් ඇට බාවන සෙට් එක සුන්නද්ධූලි කරලා දානවා! ඕං රටම ප්‍රීතිගෝසාවෙන් ඇළලී යනවා! අවුරුදු ගානක් තිස්සේ වැගිරුණු ලේ දහරා වේලෙනවා! සංසුන් රටකට ඉර පායනවා!

ටික දවසක් ගත වෙනවා! යුද්ධේ තිබුණ කාලේ සාමයට ආදරේ කරපු මහා ජාතියේ මිනිස්සු කල්පනා කරන්න පටං ගන්නවා මෙන්න මෙහෙම! "හ්ම්.. ඒ කාලේ කොයි තරම් නම් ත්‍රාසජනකද! කොයිතරම් රසවත් දේවල් අහන්න ලැබුනද යුධ පිටියේ තොරතුරු වලින්"! රටේ මිනිස්සුන්ට වස පාලුවක් දැනෙන්න ගන්නවා! සාංකාවක් දැනෙන්න ගන්නවා! අනේ ආයෙත් යුද්ධයක් ආවොත් කොයි තරම් පිනක්ද කියලා හිතෙන්න ගන්නවා! ඔන්න ඔය පස්චාත් යුධ සාංකාව සංසිඳවනු පිණිස අසමසම චරිත පහල වෙනවා! වීර වදන් රැව්පිලි රැව්දෙනවා! කොටින්ම කිව්වොත්, මහා ජාතියේ සරුවාංගෙම මයිල් කෙලිං වෙනවා ඒ ටෝක්ස් වලින්! මේ උද්වේගකර මයිල් කෙලින්වීමත් සමඟම මහා ජාතියට එක පාරට හැදෙනවා, අර කලින් කිව්ව, රටම පීඩා විඳින ලෙඩේ අතුරු ආබාධය! ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ මහා ජාතියේ ඉන්න අර හොඳ කරන්න බැරි ලෙඩේ උග්‍රම විදිහට හැදුණු පිරිස එකතු වෙලා තෝරාගන්නා ලද සුළු ජාතියකට විරුද්ධව වලියක් පටං ගන්නවා! වලියක් කිව්වට එසේ මෙසේ එකක් නෙවෙයි! අම්මලා, තාත්තලා, නංගිලා,මල්ලිලා, දුවලා, පුතාලා කියලා බලන්නේ නැතුව කපලා කොටලා ගිණි තියලා මරන තරම් ලොකු වලියක්! ඉතින් ඒ සුළු ජාතියේත් ඉන්නවානේ අර ලෙඩේ උග්‍ර වෙච්චි පිරිසක්! ඒ අයත් වැඩේ අතාරින්නේ නෑ! පුලුවන් විදිහට එයාලත් වලිය කන්ටිනියු කරනවා! ඔන්න ඔය අස්සේ, මේ වලිය දිහා බලං ඉන්නවා, කොස් ඇට බාවලා රජ වෙන්න ඉන්න සෙට් එකක්! උන් ටික එකතු වෙලා තැටිය රත් වෙච්චි වෙලාවේ රොටිය පුච්චගන්නයි ට්‍රයි කරන්නේ! අර සුළු ජාතියේ ඉන්න හොඳටම පීඩාවට පත් වෙච්ච පොරවල් ටිකක් අල්ලගෙන, උන්ගේ මොල වලට විස එන්නත් කරලා, අතට දෙනවා තුවක්කුවක්! අපිව මරං කන්න එන මහ ජාතිය හැඳිගාවලා මේ රට අපි අල්ලගමු කියලා! වලියෙන් පස්සේ උතුර දකුණ මාරු වෙලා ඉන්න අසරණයෝ ටික තුවක්කු උස්සං ගිහින් යුද්ධ කරනවා මෙලෝ හසරක් නැතුව! යුද්දෙත් ටික ටික දියුණු වෙනවා! දෙපැත්තෙම අහිංසකයෝ දහස් ගාණක් අමු අමුවේ මැරෙනවා! ඔන්න ඔහොම අවුරුදු 30ක් නෙවෙයි, 40ක් 50ක් ජයටම යුද්ධෙ යද්දි, මහා ජාතියෙන් පහල වෙන මහා රජතුමෙක් යුද්ධේ දක්ෂ විදිහට කරලා ජය ගන්නවා! ඒ කිව්වේ අර කොස් ඇට බාවන සෙට් එක සුන්නද්ධූලි කරලා දානවා! ඕං රටම ප්‍රීතිගෝසාවෙන් ඇළලී යනවා! අවුරුදු ගානක් තිස්සේ වැගිරුණු ලේ දහරා වේලෙනවා! සංසුන් රටකට ඉර පායනවා!

