2014/06/30

හුළං කාලය


වෙසක් පොහොය පහුවනවාත් සමඟම හසලක - මහියංගනයට එළැඹෙන්නේ නියං සමයයි. වර්ෂාව නැවතී පතිත වන දැඩි අව්රශ්මියට පොළව වියළා දමන්නට උදව් සපයමින් පොසොන් මාසයේ ආරම්භයත් සමඟ ගස් කොළන් අඹරවාගෙන, දුහුවිලි අවුස්සාගෙන හුළං කාලය ද පැමිණෙයි. හුළං කාලය යනු මගේ මනස මටම නොතේරෙන කුමක්දෝ දුකකින් පුරවා දමන කාලයකි. අවට පරිසරයේ ක්ෂණිකව සිදුවන්නා වූ වෙනස් වීම් එයට හේතු වන්නායි මට හැඟේ. මා අතිශයින් ආශා කරන වැස්ස හිටිහැටියේ නතර වේ. ගහ කොළ මලානික වේ. අම්මාගේ මල් පැල එකතුවේ ඇතැම්වා මියැදේ. මිදුලේ ද පාර දෙපස ද තණ පත් මියැදී දුඹුරු පැහැයට හැරේ. උල්පත් සිඳී යයි. කන්දේ උල්පතකින් ජලසම්පාදනය කරන නිවාස ජල නළ පද්ධතිය මුළුමනින්ම බිඳවැටේ. නිවසේ කටයුතු සඳහා තාත්තාටත් මටත් පහළ නළ ළිඳෙන් වතුර ඇදීමට සිදු වේ. නිවසේ පිටුපස කොටසට වසා ඇති සීට් ගසාගෙන යාවි දැයි බිය වීමට සිදු වේ. රැජිනක් සේ ඇද හැළුණු රත්න ඇල්ල, විශ්වාස කරගත නොහැකි තරමට කෙට්ටු වේ. වැවට ඉහළින් සිටගන්නා බටගල, නිල් පැහැ ඇඳුම් අතැරලන්නට පටන් ගනියි. 

අවුරුදු කිහිපයකට පෙරදී හුළං කාලයේ පාසල් යාම ද එපා වන අයුරු මට මතක ය. අද කිසි විටෙක නොපීරුවත් එකල මහත් සේ සැලකිලිමත් වී පීරෑ කොණ්ඩය නිවසින් එළියට බට විගස හුළඟ විසින් අවුස්සා දමයි. එකම විසඳුම වූයේ තහනමට පිටින් වුව හොරාට හෙයාජෙල් ගෑමයි. ටැප් එක වෙත දුවා කෙතරම් මූණ සේදුව ද පලක් නැත. පාසල් බිම වැලි කුණාටුවෙන් වැසී යයි. ඇස් වලට වදින දුහුවිල්ල දැවිල්ලක් ද කැසීමක් ද ඇති කරවයි. දුහුවිල්ල ආඝ්‍රාණය කිරීම, නාසය අැවිලෙන තෙත් බවකින් පුරවා දමයි. කොණ්ඩය අස්සේ වැලි කැට රැඳේ. උදයේ පාසල් මිදුල අතුගෑම සිදු කිරීමේදී ද අප මහත් අපහසුතාවයට පත්වේ.

අපගේ උසස් පෙළ පන්ති කාමරය තිබූයේ තෙවන මහලේ වුව ද, අපට බේරීමට නොහැකි විය. පන්ති කාමරය තුළට ද වැලි කුණාටුව කඩා වදියි. සර සර හඬ නංවා පොත් පිටු මතට වැලි පතිත වේ. මෙවන් අවස්ථාවන්හී දී අප ලේන්සුවෙන් නාසය වසාගන්නා මුත්, රසායන විද්‍යා ගුරුතුමා කිසිදු අපහසුවකින් තොරව දිගින් දිගටම හඬගාන අයුරු දුහුවිලි අස්සෙන් අපට පෙනේ. "සහන්ලට සුරේෂ්ලට ඉතින් හරි ප්‍රශ්න.. දූවිල්ලද අරකද මේකද" වැන්නක් කියා අපේ අපහසුතාවය පිළිබඳ "කිණ්ඩියක්" ද දමයි. හුළං කාලයෙහි අප ලද එකම ආස්වාදය වූයේ හිටිහැටියේ හමන හුළං පහරට ගැහැණු ළමුන්ගේ ගවුම් උඩ ඉගිලීමෙන් නිරාවරණය වන දෙකකුල් නැරඹීම පමණි. ගවුමක් උඩ යන මොහොතක් පාසා, "මේ වගේ හුළං වලට මං හරී ආසයි" කියා මගේ හොඳම යහළුවා එකල පවසයි. :-)

