2015/01/31

විල් තෙර ළදැරිය











උමතු බව පුරවාපූ හද විලක් තියෙනවා
ඉවුර මත ළදැරියක කවි පොතක් ලියනවා
විලට වැටි එකවි මිණි තරු ගොඩක් මවනවා
එකතු වුණ තරු රටා සිතු පෙමක් අඳිනවා

ඇයගෙ හද විල් දියර බිව් සොරෙකු හිඳිනවා
සොරුන් හට නපුරු මුත් ඔහුට ඇය බැඳෙනවා
අරුම ඇගෙ හැරුම දැක ලොවම ගල් ගැහෙනවා
සියලු දොස් අසන ඇය රැහැණ තද කරනවා

සොරු ද විල් තෙර සැඟව ඇය දෙසම බලනවා
දරණු බැරි මොහොතකදි උස් හඬින ගයනවා
ගිටාරෙක වැයුම විල් දියෙහි දිය කරනවා
කල එකම හොරකමම සතුට කර විඳිනවා

ඉඳහිටෙක විල් තලය මිහිදුමක ගිලෙනවා
ළදැරි හනිකට එවිට දැහැනකට වදිනවා
ගිණි ගලක නොවෙයි නෙතු මැද පුළිඟු හදනවා
එකම එක බැල්මකට මිහිදුමම මකනවා

කවි ලියා වෙහෙස වුණු විටෙක ඇය නිදනවා
ලඟ නැතත් සොරු සිටින සුබ සිහින දකිනවා 
සිහිනයෙම හිඳ මුහුණ සිපගන්න පතනවා
ලඟම දිනයෙක සිහින ජය ගන්න හිතනවා

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2015 ජනවාරි 31

2015/01/21

ළඳකට හැකිය මෙසියලු දෑ කරවන්න









නෙතගින් රැගෙන මුවහත‍, ගෙල සිඳලන්න
ඇඟ ලේ දුවන මුත් පස යට වලලන්න
ජීවන බඳුණෙ මරණයෙ මධු පුරවන්න
ළඳකට හැකිය මෙසියලු දෑ කරවන්න

හිරු රැස් පවා ශීතල කොට මුදවන්න
සඳ රැස් රැහැන් ගණ අඳුරෙහි බැඳලන්න
නොපෙනෙන අඟුරු හද වටකර අතුරන්න
ළඳකට හැකිය හිතකට ගිණි අවුලන්න

සුළඟක උලැති ඉදිකටු තුඩු අමුණන්න
හුස්මක දියව පෙනහලු හිර කරවන්න
යලි යලි පැමිණ මතකයෙ අළු විසුලන්න
ළඳකට හැකිය සොහොනක හිත සඟවන්න

ජීවිත පොතෙහි පිටු එකිනෙක ගලවන්න
තව එක විටෙක ඇය ලියු පිටු අලවන්න
මැකුමට නොහැකි පැහැ සිතුවම් තවරන්න 
ළඳකට හැකිය කාලය දිගු කරවන්න

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2015 ජනවාරි 21

2015/01/18

නෞකාවේ ගීතය


"අතැර දැමූ එක නෞකාවකි ඔබ"
මගේම හදවත මට කියනා
මොහොතින් මොහොතට සැඩ රළ පහරට
කෑලි කැඩී විසිරී බිඳෙනා
රුවල් ඉරී සුළඟේ ලෙලෙනා

ගිලෙනා බැව් දැන හැම ඉක්මන් කර
පිට වුණු දිනේ පටන්
මතකයෙ ඇඳි බොඳ සිතුවම් පමණකි
තනියට හිටියෙ ලඟින්

ළිහිණි හඬින් රිදවුම් අමතක කර
හැකි ලෙස ඇදෙමි වෙරෙන්
අවසන් තොටුපල ලංවනු කලියෙන්
ගිලෙනට නොරිසි බැවින්

සහන් පද්මසංඛ පීරිස්
( THE SAHAN )
2015 ජනවාරි 18

2015/01/14

නුඹම ය


විශ්වය මැවූ නුඹම ය
එහි පෙම සැදූ නුඹම ය
මා හද මැවූ නුඹම ය
තැබුවේ පෙමෙහි පතුලෙ ය

සාගර ජලෙත් නුඹෙම ය
පෙම දිය කලෙත් නුඹම ය
කඳුළක රසත් එයම ය
එහි හිමිකමත් නුඹෙම ය

සඳ රැස් නුඹේ සිනහ ය
තරු රැස් නුඹේ දෙනෙත ය
අහසම නුඹේ වසඟෙ ය
හිරු රැස් නුඹේ සෙනෙහෙ ය