ටික දවසක් ගත වෙනවා! යුද්ධේ තිබුණ කාලේ සාමයට ආදරේ කරපු මහා ජාතියේ මිනිස්සු කල්පනා කරන්න පටං ගන්නවා මෙන්න මෙහෙම! "හ්ම්.. ඒ කාලේ කොයි තරම් නම් ත්‍රාසජනකද! කොයිතරම් රසවත් දේවල් අහන්න ලැබුනද යුධ පිටියේ තොරතුරු වලින්"! රටේ මිනිස්සුන්ට වස පාලුවක් දැනෙන්න ගන්නවා! සාංකාවක් දැනෙන්න ගන්නවා! අනේ ආයෙත් යුද්ධයක් ආවොත් කොයි තරම් පිනක්ද කියලා හිතෙන්න ගන්නවා! ඔන්න ඔය පස්චාත් යුධ සාංකාව සංසිඳවනු පිණිස අසමසම චරිත පහල වෙනවා! වීර වදන් රැව්පිලි රැව්දෙනවා! කොටින්ම කිව්වොත්, මහා ජාතියේ සරුවාංගෙම මයිල් කෙලිං වෙනවා ඒ ටෝක්ස් වලින්! මේ උද්වේගකර මයිල් කෙලින්වීමත් සමඟම මහා ජාතියට එක පාරට හැදෙනවා, අර කලින් කිව්ව, රටම පීඩා විඳින ලෙඩේ අතුරු ආබාධය! ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ මහා ජාතියේ ඉන්න අර හොඳ කරන්න බැරි ලෙඩේ උග්‍රම විදිහට හැදුණු පිරිස එකතු වෙලා තෝරාගන්නා ලද සුළු ජාතියකට විරුද්ධව වලියක් පටං ගන්නවා! වලියක් කිව්වට එසේ මෙසේ එකක් නෙවෙයි! අම්මලා, තාත්තලා, නංගිලා,මල්ලිලා, දුවලා, පුතාලා කියලා බලන්නේ නැතුව කපලා කොටලා ගිණි තියලා මරන තරම් ලොකු වලියක්! ඉතින් ඒ සුළු ජාතියේත් ඉන්නවානේ අර ලෙඩේ උග්‍ර වෙච්චි පිරිසක්! ඒ අයත් වැඩේ අතාරින්නේ නෑ! පුලුවන් විදිහට එයාලත් වලිය කන්ටිනියු කරනවා! ඔන්න ඔය අස්සේ, මේ වලිය දිහා බලං ඉන්නවා, කොස් ඇට බාවලා රජ වෙන්න ඉන්න සෙට් එකක්! උන් ටික එකතු වෙලා තැටිය රත් වෙච්චි වෙලාවේ රොටිය පුච්චගන්නයි ට්‍රයි කරන්නේ! අර සුළු ජාතියේ ඉන්න හොඳටම පීඩාවට පත් වෙච්ච පොරවල් ටිකක් අල්ලගෙන, උන්ගේ මොල වලට විස එන්නත් කරලා, අතට දෙනවා තුවක්කුවක්! අපිව මරං කන්න එන මහ ජාතිය හැඳිගාවලා මේ රට අපි අල්ලගමු කියලා! වලියෙන් පස්සේ උතුර දකුණ මාරු වෙලා ඉන්න අසරණයෝ ටික තුවක්කු උස්සං ගිහින් යුද්ධ කරනවා මෙලෝ හසරක් නැතුව! යුද්දෙත් ටික ටික දියුණු වෙනවා! දෙපැත්තෙම අහිංසකයෝ දහස් ගාණක් අමු අමුවේ මැරෙනවා! ඔන්න ඔහොම අවුරුදු 50ක් නෙවෙයි, 60ක් 70ක් ජයටම යුද්ධෙ යද්දි, මහා ජාතියෙන් පහල වෙන මහා රජතුමෙක් යුද්ධේ දක්ෂ විදිහට කරලා ජය ගන්නවා! ඒ කිව්වේ අර කොස් ඇට බාවන සෙට් එක සුන්නද්ධූලි කරලා දානවා! ඕං රටම ප්‍රීතිගෝසාවෙන් ඇළලී යනවා! අවුරුදු ගානක් තිස්සේ වැගිරුණු ලේ දහරා වේලෙනවා! සංසුන් රටකට ඉර පායනවා!