මෙසේ, මා කැමති බොහෝ දෑ අවලස්සන කරනා හුළං කාලය මා හට අප්‍රියජනක වීමට තවත් කාරණා කිහිපයක් ප්‍රබලව හේතු වන්නේයි මට හැඟේ. මගේ ප්‍රථම සහ එකම ප්‍රේමය මා හට මුනගැසෙන්නේ පොසොන් පොහොය දිනකට පසු දිනයකදී පැවැත්වුණු බැති ගී ප්‍රසංගයකදී ය. එනම්, හුළං කාලය එළැඹීමට ඔන්න මෙන්න කියා තිබියදී ය. කිසි දා එවන් හැඟුමක් නොපුරුදු වූ මට ඈ නැවත දැකීමේ දැඩි උවමනාවක් ද ඒ සමඟම යම් දරුණු වේදනාවක් ද දැනෙන්නට වූයේ හුළං කාලයේදී ය. පසුව පොසොන් බැති ගී වැඩසටහන් හේතුවෙන් අප නැවත නැවත හමු වූයේ ද හුළං කාල වලදී ය. එකල ඇයට රහසින් පෙම්බැඳි මා ඇයව දැකීමට පොසොන් කාලය එළැඹෙන තෙක් ඇඟිලි ගැන්න නමුදු, බැති ගී වැඩසටහන් නිමා වීමත් සමඟ සිදුවන ඇගේ නික්මීමේ වියෝ දුකින් මා පෙළෙන්නට වූයේ ද හුළං කාල වලදී ය. අද ඈ මට හිමි වී ඇතත්, හුළං කාලය එළැඹීමත් සමඟම පැරණි වේදනාබර මතක තැවරූ අඳුරු බවකින් මා සිත වැසී යයි. හුළං කාලය පුරාම හාත්පස පැතිර යන එයටම ආවේණික සුවඳ ඒ අඳුරු බව තව තවත් තීව්ර කරයි. 

ඉතින්, මේ සියල්ලත් සමඟ වචනයේ පරිසමාප්තියෙන්ම හුළං කාලය මගේ හිතට මූසල කාලයකි.

සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014 ජුනි 30

2014/06/28

හවස














හිසරදයක අතවර අතර
කලකිරුමක කරදර ස්වර
හඬගායි සංවර ලෙසින්
මගේ සුමිතුරු ගිටාරය

කවුළුවෙන් අත වනා හිනැහෙන

පෙරදිගට වේගයෙන් පාවෙන
කහට තැවරූ දිගු
වලා සිතුවම් අඳින

මා බැලූ සැණ

වලා දියකර හැර
අළු පාට හිස් අහස
මවයි නපුරැති හවස

ජීවිතේටත් වඩා වේගෙක

ඉගිලෙනා ඔරලෝසු තත්පර
ඇබිත්තක් හති අරින්නටවත්
මඳක් නැවතී ගියොත් නරක ද?





