2015/03/31

කැස්ස සහ වැස්ස


හදිසියෙම උගුරෙ හිරවන
පැරණි පෙම් පුවතක
සිහින් බූවකට වැළදෙන
සියක් ගව් දුරකට ඇසෙන
කැස්ස ඇය

තනිව ප්‍රතිශක්තිය හැදුමට
බෙහෙත් ගන්නැති මට
උදව්වක් වෙන්නට
හැලෙන ප්‍රතිජීවක වත්කොට
වැස්ස මැය

______________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​ 
2015 මාර්තු 31

2015/03/28

නාදුනන හිතවත



හදිස්සියෙම හදට ගොඩවැදුන
කැම්පස් කෙල්ලක් ය ලං උන
බොහෝ දෑ දෙඩූමුදු
තවත් මදියැයි හිතවන

පාඩමක් ගැන විස්තර අතරතුර
දිනක් දෙඩුවා ඈ මෙහෙම
"අයියෙ දන්නවද පසන් කොඩිකාර?
මං හරිම ආදරේ ; ඒ අපේ සර් ය
පිස්සෙකු වාගේ අමුතු වූවාට
හරි හොඳ ය ආදරෙයි අප හට"

කී නිසා ඈ තව තවත් විස්තර
සොයා බැලුවෙමි ෆේස්බුක් පිටු අතර
දුටිමි පෙර දැක තිබූ මුත් මගහැරි
ඔහුගේ පාලු කාල රේඛාව

යවා මාගේ මිතුරු ඇරයුම
සතියකට පසු දිනෙක එළඹුන
අවදිවන්නට බෝ පමාවුණ
දහවලක මට ඇගෙන් පැමිණුන
කෙටිම කෙටි පණිවිඩෙකි ගොළු වුණ

"නැතිවෙලා මගෙ සර් අයියේ"
ඇගේ ඒ කෙටි බිඳුණු වැකියෙන්
ඇසූවෙමි යලි නොතේරුණු මම
කවුද නැතිවූයේ යි කියමින්
එහෙත් ඇගෙ ප්‍රති පණිවිඩෙට පෙර
ගුණේ ලියු සැර කවි පෙලක් දැක
වැටහුණෙමි ඇගෙ වචන මා හට

මගේ රික්වෙස්ටුව ද නොම දැක
බළල් ප්‍රේමියෙකු නික්ම ගොස් ඇත

"අනේ මට නං කවි ලියනු බැහැ"
කියා හැම තිස්සේම මතුරන
තවම ඇස කඳුලකින් තෙත් කල
ඇගේ ගුරු ගෞරවැති ප්‍රේමය
වෙනුවෙනුයි නාදුනන හිතවත
කිසිවක්ම නොම දන්න නුඹ ගැන
මගේ මේ කුරුටු ගෑ ලියමන


සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN 
2015 මාර්තු 26

2015/03/25

කමක් නෑ පිටවන්න - තුටින් බොරු අදහන්න


සියුමැලිය කිය කියා කෑගසා හතර කොණ
හිතෙහි පෙත්තක් ඇඟිලි තුඩු අගට රැගෙන එය
ලෙළවමින් සැමට මතුරමින් මගෙ නපුරු කම
ලියයි ඇය මහා කවි මවා කඳුළු තින්තය

මෙතෙක් මා ලඟම හිඳ හිතට හිතවතුන් වුණ
ඇතැම් බර මිතුදම් ද මගෙන් ඈතට වන්න
තරම් හරි හුරතල් වු ඇගේ විෂ පද වැල් ය
කමක් නෑ පිටවන්න තුටින් බොරු අදහන්න

මගේ හිත නම් හදින් වට කොටයි තබා ඇති
එනිසාම කිසිවෙකුට පහසුවෙන් පෙනෙන්නැති
සැබැවින්ම හදට ලංවූ අයට දකිනු හැකි
අමුතුවෙන් පෙති කඩා පෙන්වන්න ඕන නැති

සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN
2015 මාර්තු 25

2015/03/13

ඇය - මම

Sahan සහන්


හුදෙකලා ලැහැබක
තුරු පතින් මැකීගිය පිය මගක
නිහඬැතිවු එක්තරා අහම්බෙක
මගේ ඉදිරියට හදිසියේ හමුවන
පෙර නොදුටු නොම පුරුදු
නාදුනනා ඇය

දුඹුරුවැති දෙනෙතක
සහස් දෑ සංගතවැතැයි දැක
ඇගේ රුව සැණෙක පසු කරන තැන
පලමුවැනි සිතගින්ම බදා තදකොට
"පෙම් කරමි" කියා ඇය
සිප ගන්නා මම
_____________________________
සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN 
2015 මාර්තු 09

2015/03/04

පසුවදනක්



යන්නටම ඕනෑ ය කිව් විට
යන්න නොම දී ඉන්නෙ කුමකට ?
සිලිටි මල් හිත වියරු වූ මුදු
යන්න යැයි මම කීමි ඔබ හට

හරිම බර පෙමකට යටව තිබු  
හද නහර හැම එකම නපුරුව
දන්නෙ නෑ මම තවම අදට ද
සුළුපටු ද ඒ හැදුන වියරුව

ඉතින් හදගුළු විවර කරගෙන
සිතු ලෙසින් රෑනක සරන්නට
යතුර තැබුයේ නුඹේ සුරතෙහි
හිතින් නම් හෙම නොවේ ලබැඳිය

ගියා යයි මම සිතා සිටියෙමි
නමුදු නුඹෙ පා ලකුණු දුටුවෙමි
විටෙක මා පෙර වසඟ කෙරු නුඹෙ
සුවඳ සිහිනෙක තුලින් වින්දෙමි

කලක් ගත වුව නොසිතු ලෙස ඒ
නිමිති දැක හද රුධිර වැගිරුණි
නුඹ තවම නික්මී නොමැති බව
දැනී කටු තුඩු ඇනී රිදවුණි 

වසර දහයක වැසී තිබුනෙන්
අගුළු මල කා ඇති ද තද කර ?
හරිමි! නැහැ මම කඩමි හදගුලු
දොරත් ගලවා තබමි ගෙන වෙර

යන්න දැන් වත් මගෙ හදින් තව
රිදුම් නොම දී සිනහවෙන් බර
නුඹේ සුදු මුව මඬලෙ කඳුළැලි
මැකූ හද වෙත සදා කලටම
_____________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​ 
2015 මාර්තු 04