2012/08/16

හේතුවක්


පෙරේදත් මෙඅයුරින්
බැලු හෙයින් මිනිස් රැල
ඊයේ ද මෙඅයුරින්
බැලුවෝය මිනිස් රැල

ඊයේත් මෙඅයුරින්
බැලු හෙයින් මිනිස් රැල
අද ද මේ අයුරින්ම
බලති මේ මිනිස් රැල

අදත් මේ අයුරින්ම
බැලු හෙයින් මිනිස් රැල
හෙට ද මේ අයුරින්ම
බලනු ඇත මිනිස් රැල


2012 අගෝස්තු 16

2012/06/19

මිතුරනි




මිතුරන් වෙයි මේ සියල්ල මාගේ
කෙතරම් දිස්නය ඇති ද මොවුන්
ඔවුනතරින් තනි මොහුගේ රශ්මිය
බලන්න ඔහුගේ සිනහ කැලුම්
අරුණාලෝකය සමඟ තුටින්
උතුරන ඔහුගේ සිනහ කැලුම්

මිතුරනි, මා ප්‍රිය මිතුරනි දැන්
රහසින් මා අමතන්
සවනය යොමු කරවා මම ඉන්නම්
මිතුරනි මා අමතන්
දෙනෙතට දසුනක් නොමැතිව නුඹලා
සිරගත වී සිටි අයුරු දනිම්
අවුරුදු ගණනක් මා සිටි පරිදිම
නුඹලා ලතැවුණු අයුරු දනිම්

බලන්න මා ප්‍රිය මිතුරනි දැන්
මා යලි මගෙ නිවසට ඇවිදින්
නුඹලාගේ සිත් තුල නලියන ඔය
පොරොත්තුවේ නිම් කඩුළු සොයන්
කලකට පෙර අප සිටි පරිදෙන්
බලන්න දැන් අප, අප සමඟින්
මා හා එක් වී හෙට දවසේ දී
නොකරනු නොම වෙද නෙක මහිමන්

මිතුරනි, නිපුණැති මිතුරනි දැන්
වැළඳගනු පිණිස පසැඟිල්ලෙන්
මිතුරනි මසුරත වෙත පැමිණෙන්
උණුසුම ගනු මැන මා අත්ලෙන්
මිතුරනි දිගු සුසුමක් සමඟින්
ගුලි වනු මැන මා අත සවියෙන්

ඉසිඹුලන්න මිතුරනි මාගේ
වකුටුව සිටි අවුරුදු ගණනක්
දිගහරිනෙමි නුඹලා ආයේ
ලඟදිම දවසක ආදරයෙන්
නුඹලා වෙත අසිරිය ගෙන එන්නෙමි
සිහිනෙකවත් නොතිබුණු විලසින්

වාසනා ගුණැති මිතුරනි මාගේ
මාහැඟි රුධිරයෙ සුවඳ සොයන්
රිදී දිස්නයැති මිතුරනි මාගේ
නුඹලාගේ ගත නැඟෙයි ලෙයින්
නුඹලාගේ වත වැසෙයි ලෙයින්

අවසන හිස් බව මැකී ගොසින්
නැවතත් මා අත පිරීගොසින්




"Sweeney Todd" වේදිකා නාට්‍යයේ සහ එම වේදිකා නිර්මාණයට අනුව නිර්මාණය වුණු චිත්‍රපටයේ එන "My Friends" ගීතය ඇසුරිනි. කිසිදු වරදක් නොකල කරණවෑමියෙකු සිරගතව සිට, වසර පහලවකට පසුව පැමිණ, තම පැරණි දැළිපිහි කට්ටලය නැවත තම අතට පත් වීමෙන් පසු ඔහු විසින් ගයන ගීයකි. ඔහු මිතුරන් ලෙස ආමන්ත්‍රණය කරන්නේ ඒ දැලිපිහි වලටයි.
2012 ජුනි 18


2012/04/22

සොදුරු සිතැත්තෙකුගේ සමුගැනීම


1946 නොවැම්බර් 02 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ ප්‍ර‍දේශයේ උපත ලද ජේ. එම්. උපුල් කරුණාරත්න, විද්‍යෝදය සරසවියේ විශේෂවේදී උපාධිධාරියෙක්. ඔහු පාළි හා සංස්කෘත පිළිබද හසල දැණුමැති පුද්ගලයෙක්.