සුවිසෙස් බවෙක මහිමය
මෙසියලු අරුම පෑම ය
එහැමට කරුණ නුඹම ය
නුඹ නම් සොඳුර මගෙමය

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2015 ජනවාරි 14

Picture - from here

2015/01/07

අපපූස්


පැත්ත පලාතම හොල්ලං ඉන්න දාමරික කලුපූස්ගේ ආසන්නතම ප්‍රහාරයකින්, අපපූස්ගේ වම් කම්මුලෙහි සැලකිය නොයුතු තරම් පුංචි තුවාලයක් ඇති වුනේ මීට මාස කිහිපයකට කලින්! උපතේ සිටම බාහිර පූසන්ගෙන් කෙතරම් බලපෑම් ආව ද, අපපූස් ප්‍රතිප්‍රහාරයන්ට යොමු නොවී ගුටි කෑම හෝ දුවා ගොස් සැඟවීම පමණක් සිදු කලේ අහිංසකකම නිසා ද බියගුලුකම නිසා ද කියා අපට තේරුණේ නෑ! කෙසේ වෙතත්, අපපූස්ට අතිශයින් ආදරය කල මාගේ බලතල භාවිත කරමින්, කලුපූස්ට එරෙහිව උපරිම බලය යොදා ගැනීමට මා තීරණය කලා!

ඉන්පසු, නිවසෙහි දොරකඩෙහි එක්රැස් කරන ලද ගල් කිහිපයක් නිරන්තරයෙන් දක්නට ලැබුණා! ගල් ප්‍රහාර හමුවේ ද කලුපූස්ගේ ආක්‍රමණ සැලකිය යුතු ලෙස අඩු වුණේ නැහැ. විශේෂයෙන් රාත්‍රී කාලයේ දියත් වුණු නිවෙස තුලටම විත් සිදු කෙරුණු ගරිල්ලා ප්‍රහාර නතර වූයේ නැහැ. නමුත්, කලුපූස් විරෝධී මෙහෙයුමේ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින්, එක්තරා දිනෙක දියත් කෙරුණු ගරිල්ලා ප්‍රහාරයක් අතරතුර දී කලුපූස්ට වැඩ වැරදුණා! නිවෙස තුලට පැමිණි කලුපූස්ට, නිවසින් පිටවිය නොහැකි වන ලෙස, ඌ පැමිණි ජනේලය වසා දමා ඉතා දරුණු ප්‍රහාර මාලාවකින් සංග්‍රහ කිරීමට මා සමත් වුණා! ඒ සියළු ප්‍රහාර, අපපූස් බලා සිටියේ කැබිනට්ටුව යට සැඟවීගෙනයි! ප්‍රහාරය අවසන, ගරිල්ලා සටනෙහි ඇති තම මනා හැකියාවන් භාවිත කරමින්, බොහෝ උසකින් තිබූ කව්ලුවකට නැග පලා යාමට කලුපූස්ට හැකි වූවා! එම ප්‍රහාරයෙහි ප්‍රමුඛතම ආයුධය වූ අම්මා ගේ අතුගානා කොස්ස, නැවත භාවිත කල නොහැකි පරිදි විනාශ වූ බව ද කිව යුතුයි!