සහන් පද්මසංඛ පීරිස්
THЕ SAHAN © 2014

2014/06/17

ඔලුවේ ගිණ්දර


පහුගිය දින කිහිපයේ රටේ සිදු වූ අනපේක්ෂිත නොවන කාලකණ්නි සිදුවීම් පෙලත් සමඟම, 90 දශකයේ මුල් අවධියේ දී ළමා කාලයේ මා නැරඹූ, මගේ ළමා මනස කම්පනය කල ඉතා පැරණි Stop-Motion කෙටි චිත්‍රපටයක් වෙත මගේ මතකය ඇදී ගියා! ජාතික රූපවාහිනියේ ස්වර්ණමය අවධියේදී විකාශනය වූ එය, ටයිටස් තොටවත්ත මහතාගේ සිංහල හඬ කැවීම නිසා, ලාංකික ළමා මනසට පමණක් නොව, වැඩිහිටි මනසට ද මනා ලෙස ආමණ්ත්‍රණය කල නිර්මාණයක් වුණා! එහි නම "ඔලුවේ ගින්දර"! ගිණි සිළුවක හැඩයට ඇඳපු, ලංකාවට සමාන රූපයක් තිරයට පැමිණීමත් සමඟ පසුබිම් කථනයකින් තමයි චිත්‍රපටය ආරම්භ වන්නේ! මට මතක විදිහට ඒ කටහඬ ප්‍රේම කීර්ති ද අල්විස් මහතාගේ! ඒ ගිණි සිළුව රටක් විදිහටයි ඔහු හඳුන්වන්නේ! ඒ රට තුල සිදු වුණු ඛේදාන්තයක් ගැනයි චිත්‍රපටය දිගහැරෙන්නේ! මම ඒ කියපු ලංකාවේ හැඩයට සමාන ගිණි සිළුවේ රූපය, ටයි මාමා විසින් චිත්‍රපටයට එකතු කරන ලද්දක්! මුල් නිර්මාණයේ එය දක්නට නැහැ!

ගිණිපෙට්ටියක කූරු ගැනයි මේ කතාව! එකම ගිණි පෙට්ටියක් ඇතුලේ ඉන්න ගිණිකූරු ටික කණ්ඩායම් දෙකකට බෙදෙනවා! ජාති දෙකකට වගේ! මේ බෙදීමට හේතුවෙන්නේ ගිණි කූරු වල හිසේ, එහෙමත් නැත්නම් වෙඩි බෙහෙත් සහිත කොටසේ පාටයි! කලු පැහැ හිසක් ඇති උන් එක පැත්තකටත්, කොල පැහැ හිසක් ඇති උන් තව පැත්තකටත් බෙදෙනවා! ඊට පස්සේ මේ ගිණිකූරු ජාති දෙක වෙන වෙනම භූමි ප්‍රදේශ දෙකක් වෙන් කරගන්නවා! මේ මායිම දෙපිරිසම විසින් හොඳින් මුර කරනු ලබනවා! හදිසියේම මායිමේ ඇතිවෙන සිළු සිද්ධියක් නිසා ගැටුමක් හටගෙන, ඒක යුද්ධයක් දක්වා දරුණු වෙනවා! එකම පෙට්ටියේ ඉඳන් එලියට ආපු ගිණිකූරු, දෙපිරිසකට බෙදිලා මරාගන්නවා! මේ යුද්ධේ කොයි තරම් දරුණුවෙනවාද කියතොත්, අවසානයේ දෙපිරිසේම ගිණිකූරු සියල්ල දැවී අළු වී යනවා!

පිබිදුණු පැරණි මතකයත් සමඟ ආයෙමත් ඒ චිත්‍රපටය නැරඹීමේ ආසාවක් ඇති වුවත්, අන්තර්ජාලය තුල එය සෙවීම ලේසි දෙයක් වුණේ නැහැ! ටයි මාමා හඬ කැවූ නිර්මාණයේ නම "ඔලුවේ ගිණ්දර" වුවත්, එහි මුල් නිර්මාණයේ නම මා දැන නොසිටීම නිසායි එය අසීරු වූයේ! එහෙත් අවසානයේ මා එය සොයාගත්තා! රුසියානු මුල් නිර්මාණයේ නම "Conflict (конфликт)". මීට සුළු වෙලාවකට කලින්, අවුරුදු ගණනාවකට පසුව එය නරඹද්දි, එකල මගේ ළමා මනසට දැණුනු මූසල කම්පනය මට වැඩි වැඩියෙන් දැනෙන්න පටංගත්තා! මේක මේ වෙලාවේ දී අතිශයින් කාලෝචිත නිසා, මිතුරු ඔබත් සමඟ බෙදා ගැනීම සුදුසු යැයි සිතනවා! විශ්වාස කරන්න! ටයි මාමා විසින් කරනු ලැබූ ප්‍රතිනිර්මාණය, මේ මුල් නිර්මාණයට වඩා දහස් ගුණයකින් ප්‍රබලයි! හොඳින් බලන්න! මේ අපේම රටේ අනාගත ඉරණම විය හැකියි!
සහන් පද්මසංඛ පීරිස් 
THЕ SAHAN © 2014