ටික දවසක් ගත වෙනවා! යුද්ධේ තිබුණ කාලේ සාමයට ආදරේ කරපු මහා ජාතියේ මිනිස්සු කල්පනා කරන්න පටං ගන්නවා මෙන්න මෙහෙම! "හ්ම්.. ඒ කාලේ කොයි තරම් නම් ත්‍රාසජනකද! කොයිතරම් රසවත් දේවල් අහන්න ලැබුනද යුධ පිටියේ තොරතුරු වලින්"! රටේ මිනිස්සුන්ට වස පාලුවක් දැනෙන්න ගන්නවා! සාංකාවක් දැනෙන්න ගන්නවා! අනේ ආයෙත් යුද්ධයක් ආවොත් කොයි තරම් පිනක්ද කියලා හිතෙන්න ගන්නවා! ඔන්න ඔය පස්චාත් යුධ සාංකාව සංසිඳවනු පිණිස අසමසම චරිත පහල වෙනවා! වීර වදන් රැව්පිලි රැව්දෙනවා! කොටින්ම කිව්වොත්, මහා ජාතියේ සරුවාංගෙම මයිල් කෙලිං වෙනවා ඒ ටෝක්ස් වලින්! මේ උද්වේගකර මයිල් කෙලින්වීමත් සමඟම මහා ජාතියට එක පාරට හැදෙනවා, අර කලින් කිව්ව, රටම පීඩා විඳින ලෙඩේ අතුරු ආබාධය! ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ මහා ජාතියේ ඉන්න අර හොඳ කරන්න බැරි ලෙඩේ උග්‍රම විදිහට හැදුණු පිරිස එකතු වෙලා තෝරාගන්නා ලද සුළු ජාතියකට විරුද්ධව වලියක් පටං ගන්නවා! වලියක් කිව්වට එසේ මෙසේ එකක් නෙවෙයි! අම්මලා, තාත්තලා, නංගිලා,මල්ලිලා, දුවලා, පුතාලා කියලා බලන්නේ නැතුව කපලා කොටලා ගිණි තියලා මරන තරම් ලොකු වලියක්! ඉතින් ඒ සුළු ජාතියේත් ඉන්නවානේ අර ලෙඩේ උග්‍ර වෙච්චි පිරිසක්! ඒ අයත් වැඩේ අතාරින්නේ නෑ! පුලුවන් විදිහට එයාලත් වලිය කන්ටිනියු කරනවා! ඔන්න ඔය අස්සේ, මේ වලිය දිහා බලං ඉන්නවා, කොස් ඇට බාවලා රජ වෙන්න ඉන්න සෙට් එකක්! උන් ටික එකතු වෙලා තැටිය රත් වෙච්චි වෙලාවේ රොටිය පුච්චගන්නයි ට්‍රයි කරන්නේ! අර සුළු ජාතියේ ඉන්න හොඳටම පීඩාවට පත් වෙච්ච පොරවල් ටිකක් අල්ලගෙන, උන්ගේ මොල වලට විස එන්නත් කරලා, අතට දෙනවා තුවක්කුවක්! අපිව මරං කන්න එන මහ ජාතිය හැඳිගාවලා මේ රට අපි අල්ලගමු කියලා! වලියෙන් පස්සේ උතුර දකුණ මාරු වෙලා ඉන්න අසරණයෝ ටික තුවක්කු උස්සං ගිහින් යුද්ධ කරනවා මෙලෝ හසරක් නැතුව! යුද්දෙත් ටික ටික දියුණු වෙනවා! දෙපැත්තෙම අහිංසකයෝ දහස් ගාණක් අමු අමුවේ මැරෙනවා! ඔන්න ඔහොම අවුරුදු 70ක් නෙවෙයි, 80ක් 90ක් ජයටම යුද්ධෙ යද්දි, මහා ජාතියෙන් පහල වෙන මහා රජතුමෙක් යුද්ධේ දක්ෂ විදිහට කරලා ජය ගන්නවා! ඒ කිව්වේ අර කොස් ඇට බාවන සෙට් එක සුන්නද්ධූලි කරලා දානවා! ඕං රටම ප්‍රීතිගෝසාවෙන් ඇළලී යනවා! අවුරුදු ගානක් තිස්සේ වැගිරුණු ලේ දහරා වේලෙනවා! සංසුන් රටකට ඉර පායනවා!
Cont.... >>
සහන් පද්මසංඛ පීරිස් 
THЕ SAHAN © 2014

2014/05/28

සිපුම

The Sahan , සිපුම , kalakashaya , කාලාකාශය , සහන් පද්මසංඛ පීරිස් , Sahan Padmasangkha Peiris

