2012/04/22

සොදුරු සිතැත්තෙකුගේ සමුගැනීම


1946 නොවැම්බර් 02 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ ප්‍ර‍දේශයේ උපත ලද ජේ. එම්. උපුල් කරුණාරත්න, විද්‍යෝදය සරසවියේ විශේෂවේදී උපාධිධාරියෙක්. ඔහු පාළි හා සංස්කෘත පිළිබද හසල දැණුමැති පුද්ගලයෙක්.

1979 දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිවේදකයෙකු වශයෙන් ප්‍රධාන කාර්යාලයට පත්වීමක් ලද උපුල්, 1981 දී ශ්‍රී ලංකාවේ මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවය ආරම්භ කරද්දී වැඩසටහන් නිෂ්පාදකයෙකු වශයෙන් සම්බන්ධ වුණා. පසුව සංවිධායකවරයෙකු හා පාලකවරයෙකු වශයෙන් ගුවන් විදුලි ක්ෂේත්‍රෙය් ඉදිරියට යමින් අවසානයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ථානගත ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානය වූ ගිරාදුරුකෝට්ටේ ප්‍රජා ගුවන් විදුලි සේවයේ පාලක වශයෙන් 1998 වසර දක්වාම කටයුතු කලා. ඔහු ගුවන් විදුලියෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගොස් වසර 14 පමණ ගෙවුණත්, ගිරාදුරුකෝට්ටේ ශ්‍රවණ කලාපයේ අසන්නන් බොහොමයකට උපුල් තවමත් මතකයි.

උපුල් දක්ෂ නිවේදකයෙක්. නිර්මාණාත්මක වැඩසටහන් සම්පාදකවරයෙක්. ප්‍රවීණ කවියෙක් හා ගීත රචකයෙක්. කලාකාමී සහෘදයෙක්. සමන් කුඹුකගේ සංගීතවත් කරලා ටී. එම්. ජයරත්න ගායනා කරන "විහාරයෙන් එන නාමල් සුවදින් හද මල විකසිත වේ" ගීතය ලිව්වේ උපුල්. නමුත්... එතනින් එහාට ජාතික තලයේ දී ඔහුගේ ගීත භාවිත වුණා නම්, ඒ අතලොස්සක්.
රටේ සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා වගේම, උපුල්ගේ හැකියාව, දක්ෂතාව හදුනාගෙන, ඔහුගෙන් සාර්ථක ප්‍රයෝජනයක් ලබන්නට ගුවන් විදුලිය සමත් වුණේ නැහැ. උපුල් කොළඹ හිටියා නම්, රටේම ජනප්‍රිය නිවේදකයෙක්, ගීත රචකයෙක්, ප්‍රසිද්ධ කලා කරුවෙක් වෙන්න තිබුණා. සැබෑ දක්ෂයන්ට ඉඩක් නැති අපේ රටේ, උපුල්ට වුණෙත් ඒ ටිකමයි.

උපුල් අන්තිම කාලයේ දී ජීවත් වුණේ මහනුවර, කුණ්ඩසාලේ, පඩිවත්ත ප්‍ර‍දේශයේ. ඊයේ (21) උපුල් අපෙන් සදහටම සමුගත්තා. උපුල් කරුණාරත්න නම් වූ මේ සුවිශේෂී කලාකරුවාගේ දේහය පිළිබද අවසාන කටයුතු, අද සවස මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණා.
2012 අප්‍රේල් 22