2014/06/16

එකෝමත් එක රටක්


ජාතීන් කිහිපයකට බෙදිලා මිනිස්සු ජීවත් වෙන එකමත් එක රටක් තියෙනවා! මේ රටේ මිනිස්සුන්ට කවදාවත් හොඳ කරන්න බැරි ලෙඩක් තියෙනවා! ලෙඩේ මොකද්ද කියලා මං කියන්නේ නෑ! ඔන්න ඉතින් මේ රටේ ජාතීන්ගෙන්, වැඩියෙන්ම මිනිස්සු පිරිසක් ඉන්න ජාතියට එක පාරට හැදෙනවා, අර කලින් කිව්ව, රටම පීඩා විඳින ලෙඩේ අතුරු ආබාධයක්! ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ මහා ජාතියේ ඉන්න අර හොඳ කරන්න බැරි ලෙඩේ උග්‍රම විදිහට හැදුණු පිරිස එකතු වෙලා තෝරාගන්නා ලද සුළු ජාතියකට විරුද්ධව වලියක් පටං ගන්නවා! වලියක් කිව්වට එසේ මෙසේ එකක් නෙවෙයි! අම්මලා, තාත්තලා, නංගිලා,මල්ලිලා, දුවලා, පුතාලා කියලා බලන්නේ නැතුව කපලා කොටලා ගිණි තියලා මරන තරම් ලොකු වලියක්! ඉතින් ඒ සුළු ජාතියේත් ඉන්නවානේ අර ලෙඩේ උග්‍ර වෙච්චි පිරිසක්! ඒ අයත් වැඩේ අතාරින්නේ නෑ! පුලුවන් විදිහට එයාලත් වලිය කන්ටිනියු කරනවා! ඔන්න ඔය අස්සේ, මේ වලිය දිහා බලං ඉන්නවා, කොස් ඇට බාවලා රජ වෙන්න ඉන්න සෙට් එකක්! උන් ටික එකතු වෙලා තැටිය රත් වෙච්චි වෙලාවේ රොටිය පුච්චගන්නයි ට්‍රයි කරන්නේ! අර සුළු ජාතියේ ඉන්න හොඳටම පීඩාවට පත් වෙච්ච පොරවල් ටිකක් අල්ලගෙන, උන්ගේ මොල වලට විස එන්නත් කරලා, අතට දෙනවා තුවක්කුවක්! අපිව මරං කන්න එන මහ ජාතිය හැඳිගාවලා මේ රට අපි අල්ලගමු කියලා! වලියෙන් පස්සේ උතුර දකුණ මාරු වෙලා ඉන්න අසරණයෝ ටික තුවක්කු උස්සං ගිහින් යුද්ධ කරනවා මෙලෝ හසරක් නැතුව! යුද්දෙත් ටික ටික දියුණු වෙනවා! දෙපැත්තෙම අහිංසකයෝ දහස් ගාණක් අමු අමුවේ මැරෙනවා! ඔන්න ඔහොම අවුරුදු 10ක් නෙවෙයි, 20ක් 30ක් ජයටම යුද්ධෙ යද්දි, මහා ජාතියෙන් පහල වෙන මහා රජතුමෙක් යුද්ධේ දක්ෂ විදිහට කරලා ජය ගන්නවා! ඒ කිව්වේ අර කොස් ඇට බාවන සෙට් එක සුන්නද්ධූලි කරලා දානවා! ඕං රටම ප්‍රීතිගෝසාවෙන් ඇළලී යනවා! අවුරුදු ගානක් තිස්සේ වැගිරුණු ලේ දහරා වේලෙනවා! සංසුන් රටකට ඉර පායනවා!

