2011/09/07

ෆ්ලොරෙන්තිනෝ මම


වැතිරුණ ද
ගැහැණු හයසිය දෙනෙක් සමඟ..
රැකිමි මසිතෙහි
කුමර බඹසර ඔබ වෙනුවෙන්ම..

වැටෙන වැහි දිය
හදයි ඉඩ බොලෙරෝ නැටුමකට..
වාරු නැතත් ගත එයට
වැලඳගමි රැළි දෑත බදා ෆර්මීනා නුඹ..

ජීවිතේ තියෙනකල්
දැන් ඉතින් නුඹ මගෙ ය..
හද නවතන ඒ හැඟුම
අඩ සියවසක ඒ හැඟුම
ගඟ දියට යට නොවන ආලය..
ලෙඩ විය හැකි වුව ද ‍
මියැදිය නොහැකි වේ ප්‍රේමය..
සහන් පද්මසංඛ පීරිස්
THE SAHAN ©

2011/09/06

සිපිමු අපි


සදාචාරය මතම
ඉඳගන්න මහතුන්ට
මැරුණු හදවතක් වත්
හිමිකාර නොවන බව
පසක් කර හැමදාම
හිනාවෙමු අපි සොඳුර
අප දෑත මත කිසිදු
වැරැද්දක් නොවූ සඳ
තැනක් නොතැනක් කොහි ද
හාදුවක ‍පහසකට

2011 සැප්තැම්බර් 05

2011/09/02

ඈ නොපරදිනු ඇත


පොලු මුගුරු ගල් බොරළු ඇදී යන් ඈ දෙසට
පෙර දිනෙක තොප විසින් බිම හෙලූ ඈ දෙසට
ඈ නැවත නැගී සිටි වග තවම නොදුටුවෙද
ඇදී යන් ඈ දෙසට සිපගනිව් ඇගෙ සිරස

රුධිර බිඳු පිසදමා සිනාසෙයි ඈ එවිට
කඳුළු බිඳු ඇස වටා කැරකුණත් සීරුවට
දහඩියෙන් ඇඟ ඇලුණු කෙහෙරැලිත් කර පසෙක
නැගී දෙපයින් නැවත සිනාසෙයි තොප දෙසට

පැරදුමක් කිසි කලෙක හිතේ අහලක නොමැත
ගතින් මුදු මොලොක් වුව සිතින් වෙර විරිය ගෙන
රුදු වේදනා රිදුම් තුටින් විඳ දරාගෙන
නැඟී එයි ඈ නැවත දිනුම වෙත නව ලොවක
2011 අගෝස්තු 01

2011/09/01

ගියත් නුඹ මගේ සඳ


පෙර දිනෙක සරා සඳ නැඟී බැස ගිය රැයක
වැළපුණිමි පුරා නෙතු පුදා උණු කඳුළකට
ජීවිතේ කරා ආ ගිම්හාන රිදවුමක
ඇඳී ඇත නිරාමිස හැඟීමක් සීරුවට

උදා ඉර මඬළ මුදු පෙමින් රැස් පිදූවද
විඩා වෙන්නැති නුඹට මුදුන් ඉර නැඟෙන විට
බදා උර මඬළ සැතපෙන පැතුම් පැතූවද
සදාකල් නොවේ කිසිවක් පොලෝ තලය මත

ගියත් නුඹ අතරමඟ වනේ මැද නැති ඉමක්
මගේ හිත දැරූ පෙම අඩු නොවේ අංශුවක්
කුමරාන නුඹ වෙතට නොවේ කිසි ක්‍රෝදයක්
ඉතින් කොයි වෙද මෙමට ප්‍රේමයේ පැරදුමක්

2011 සැප්තැම්බර් 01

අනුරාධා මනෝහාරී පෙරේරා සොයුරියගේ කවි පෙලකට ලියූ පිළිතුරකි෴