2012/07/30

A Kiss


A Kiss
Composed By Sahan Padmasangkha Peiris

2012/07/28

Why This kolaveri Di (Cover)


.

2012/07/11

එකොලහ




කොලහ ගැන දන්නව ද? හ්ම්! ඇත්තටම ඒක හුඟක් අය දන්නෙ නෑ! එකමත් එක කාලෙක, මේ වගේම ජූලි එකොලොස් වෙනිදාවක් ආවා! එදා උදේ වෙන තුරුම සියුම් මල් සුවඳකින් මගේ නාස් කුහර පිරිලයි තිබුණේ! ඇස් වලට පෙනුනේ නැවුම්ම නැවුම් හිරු කිරණ විතරයි! හිත තිබුනේ හැම වෙලාවෙම නුවර වැවේ ගිණිකොන කෙලවරක තිබුණු ඉස්කෝලෙක! ඒකෙ කෙල්ලන් කොච්චර හිටියත්, හිටියේ එකම එක කුමාරිකාවක් විතරයි! ඒ තමයි කැන්ඩ්ලීනා කුමරිය! සුරංගනා ලෝකේ දන්නව ද? මනුස්ස ලෝකේ මනුස්ස වේසෙන් මාව හොයන්න ඉපදෙන්න කලින්, එයා හිටියේ අර මං කිව්ව සුරංගනා ලෝකේ තමයි! ඒ කාලේ එයාට තටු තිබුණා! ඒත්, මාව හොයාගෙන මිනිස් වෙසින් ඉපදෙද්දි, එයාට සිද්ධවුණා ඒවා අමතක කරන්න! ඒ වුණත්, එයා සම්පූර්ණ මිනිස් වේසෙන් නෙවෙයි හිටියේ! ප්‍රධානම වෙනස වුනේ මේකයි! කුමාරි හැදුනේ වයිට් ගෝල්ඩ් සහ "හොඳ" කියන අමුද්‍රව්‍ය දෙකින්!

මං මේ දොඩවන්නේ එකොලහ ගැන නෙවෙයි කියලා හිතෙනව නේද? කතාව ඔක්කොම අහන්නකෝ! මෙහෙමයි! වයිට් ගෝල්ඩ් වලින් සහ "හොඳ" වලින් හැදුනට මොකද, කැන්ඩ්ලීනා කුමාරිගේ මොලේට තිබුනේ ලස්සන රෝස පාටක්! මාව හොයාගෙන ආපු එයාගේ ගමනේ එකම පරමාර්ථය වුනේ මාව හොයාගැනීමම වුණාට, සුරංගනා කුමාරියෙකුගේ ඉඳලා මිනිස් කුමාරියක් බවට පත් වුණු රූපාන්තරනයේදී, එයාගේ රෝස මොලේට ඉදිකටු සීයක් විතර ඇණුනා! ඒවා ඇන්නේ කවුද කියලා නිශ්චිත අදහසක් මට නෑ! කොහොම උනත් එක ජූනියක මුල එයා අහම්බෙන් මාව දැක්කා! ඊට හය අවුරුද්දකට විතර පස්සේ එලඹිච්ච ජනවාරියක එයා මාව හොයා ගත්තා! එතකොට  එකොලහ?

මං කිව්වෙ? එයාගෙ තටු දෙක හැලිලයි තිබුනේ! ඒ වුණාට පුදුමාකාරම කාරණය මොකද්ද දන්නවද? මිනිස් කොල්ලෙක් වෙච්චි මගේ පිටේ ලොකු තටු දෙකක් වැවෙමින් තිබුණා! මං පස්සේ  කාලෙක තමයි දැනගත්තේ ඒ ඇයි කියලා! ඒක වෙනනම කතාවක්! මට මතක විදිහට මං දවසක් ඒ කතාව යාන්තමට කිව්වා! ආයෙමත් කියන්න බෑ ඉතින්! කතා ගොඩක් එක පාර කිව්වම එපා වෙන්න පුලුවන්නේ! ඒක හින්දා ඒක ආයෙම නොකියා ඉන්නම්‍! හරි! කුමාරිට තටු තිබුණේ නැහැ! ඒ වුණත් එයා පියාඔන්න හැදුවා! ඇත්තටම එයා එහෙම කලේ මං හින්දයි! මමයි එයාට කිව්වේ මගෙත් එක්ක ඉගිල්ලිලා යමු කියලා! පවු! ඒ දවස්වල එයා පියාඹන්න ගත්තු උත්සාහය ගැන දන්නේ මං විතරයි! කොච්චර දැඟලුවත් එයාගේ තටු දෙක ආපහු වැඩුනෙ නෑ! තටු නැතුව වුනත් එයා පියාඹන්න උත්සහ කලා දිගටම!

වැඩේ ඔන්න ඔහොම යද්දි තමයි අර මූසල එකොලොස්වෙනිදාව ආවෙ! වෙනදා වගේම එදාත් කුමාරි පියාඹන්න උත්සහ දරමින් හිටියා! ඒත්... පියාඹන්න දරන උත්සාහයේ පීඩනය, එයාගේ රෝස පාට මො‍ලයට තව දුරටත් දරාගන්න බැරිවුණා! එක පාරටම එයාගේ මොලේට වැදිලා තිබුණු ඉදිකටු වලින් කොටසක් ගැලවිලා හතර අතට විසිවෙන්න ගත්තා! මං හිතුවෙ නෑ ඒකෙන් ලොකු හානියක් වෙයි කියලා! ඒ වුණත්, වෙච්චි දේ ගැන මට හිතාගන්නවත් බැරි වුණා! ඉදිකටුවක් විසිවෙලා ගිහින් අහසේ දිලි දිලි තිබ්බ ඉරේ ඇනුණා! එච්චරමයි! ඉර එක පාරට නිවිලා ගියා! මං බය වුණා හුඟක්! ලෝකෙම පට්ට අඳුරෙ ගිලුණා! මට මොකුත්ම පෙණුනේ නෑ! මාසයක් දෙකක් තුනක් යද්දී මං තේරුම් ගත්තා ඇත්තටම වෙලා ති‍යෙන දෙය, මං හිතාගෙන හිතපු දෙයට වඩා ගොඩක් වෙනස් බව! එදා ඉදිකටු ප්‍රහාරයෙන් ඉරට කිසිම දෙයක් වෙලා තිබුනේ නෑ! ඉතින් හිතාගන්න පුලුවන්ද මට මොකුත් නොපෙනුනේ ඇයි කියලා? ඒ ඉදිකටු වැදිලා තිබුනේ මගෙ ඇස් දෙකට! මම අන්ධ වෙලා!