හොඳම වෙලාවක පියුම වගේ හිඳ
සුවඳ කැවූ වත ළඟම හොවා නෙත
කොමල පපා ගල් ගැසෙන බැලුම් ඉස
හරිම කලාවට සිපුම වුවා නුඹ

තෙමුණු තොලක් මත නිහඬ කවක් බැඳ
සකුණ තුඩක් සුමුදුවැති සුසුම් මැද
උමතු හදක් වට අරුම රටා ඇඳ
මැරුණු දිනක් පණ සපිරි කළා අද

උයන පුරා පුෂ්පිතව සිනා දෙන
නයන පිනා හිස් තුරු ද වනා එන
කනට රහස් දෙන සිහිල සමීරණ
නුඹට පරාදයි නිසැක සුරංගන
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 මැයි 26
Image - Bright Star Movie

2014/05/13

බුක්කවියෝ


එෆ් බී එයි
කවි ලියයි!

කවියෙක් වෙයි
පොතක් ගසයි!

පොත ගසා
ගොළු වෙයි!

සහන් පද්මසංඛ පීරිස් 
THЕ SAHAN © 2014

2014/04/12

සුබ අලුත් අවුරුද්දක්


ආසාවෙන් ණය වෙනා
ණය වී ෆ්‍රිජ් පුරවනා
පුරවා කා තුටු වෙනා
සිහින කලක් එළඹෙනා

තව සතියක් ගත වෙනා
දුටු සිහිනෙන් ඇහැරෙනා
ලුණුයි බතුයි දිරවනා
ණය ගෙවුමට තටමනා

සමරන සැමට,
සුබ අලුත් අවුරුද්දක්!!

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014

2014/03/29

ලියමි තුති කවි තවත්

THE SAHAN POEMS, සහන් කවිසඳත් නොම නැග එන
රැයත් තනි නොරකින
කලක් තිබුණා මෙමට
විලක් කඳුළින් මැව්ව

නමුත් නුඹ දිව ඇවිත්
සුරත් නුඹෙ දිගු කරන්
කරක් ගිලි මා රැගෙන
මැජික් බලයෙන් ගොඩට

සැණක් අසුරක කලෙක
මලක් සේ මුදු සුවඳ
කොණක් නොපෙනෙන පෙමක
සිළක් දැල්වූ නුඹම

අදත් මා අත නොහැර
තවත් ඉද්දී මෙහෙම
කවක් නොලියා කොහොම
සියක් තුතිකුරු පිරුණ












සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 මාර්තු 28

2014/03/28

කවි දහසක්

"කවි දහසක්
ලියමි නුඹ හට"
එසේ නොකියමි
මසොඳුර මම අද

ස්නේහ සේනා
පතුරවා දස දිග
ජයගත් පසුුව නුඹ
මගේ විජිතයේ හද බිම

එදින සිට නුඹ ගැන
නුඹේ මුදු පා යුවල අබියස
සුවහසක් කවි පේලි අතුරන
නුඹට යටත් පෙම් කවියා
සදාකල් මා වූ බැවිණ

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014

2014/03/21

පෙනෙන තුරු


නුඹ
මා නිවස ඉදිරිපිට
කොන්ක්‍රීට් පාර මත වඩින
තත්පර ගණනක දසුන
නරඹනු වස්

හේත්තු කර හිස
ජනෙල් පියන මත
බලා සිටිමි මම
කල්පයක කාලයක්
සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 මාර්තු 17


2014/03/07

Hoobastank - The First Of Me (The Rum Diary Music Video)


Hoobastank කියන්නේ, මම අතිශයින් ඇලුම් කරන සංගීත කන්ඩායමක්! Hoobastank ගයන The First Of Me ගීතය, ඔවුන්ගේ ගීත අතුරින් මා කැමතිම ගීතයක්!
Johnny Depp කියන්නේ මම අතිශයින් ඇලුම් කරන නළුවෙක්! Johnny Depp රඟන The Rum Diary සිනමා පටය, ඔහුගේ චිත්‍රපට අතුරින් මා කැමතිම චිත්‍රපටයක්!
ඉතින් මම කලින් කියපු ගීය අහද්දි නිරන්තරයෙන්ම මගේ මතකයට ආවේ මේ චිත්‍රපටය! ඒ වගේම චිත්‍රපටය නැවත නැවත බලද්දී නිරන්තරයෙන්ම මගේ මතකයට ආවේ මේ ගීතය!
ඉතින්, මට හිතුණා, මේ දෙක එකට කරලා බලන්න!
:D
හොඳද බලන්නකෝ!