ටික දවසක් ගත වෙනවා! යුද්ධේ තිබුණ කාලේ සාමයට ආදරේ කරපු මහා ජාතියේ මිනිස්සු කල්පනා කරන්න පටං ගන්නවා මෙන්න මෙහෙම! "හ්ම්.. ඒ කාලේ කොයි තරම් නම් ත්‍රාසජනකද! කොයිතරම් රසවත් දේවල් අහන්න ලැබුනද යුධ පිටියේ තොරතුරු වලින්"! රටේ මිනිස්සුන්ට වස පාලුවක් දැනෙන්න ගන්නවා! සාංකාවක් දැනෙන්න ගන්නවා! අනේ ආයෙත් යුද්ධයක් ආවොත් කොයි තරම් පිනක්ද කියලා හිතෙන්න ගන්නවා! ඔන්න ඔය පස්චාත් යුධ සාංකාව සංසිඳවනු පිණිස අසමසම චරිත පහල වෙනවා! වීර වදන් රැව්පිලි රැව්දෙනවා! කොටින්ම කිව්වොත්, මහා ජාතියේ සරුවාංගෙම මයිල් කෙලිං වෙනවා ඒ ටෝක්ස් වලින්! මේ උද්වේගකර මයිල් කෙලින්වීමත් සමඟම මහා ජාතියට එක පාරට හැදෙනවා, අර කලින් කිව්ව, රටම පීඩා විඳින ලෙඩේ අතුරු ආබාධය! ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ මහා ජාතියේ ඉන්න අර හොඳ කරන්න බැරි ලෙඩේ උග්‍රම විදිහට හැදුණු පිරිස එකතු වෙලා තෝරාගන්නා ලද සුළු ජාතියකට විරුද්ධව වලියක් පටං ගන්නවා! වලියක් කිව්වට එසේ මෙසේ එකක් නෙවෙයි! අම්මලා, තාත්තලා, නංගිලා,මල්ලිලා, දුවලා, පුතාලා කියලා බලන්නේ නැතුව කපලා කොටලා ගිණි තියලා මරන තරම් ලොකු වලියක්! ඉතින් ඒ සුළු ජාතියේත් ඉන්නවානේ අර ලෙඩේ උග්‍ර වෙච්චි පිරිසක්! ඒ අයත් වැඩේ අතාරින්නේ නෑ! පුලුවන් විදිහට එයාලත් වලිය කන්ටිනියු කරනවා! ඔන්න ඔය අස්සේ, මේ වලිය දිහා බලං ඉන්නවා, කොස් ඇට බාවලා රජ වෙන්න ඉන්න සෙට් එකක්! උන් ටික එකතු වෙලා තැටිය රත් වෙච්චි වෙලාවේ රොටිය පුච්චගන්නයි ට්‍රයි කරන්නේ! අර සුළු ජාතියේ ඉන්න හොඳටම පීඩාවට පත් වෙච්ච පොරවල් ටිකක් අල්ලගෙන, උන්ගේ මොල වලට විස එන්නත් කරලා, අතට දෙනවා තුවක්කුවක්! අපිව මරං කන්න එන මහ ජාතිය හැඳිගාවලා මේ රට අපි අල්ලගමු කියලා! වලියෙන් පස්සේ උතුර දකුණ මාරු වෙලා ඉන්න අසරණයෝ ටික තුවක්කු උස්සං ගිහින් යුද්ධ කරනවා මෙලෝ හසරක් නැතුව! යුද්දෙත් ටික ටික දියුණු වෙනවා! දෙපැත්තෙම අහිංසකයෝ දහස් ගාණක් අමු අමුවේ මැරෙනවා! ඔන්න ඔහොම අවුරුදු 30ක් නෙවෙයි, 40ක් 50ක් ජයටම යුද්ධෙ යද්දි, මහා ජාතියෙන් පහල වෙන මහා රජතුමෙක් යුද්ධේ දක්ෂ විදිහට කරලා ජය ගන්නවා! ඒ කිව්වේ අර කොස් ඇට බාවන සෙට් එක සුන්නද්ධූලි කරලා දානවා! ඕං රටම ප්‍රීතිගෝසාවෙන් ඇළලී යනවා! අවුරුදු ගානක් තිස්සේ වැගිරුණු ලේ දහරා වේලෙනවා! සංසුන් රටකට ඉර පායනවා!

