2015/04/14

නාවනම් අවුරුදු කුමාරිය - දුක් කවක් ලියැවෙන්න තිබුණා



ගෑණු හිත් වාගේම එක එක
රාශි පැන පැන මාරු කර කර
අලුත් අහසක පහස පතනා
හිරුත් වදයක් වෙන්න තිබුණා

හුඟක් රා බිව් කුරුල්ලෙකු මෙන්
ගහක් උඩ නැග කොහෝ හොටගින්
කරන මහ කං කරච්චලයත්
දෙසවනට නෑහෙන්න තිබුණා

සැවොම රහ කර කාපු කිරිබත්
දෙවඟනක පලපුරුදු දෑතින්
අලුත් කිරි දා හැදූ මුත් මට
ගොඩක් ලුණු වැඩි වෙන්න තිබුණා

"කොහොමදැ යි අවුරුද්ද" විමසන
මිතුරු පණිවිඩ වලට එක ලෙස
"මට කොහෙද අවුරුදු මචං" යයි
හිස වනා පවසන්න තිබුණා

සැබෑ අවුරුදු කුමාරිය ලෙස
වසත් සුවඳැති දුඹුරැසිය නුඹ
නාවනම් බක් මහට පෙර - අද
දුක් කවිත් ලියැවෙන්න තිබුණා
_____________________________
සහන් පද්මසංඛ පීරිස් | THE SAHAN
2015 අප්‍රේල් 14