2011/01/05

-සමුගමී-

ප්‍රේමයේ පන්හිඳෙන් කවි වදන්                අමුණමී
රුධිරයේ තින්තයෙන් නිරතුරුව            ලියනෙමී
සිහිනයේ අළු වලින් අවකාශෙ                   පුරවමී
හැමදාම හැමරෑක පාළුවෙන්                  තනි වෙමී

නුඹ දුරක ඇදෙද්දී මා මෙතැන                  නවතිමී
දිනෙන් දින පැයෙන් පැය බිඳෙන් බිඳ        මියයමී
ආත්මය සුළඟ මත අමුණගෙන                  මම එමී
නුඹටවත් නොදැනෙන්න නළලතර         දැවටෙමී

හිතේ මතකය අතර අතරමං                   වන්නෙමී
නුඹට ඉඩ දී යමී මගෙ ලොවේ                තනි වෙමී
මා නුඹෙන් උදුරගත් සියළු දේ                 යලි දෙමී
නැවත නොහැරෙන්නෙමී මා නුඹෙන්        සමුගමී

වියෝවේ පුළිඟු මැද ජීවිතය                      හැර යමී
නුඹ උපන් භූමියේ පස අතර                    මුසු වෙමී
මතු දිනෙක නුඹ තනන නිවසෙ     ගඩොළක් වෙමී
අව් වැසිද වලකමී ආදරෙන්                        රැකගමී

-පද්මසංඛ-

2011/01/03

කුණු හිසයි, කුණු හිතයි...


මගේ හිස කුණු වෙලා..!
උඹ මගේ පපුවට වෙඩි තියලා,
මා මැරූ හින්දා....


උඹේ හිත කුණු වෙලා..!
මගේ කුණු හිස උඹේ ටැංකියේ අමුණලා,
ජය සමරන උඹට
කුණු ගඳවත් නොදැනෙන හින්දා....

-පද්මසංඛ-
2011/01/03

2011/01/02

-පලවෙනි දා-


  ඊයෙ පළවෙනිදා....
  යාළුවොත් එක්ක එකතු වෙලා....
  මහියංගනේ පන්සල් ගියා....

  නොකර වන්දනා....
  මළුවෙ මුල්ලට වෙලා....
  කයියක් ගැසූ පව හන්දා....

  එන්න බස් නැති උනා....
  ආවේ එල්ලිලා....
  අන්තිව බස් එකේ හිර වෙලා....

  වැස්සටත් අහුවෙලා....
  හොඳටෝම නෑවිලා....
  අන්තිමට ගෙ‍දරට එද්දි....
  රෑ අටත් පහුවෙලා....

-පද්මසංඛ-
2011/01/02