ටික දවසක් ගත වෙනවා! යුද්ධේ තිබුණ කාලේ සාමයට ආදරේ කරපු මහා ජාතියේ මිනිස්සු කල්පනා කරන්න පටං ගන්නවා මෙන්න මෙහෙම! "හ්ම්.. ඒ කාලේ කොයි තරම් නම් ත්‍රාසජනකද! කොයිතරම් රසවත් දේවල් අහන්න ලැබුනද යුධ පිටියේ තොරතුරු වලින්"! රටේ මිනිස්සුන්ට වස පාලුවක් දැනෙන්න ගන්නවා! සාංකාවක් දැනෙන්න ගන්නවා! අනේ ආයෙත් යුද්ධයක් ආවොත් කොයි තරම් පිනක්ද කියලා හිතෙන්න ගන්නවා! ඔන්න ඔය පස්චාත් යුධ සාංකාව සංසිඳවනු පිණිස අසමසම චරිත පහල වෙනවා! වීර වදන් රැව්පිලි රැව්දෙනවා! කොටින්ම කිව්වොත්, මහා ජාතියේ සරුවාංගෙම මයිල් කෙලිං වෙනවා ඒ ටෝක්ස් වලින්! මේ උද්වේගකර මයිල් කෙලින්වීමත් සමඟම මහා ජාතියට එක පාරට හැදෙනවා, අර කලින් කිව්ව, රටම පීඩා විඳින ලෙඩේ අතුරු ආබාධය! ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ මහා ජාතියේ ඉන්න අර හොඳ කරන්න බැරි ලෙඩේ උග්‍රම විදිහට හැදුණු පිරිස එකතු වෙලා තෝරාගන්නා ලද සුළු ජාතියකට විරුද්ධව වලියක් පටං ගන්නවා! වලියක් කිව්වට එසේ මෙසේ එකක් නෙවෙයි! අම්මලා, තාත්තලා, නංගිලා,මල්ලිලා, දුවලා, පුතාලා කියලා බලන්නේ නැතුව කපලා කොටලා ගිණි තියලා මරන තරම් ලොකු වලියක්! ඉතින් ඒ සුළු ජාතියේත් ඉන්නවානේ අර ලෙඩේ උග්‍ර වෙච්චි පිරිසක්! ඒ අයත් වැඩේ අතාරින්නේ නෑ! පුලුවන් විදිහට එයාලත් වලිය කන්ටිනියු කරනවා! ඔන්න ඔය අස්සේ, මේ වලිය දිහා බලං ඉන්නවා, කොස් ඇට බාවලා රජ වෙන්න ඉන්න සෙට් එකක්! උන් ටික එකතු වෙලා තැටිය රත් වෙච්චි වෙලාවේ රොටිය පුච්චගන්නයි ට්‍රයි කරන්නේ! අර සුළු ජාතියේ ඉන්න හොඳටම පීඩාවට පත් වෙච්ච පොරවල් ටිකක් අල්ලගෙන, උන්ගේ මොල වලට විස එන්නත් කරලා, අතට දෙනවා තුවක්කුවක්! අපිව මරං කන්න එන මහ ජාතිය හැඳිගාවලා මේ රට අපි අල්ලගමු කියලා! වලියෙන් පස්සේ උතුර දකුණ මාරු වෙලා ඉන්න අසරණයෝ ටික තුවක්කු උස්සං ගිහින් යුද්ධ කරනවා මෙලෝ හසරක් නැතුව! යුද්දෙත් ටික ටික දියුණු වෙනවා! දෙපැත්තෙම අහිංසකයෝ දහස් ගාණක් අමු අමුවේ මැරෙනවා! ඔන්න ඔහොම අවුරුදු 50ක් නෙවෙයි, 60ක් 70ක් ජයටම යුද්ධෙ යද්දි, මහා ජාතියෙන් පහල වෙන මහා රජතුමෙක් යුද්ධේ දක්ෂ විදිහට කරලා ජය ගන්නවා! ඒ කිව්වේ අර කොස් ඇට බාවන සෙට් එක සුන්නද්ධූලි කරලා දානවා! ඕං රටම ප්‍රීතිගෝසාවෙන් ඇළලී යනවා! අවුරුදු ගානක් තිස්සේ වැගිරුණු ලේ දහරා වේලෙනවා! සංසුන් රටකට ඉර පායනවා!

