2010/11/10

ඔබ මුදවාලනු කෙලෙසද?


ඔබේ හදේ සිර වී සිටි
මා නිදහස් කරනු පිණිස
දොරගුළු හැරදැමුවා ඔබ
සඟවාගෙන කඳුළු නෙතග

මගේ හදේ සිර කර ඇති
ඔබවත් ඉන් මුදවන්නැයි
ඔබේ මුවින් කියූ වදන්
තවමත් බැහැ අදහන්නට

හද තුල සිර කරන් සිටින
එකම සොඳුරු සිරකාරිය
ඔබ මුදවාලනු කෙලෙස ද?
මා මියැදෙයි ඒ දවසට
2010


2010/07/16

හිරුට පෙම් කල මලකි මා




සළෙලු සෙනඟට මැදි වෙලා
විකල් ලෝකෙක තනි වෙලා
දිවි ගෙවූවත් සැඟවිලා
බෝ දුලබ වූ මලකි මා

සසර කතරේ රැඳීලා
ගල් කුලක් මත පිපීලා
හිරුට ප්‍රේමෙන් වෙලීලා
කඳුළ පමණක් හිමිවෙලා

කුණාටුවකට හසුවෙලා
මගේ මල් පෙති පරවෙලා
රුධිරයෙන් මා නැහැවිලා
නමුදු තවමත් මලකි මා

කෘෂව නටුවෙන් ගිලිහිලා
වියලි පොළොවට වැටීලා
සියළු මල් පෙති දිරා යන තුරු
සතුට හිමි නැති මලකි මා

-2010 ජූලි 16-


2010/06/22

කුණාටුව මැද


කුණාටුව මැද සිහින දේසෙක
අනන්තය වෙත අසුපදිමි මම
කිරුළ හිමි ඔබ අසු පිටින් ගෙන
රැගෙන යන්නෙමි මාළිගය වෙත

නේක බාධක බිඳ දමා මම
ජීවිතය ලෙස රකින්නෙමි ඔබ
පළඳවා කිරුළ අභිෂේක කොට
හාදුවක් තියා යලි හැරෙමි මම

කඳුළු වැහි මැද ගිණි කඳු හදවත
නැගෙන ගින්දර ඇසේවි ද ඔබට
අමාවක හඳ දෙස බලමි මම
පුරා ජීවිතය කවි ලියමි ඔබට

සහන් පද්මසංඛ පීරිස්
2010

2010/06/11

ඔබට පෙම් කල සොඳුරු හදවත





ඔබට පෙම් කල
සොඳුරු හදවත
අද හඬාවැටී වැලපෙනවා
සොඳුරු හදවත
ඔබට පෙම් කල
සොඳුරු හදවත

ජීවිතයේ බර අරගෙන
යන්න සිතූ කඳු මුදුනම
කඩාවැටී සිහින විසුණු වී
වැලපෙනවා සොඳුරු හදවත
ඔබට පෙම් කල
සොඳුරු හදවත

ඔබ යනෙනා හැටි බලන්න
වැව් තලාව මත පිපෙන්න
නෙළුම් මලක් වෙන්න පතාලා
වැලපෙනවා සොඳුරු හදවත
ඔබට පෙම් කල
සොඳුරු හදවත

-2010 ජූනිය-



2010/04/26

ඒ ඔබ යි


හෙලන්න මා සවන් අරා ඔබේ නැවුම් වදන්
තෙමන්න මා නුවන් ඔබේ සිළිල් නුවන් දියෙන්
සිපින්න මා කොපුල් තලා ඔබේ දෙතොල් අගින්
රැඳෙන්න මා සිතුම් පුරා වසන්තයක් ලෙසින්

නදී ගඟක් වගේ ඇවිත් සුගන්ධයක් වෙලා
මගේ තැවුම් සුසුම් හැඬුම් නිවා ඔබේ පෙමින්
එවන් පෙමක් තවත් කිසිත් ලඳක් තුලත් නොවේ
නඟේ ඔබයි කිරුළ පලන් රැජින මගේ ලොවේ

ඔබේ ගමන් ලතා සුලං රොදත් පරාජිතයි
සියුම් සිනා පුරා මහත් කසුන් රටා මවයි
මගේ කුසුම් දෙනෙත් නිවූ අමා රසේ ඔබයි
පෙමින් විරාජමාන වූ මගේ හැඟුම් නගයි

2010 අප්‍රේල් 26