එම තීරණාත්මක රාත්‍රියෙන් පසු අපපූස් හට කලුපූස්ගෙන් තිබූ කරදර සැලකිය යුතු ලෙස අඩු වුණා! අපපූස් සතුටින් ජීවත් වුණා! තමා මෙතෙක් කල් බිය වී සිටි කලුපූස් උවදුර පහවයාමත් සමඟ තමාට ලැබුණු නිදහස සහ ප්‍රාදේශික බලය, අපපූස් සති කිහිපයකින් ප්‍රදර්ශණය කර පෙන්වූවා! එහි පළමු පියවර වූයේ, මෙතෙක් තම මිතුරෙකු වූ, පෙර කල තමා මෙන්ම කලුපූස්ගෙන් බැට කෑ, එහා ගෙදර මෝඩපූස් සමඟ යුද්ධ ප්‍රකාශ කිරීමයි! උපතේ සිටම අවිහිංසකත්වය ප්‍රදර්ශණය කල අපපූස්, සති කිහිපයක් ගත වෙද්දී, සිරුරටත් වඩා නැට්ට පුම්බා ගෙරවීමටත්, මෝඩපූස් අප වත්තට ඇතුලුවන වේලාවල් බලා රැක සිට පෙරළාගෙන පහර දීමටත් පටන් ගත්තා! ලැබුණු බලයත්, නිදහසත්, අපපූස් විසින් අනිසි ලෙස භාවිත කරන බව අපට හැඟුණත්, අපපූස්ට තිබූ ආදරයක්, අපපූස් අප සමඟ පානා හුරතලයත් නිසා, අප මෝඩපූස් කෙරෙහි සංවේදී වූයේ නැහැ! "දැන් කලුපූස් නෑනේ! ඒක නිසා අපේපූස් චණ්ඩියා උනාම මොකද!" අන්න එහෙමයි අපේ කටවල් වලින් කියැවුනේ!

මෙසේ තවත් කලක් ගත වෙද්දී, තම ආරක්ෂාව ද, තමා කෙරෙහි දක්වන සැලකිල්ල ද, කලුපූස් උවදුර තිබූ සමයේ තරම් නොමැති බව, අපපූස්ට තේරුණා! එයට විකල්පයක් ලෙස, අපපූස් යොදාගත් උපාය මාර්ගය වූයේ, සුව වෙමින් තිබූ කම්මුලෙහි තුවාලය, තම පස්සා කකුලේ නියපොතු යොදාගෙන ඩිංගිත්තක් පාරාගැනීමයි! මුල් කාලයේදී අප මෙය නොදැන, නැවතත් කලුපූස්ට චෝදනා කරන්නට වූවා! කලුපූස් උවදුර නැවත හිස ඔසවන බවට වූ සිතිවිල්ල අපේ සිත් සතන් වල ඇඳී ගියා! අප නොමැති වේලාවක, කලුපූස් නැවතත් පැමිණ පහර දී කම්මුල තුවාල කරන්නට ඇතැයි අප උපකල්පනය කලා! නැවතත් අපපූස් වටා ආරක්ෂාව තර කෙරුණා! සැලකිල්ල ද වැඩි කෙරුණා! එම සැලකිල්ල සහ ආරක්ෂාව මධ්‍යයේ මෝඩපූස්ට එරෙහි ප්‍රහාර ද දිගින් දිගටම සිදු කෙරුණා!

එහෙත්, මෙවන් දැඩි ආරක්ෂාවක් යටතේ වුව, කම්මුලේ තුවාලය සුව වන බවක් පෙණුනේ නැහැ! දිනෙන් දින එය තව දුරටත් වැඩි වුණා! මිලිමීටර් කිහිපයක තුවාලයක් වූ එය, අඟල් කිහිපයක් දක්වා පැතිරුණා! එය දකිද්දී, අපපූස් කෙරෙහි අනුකම්පාව සහ සැලකිල්ල තවදුරටත් වැඩි කරවන්නත්, කලුපූස් කෙරෙහි අප සිත් තුල වූ වෛරය යලි යලිත් වැඩෙන්නටත් වූවා! නමුත්, කල් ගතවී හෝ සිදුවන දේ තේරුම් ගැනීමට අපට හැකි වුණා! පස්සා කකුල යොදාගනිමින් තුවාලය පාරාගන්නා බවත්, වේදනාව විඳගෙන හෝ, තව දුරටත් එහි වපසරිය වර්ධනය කරගැනීමට අපපූස් බලාපොරොත්තුවෙන් සිටින බවත් අපට තේරුම් ගියා! තවත් මෙය බලා සිටියහොත්, අපට නැති වෙන්නේ අපපූස්ම බවත් අපට තේරුම් ගියා! අපපූස් අහිමි වුවහොත්, එය නිවසේ සතුටට දරුණු බලපෑමක් එල්ල කරන්නක් වන බව අපට තේරුම් ගියා!

ඉතින් අපි තීරණයක් ගත්තා! එක්කෝ අපි හෙට අපපූස්ගේ නියපොතු ටික කපා දානවා! නැතහොත්, අපි, අපපූස්ව මීලඟ පූසාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කරනවා!

(සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)

සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN
2015 ජනවාරි 07