ටික දවසක් ගත වෙනවා! යුද්ධේ තිබුණ කාලේ සාමයට ආදරේ කරපු මහා ජාතියේ මිනිස්සු කල්පනා කරන්න පටං ගන්නවා මෙන්න මෙහෙම! "හ්ම්.. ඒ කාලේ කොයි තරම් නම් ත්‍රාසජනකද! කොයිතරම් රසවත් දේවල් අහන්න ලැබුනද යුධ පිටියේ තොරතුරු වලින්"! රටේ මිනිස්සුන්ට වස පාලුවක් දැනෙන්න ගන්නවා! සාංකාවක් දැනෙන්න ගන්නවා! අනේ ආයෙත් යුද්ධයක් ආවොත් කොයි තරම් පිනක්ද කියලා හිතෙන්න ගන්නවා! ඔන්න ඔය පස්චාත් යුධ සාංකාව සංසිඳවනු පිණිස අසමසම චරිත පහල වෙනවා! වීර වදන් රැව්පිලි රැව්දෙනවා! කොටින්ම කිව්වොත්, මහා ජාතියේ සරුවාංගෙම මයිල් කෙලිං වෙනවා ඒ ටෝක්ස් වලින්! මේ උද්වේගකර මයිල් කෙලින්වීමත් සමඟම මහා ජාතියට එක පාරට හැදෙනවා, අර කලින් කිව්ව, රටම පීඩා විඳින ලෙඩේ අතුරු ආබාධය! ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ මහා ජාතියේ ඉන්න අර හොඳ කරන්න බැරි ලෙඩේ උග්‍රම විදිහට හැදුණු පිරිස එකතු වෙලා තෝරාගන්නා ලද සුළු ජාතියකට විරුද්ධව වලියක් පටං ගන්නවා! වලියක් කිව්වට එසේ මෙසේ එකක් නෙවෙයි! අම්මලා, තාත්තලා, නංගිලා,මල්ලිලා, දුවලා, පුතාලා කියලා බලන්නේ නැතුව කපලා කොටලා ගිණි තියලා මරන තරම් ලොකු වලියක්! ඉතින් ඒ සුළු ජාතියේත් ඉන්නවානේ අර ලෙඩේ උග්‍ර වෙච්චි පිරිසක්! ඒ අයත් වැඩේ අතාරින්නේ නෑ! පුලුවන් විදිහට එයාලත් වලිය කන්ටිනියු කරනවා! ඔන්න ඔය අස්සේ, මේ වලිය දිහා බලං ඉන්නවා, කොස් ඇට බාවලා රජ වෙන්න ඉන්න සෙට් එකක්! උන් ටික එකතු වෙලා තැටිය රත් වෙච්චි වෙලාවේ රොටිය පුච්චගන්නයි ට්‍රයි කරන්නේ! අර සුළු ජාතියේ ඉන්න හොඳටම පීඩාවට පත් වෙච්ච පොරවල් ටිකක් අල්ලගෙන, උන්ගේ මොල වලට විස එන්නත් කරලා, අතට දෙනවා තුවක්කුවක්! අපිව මරං කන්න එන මහ ජාතිය හැඳිගාවලා මේ රට අපි අල්ලගමු කියලා! වලියෙන් පස්සේ උතුර දකුණ මාරු වෙලා ඉන්න අසරණයෝ ටික තුවක්කු උස්සං ගිහින් යුද්ධ කරනවා මෙලෝ හසරක් නැතුව! යුද්දෙත් ටික ටික දියුණු වෙනවා! දෙපැත්තෙම අහිංසකයෝ දහස් ගාණක් අමු අමුවේ මැරෙනවා! ඔන්න ඔහොම අවුරුදු 70ක් නෙවෙයි, 80ක් 90ක් ජයටම යුද්ධෙ යද්දි, මහා ජාතියෙන් පහල වෙන මහා රජතුමෙක් යුද්ධේ දක්ෂ විදිහට කරලා ජය ගන්නවා! ඒ කිව්වේ අර කොස් ඇට බාවන සෙට් එක සුන්නද්ධූලි කරලා දානවා! ඕං රටම ප්‍රීතිගෝසාවෙන් ඇළලී යනවා! අවුරුදු ගානක් තිස්සේ වැගිරුණු ලේ දහරා වේලෙනවා! සංසුන් රටකට ඉර පායනවා!
Cont.... >>
සහන් පද්මසංඛ පීරිස් 
THЕ SAHAN © 2014