මං අන්ධ වුණා කියලා දැනගත්තු වෙලේ මගෙ හිතට දැණුන වේදනාව  කියලා නිම කරන්න බැරි තරම්! ඒ වෙන මොකවත් හින්දා නෙවෙයි! මට ආපහු කවදාවත් කැන්ඩ්ලීනා කුමාරිගෙ වයිට් ගොල්ඩ් මුහුණ බලාගන්න බැරි වෙන බව දැණුන හින්දා! ඒත් මට කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ! කුමාරිකාවත් හිටියේ හොඳ සෞඛ්‍යකින් නෙවෙයි!

හැබැයි ඔන්න, දෛවය මට පන්න පන්න ගැහුවෙ නෑ! තවත් මාස ගාණක් යද්දි කැන්ඩ්ලීනා කුමාරිගේ රෝස මොලේ ඉදිකටු ගැලවුණු තුවාල සිදුරු සුව වෙන්න පටන්ගත්තා! ඒත් එක්කම එයාට පියවි සිහිය ටික ටික ආවා! සම්පූර්නෙන්ම ඒ තුවාල හොඳ වෙද්දී, එයා මාව හොයාගෙන ආවා! හ්ම්! මං අන්ධ වෙලානේ ඒ වුණාට! ඒත්, අපි දෙන්නගෙම වාසනාවට සුරංගනා ලෝකෙදි එයා ලඟ තිබුණු අරුම පුදුම හැකියා වලින් කිහිපයක්, තුවාල හොඳවීමත් එක්කම ආපහු එයාගෙ ආත්මයට දැනෙන්න පටන්ගත්තා!

එයා මටත් හොරෙන් මගෙ ගාවට ඇවිත්, එකපාරටම මගෙ ඇස් දෙකේ ඇනුණු ඉදිකටු දෙක ඇදලා ගත්තා! ඒ වෙලාවෙ රිදුණා තමයි! ඒත් මට සතුටු දැණුනා, මගෙ කුමාරිගෙ අත් දෙකෙන් ඒ වේදනාව වින්ද එකට! කුමාරි ආපහු එයාගේ සිනිදුම සිනිදු අත් දෙක, මගෙ ඇස් වල තුවාල වලට තියලා තද කලා! ඉවසන්න බැරි තරම් වේදනාවක් එක්ක මං කෑගැහුවා! ඒ වේදනාව වින්ද කාලය අදටත් මං දන්නෙ නෑ! අන්තිමට එයා අත් දෙක ඉවතට ගත්තා! ඒත් එක්කම මට පෙණුනේ මගෙ කැන්ඩ්ලීනා කුමාරිගේ දිලිසෙන වයිට් ගෝල්ඩ් මුහුණ! දෙයියනේ එයා මාව සුව කරලා! එදා මාව අන්ධ බවෙන් බේරගත්තා මගේ කුමාරි!

කතාව දික් ගැස්සුනා වැඩිද මන්දා! මගේ එකොලොස්වෙනිදා ගැන කතාව කෙටියෙන් ඔන්න ඔහොමයි! ආ..! මට කියන්න බැරි වුණානේ! මගෙ ඇස් දෙක සුව වෙලා ටික කලක් යද්දී, කැන්ඩ්ලීනා කුමාරිගේ තටු දෙක මතු වුණා! බලන්න එපායැ! අද වෙන කොට එයා හරි අගේට පියාඹනවා! KCC එකට උඩින් ලස්සනම ලස්සන වයිට්ගෝල්ඩ් කුමාරියක් දිලිසි දිලිසි පියාඹන දර්ශනය ගැන හිතාගන්න පුලුවන්ද? නුවර ආපු වෙලාවක පොඩ්ඩක් බලන්න! ඔයාලටත් පෙනෙයි සමහර විට! මේ වෙද්දී රෝස මොලේ ඉදිකටු සම්පූර්ණෙන්ම වගේ අයින් වෙලා ඉවරයි! අපි දෙන්නම එකතු වෙලා ඒවා එකින් එක ගැලෙව්වා! ඒක හින්දා, ආයිමත් දවසක අර වගේ දෙයක් වෙයි කියන බය මගේ හිතේ නෑ! ඒ විශ්වාසය ලොකු සැනසීමක්! මොකද, වින්ද වේදනාව මතක් වෙද්දී තවමත් මගේ සරුවාංගෙම දිය වෙනවා වගේ දැනෙන හින්දා! ඉතින් ආයෙමත් මල් සුවඳින් නාස් කුහර පිරිලා ගිහින්! හැබැයි.. දැන් මං දකින්නේ හිරු එළිය විතරක් නෙවයි! කැන්ඩ්ලීනා කුමාරිගේ වයිට් ගෝල්ඩ් දිස්නේ තමයි මගේ ඇස් දකින මගේ ලෝකේ ලොකුම ආලෝකේ!

2012 ජූලි 11