1979 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයෙකු වශයෙන් ප්‍රධාන කාර්යාලයට පත්වීමක් ලද උපුල්, 1981 දී ශ්‍රී ලංකාවේ මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවය ආරම්භ කරද්දී වැඩසටහන් නිෂ්පාදකයෙකු වශයෙන් සම්බන්ධ වුණා. පසුව සංවිධායකවරයෙකු හා පාලකවරයෙකු වශයෙන් ගුවන් විදුලි ක්ෂේත්‍රෙය් ඉදිරියට යමින් අවසානයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානගත ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානය වූ ගිරාදුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලි සේවයේ පාලක වශයෙන් 1998 වසර දක්වාම කටයුතු කලා. ඔහු ගුවන් විදුලියෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගොස් වසර 14 පමණ ගෙවුණත්, ගිරාදුරුකෝට්ටේ ශ්‍රවණ කලාපයේ අසන්නන් බොහොමයකට උපුල් තවමත් මතකයි.

උපුල් දක්ෂ නිවේදකයෙක්. නිර්මාණාත්මක වැඩසටහන් සම්පාදකවරයෙක්. ප්‍රවීණ කවියෙක් හා ගීත රචකයෙක්. කලාකාමී සහෘදයෙක්. සමන් කුඹුකගේ සංගීතවත් කරලා ටී. එම්. ජයරත්න ගායනා කරන "විහාරයෙන් එන නාමල් සුවදින් හද මල විකසිත වේ" ගීතය ලිව්වේ උපුල්. නමුත්... එතනින් එහාට ජාතික තලයේ දී ඔහුගේ ගීත භාවිත වුණා නම්, ඒ අතලොස්සක්.
රටේ සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා වගේම, උපුල්ගේ හැකියාව, දක්ෂතාව හදුනාගෙන, ඔහුගෙන් සාර්ථක ප්‍රයෝජනයක් ලබන්නට ගුවන් විදුලිය සමත් වුණේ නැහැ. උපුල් කොළඹ හිටියා නම්, රටේම ජනප්‍රිය නිවේදකයෙක්, ගීත රචකයෙක්, ප්‍රසිද්ධ කලා කරුවෙක් වෙන්න තිබුණා. සැබෑ දක්ෂයන්ට ඉඩක් නැති අපේ රටේ, උපුල්ට වුණෙත් ඒ ටිකමයි.

උපුල් අන්තිම කාලයේ දී ජීවත් වුණේ මහනුවර, කුණ්ඩසාලේ, පඩිවත්ත ප්‍ර‍දේශයේ. ඊයේ (21) උපුල් අපෙන් සදහටම සමුගත්තා. උපුල් කරුණාරත්න නම් වූ මේ සුවිශේෂී කලාකරුවාගේ දේහය පිළිබද අවසාන කටයුතු, අද සවස මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.
2012 අප්‍රේල් 22

2012/03/31

Love is Vengeance

Adobe Photoshop මෘදුකාංගය යොදාගෙන කල නිර්මාණයකි.
විශාල කර බැලීමට පින්තූරය උඩ ක්ලික් කරන්න.

2012/02/01

පොහොට්ටුවේ


පොහොට්ටුවේ මං එනතුරු ඔතනම ඉන්න
වටින් හමන සුලන් තදයි විකසිත වෙන්න
පොහොට්ටුවට හරි වැරැද්දෙ පාර කියන්න
හිඳින්නෙ ඒ වෙනුවෙන් මං විතරයි ඔන්න

පරිස්සමේ යන ගමනෙදි හදින් බලන්න
ඉඩක් තියේ හදිස්සියේ පය පැටලෙන්න
යදම් බැඳන් හිටියත් දෑතම හිරවෙන්න
දෙන්නෙම නෑ කවදාවත් හිතින් වැටෙන්න

සඳුන් සිහින දෑසෙ ගැටෙයි ගිණිකන වෙන්න
අඳුන් තිරෙන් දෑස බැඳෙයි ලොව නොපෙනෙන්න
අතින් නුඹේ දෑත මගේ අල්ලාගන්න
මගේ දෑස හැමදාටම නුඹටයි මෙන්න

ජීවිතයම නුඹේ නමට ලියා තියන්න
නුඹට පිපිය හැකි ලොවකට නුඹව පුදන්න
හිරු තරමට රැකවරණය සෙනෙහස දෙන්න
පුලුවනි ඒ හැම දේ මට විතරයි ඔන්න

2011 ඔක්තෝම්බර් 15