2011/12/12

සෙව්ම


සැපයට වැසූ පය ඇතුව‍
ඇවිද ගොස් ලොව සොඳුරු තැන් වල
විඳගතිමි හිරු එළියෙ උණුසුම
සෙව්වෙමි..
සොයනු කිමදැයි නොදැන
සෙව්වෙමි මම..

පය ගසා නග්න පතුලෙන්
ඇවිද ගොස් ලොව අඳුරු තැන් වල
විඳගතිමි මුදවාපු ශීතල
සෙව්වෙමි..
තවත් නොදැනම
කුමක් සොයමි ද..

හිසෙහි දෑ අර්ධගෝල
යා කර වැදි අකුණක
පහසින් අවදිව..
අවබෝධය කලෙමි
සොයා යා යුතු දෙය
ඔබම බව..

දිවි දෙවැනි කොට
සොයා ගියෙමි මම
නිර්භෞතික අවකාශ අතර
ඔබ..

අවසන ඔබව
සොයාගත් නමුදු මම
ඒ සැණින් මට
මා අහිමි විය..

2011 දෙසැම්බර් 12

2011/09/07

ෆ්ලොරෙන්තිනෝ මම


වැතිරුණ ද
ගැහැණු හයසිය දෙනෙක් සමඟ..
රැකිමි මසිතෙහි
කුමර බඹසර ඔබ වෙනුවෙන්ම..

වැටෙන වැහි දිය
හදයි ඉඩ බොලෙරෝ නැටුමකට..
වාරු නැතත් ගත එයට
වැලඳගමි රැළි දෑත බදා ෆර්මීනා නුඹ..

ජීවිතේ තියෙනකල්
දැන් ඉතින් නුඹ මගෙ ය..
හද නවතන ඒ හැඟුම
අඩ සියවසක ඒ හැඟුම
ගඟ දියට යට නොවන ආලය..
ලෙඩ විය හැකි වුව ද ‍
මියැදිය නොහැකි වේ ප්‍රේමය..
සහන් පද්මසංඛ පීරිස්
THE SAHAN ©

2011/09/06

සිපිමු අපි


සදාචාරය මතම
ඉඳගන්න මහතුන්ට
මැරුණු හදවතක් වත්
හිමිකාර නොවන බව
පසක් කර හැමදාම
හිනාවෙමු අපි සොඳුර
අප දෑත මත කිසිදු
වැරැද්දක් නොවූ සඳ
තැනක් නොතැනක් කොහි ද
හාදුවක ‍පහසකට

2011 සැප්තැම්බර් 05

2011/09/02

ඈ නොපරදිනු ඇත


පොලු මුගුරු ගල් බොරළු ඇදී යන් ඈ දෙසට
පෙර දිනෙක තොප විසින් බිම හෙලූ ඈ දෙසට
ඈ නැවත නැගී සිටි වග තවම නොදුටුවෙද
ඇදී යන් ඈ දෙසට සිපගනිව් ඇගෙ සිරස

රුධිර බිඳු පිසදමා සිනාසෙයි ඈ එවිට
කඳුළු බිඳු ඇස වටා කැරකුණත් සීරුවට
දහඩියෙන් ඇඟ ඇලුණු කෙහෙරැලිත් කර පසෙක
නැගී දෙපයින් නැවත සිනාසෙයි තොප දෙසට

පැරදුමක් කිසි කලෙක හිතේ අහලක නොමැත
ගතින් මුදු මොලොක් වුව සිතින් වෙර විරිය ගෙන
රුදු වේදනා රිදුම් තුටින් විඳ දරාගෙන
නැඟී එයි ඈ නැවත දිනුම වෙත නව ලොවක
2011 අගෝස්තු 01

2011/09/01

ගියත් නුඹ මගේ සඳ


පෙර දිනෙක සරා සඳ නැඟී බැස ගිය රැයක
වැළපුණිමි පුරා නෙතු පුදා උණු කඳුළකට
ජීවිතේ කරා ආ ගිම්හාන රිදවුමක
ඇඳී ඇත නිරාමිස හැඟීමක් සීරුවට

උදා ඉර මඬළ මුදු පෙමින් රැස් පිදූවද
විඩා වෙන්නැති නුඹට මුදුන් ඉර නැඟෙන විට
බදා උර මඬළ සැතපෙන පැතුම් පැතූවද
සදාකල් නොවේ කිසිවක් පොලෝ තලය මත

ගියත් නුඹ අතරමඟ වනේ මැද නැති ඉමක්
මගේ හිත දැරූ පෙම අඩු නොවේ අංශුවක්
කුමරාන නුඹ වෙතට නොවේ කිසි ක්‍රෝදයක්
ඉතින් කොයි වෙද මෙමට ප්‍රේමයේ පැරදුමක්

2011 සැප්තැම්බර් 01

අනුරාධා මනෝහාරී පෙරේරා සොයුරියගේ කවි පෙලකට ලියූ පිළිතුරකි෴

2011/08/29

ලද පෙමින් පොහොසත්ව

පෙමක අඩුව දැනෙනා සමයක ඉහත
දුප්පත්කමක රිදවුම් දැනුණා මහත
පිපිරූ බිමක කඳුලින් සිටියා බරිත
කටුමැටි පෙමක්වත් වූයේ නැහැ මහිත

රැයකදි සඳ රැසින් පිරවුණු වලා සැදී
පිපුණා මගේ හිත ඔබගේ සුවඳ වැදී
හිත රැඳි ප්‍රේමයේ දුප්පත් කමින් මිදී
සිටු කුමරෙකු වුණෙමි ඔය අත්තටුවෙ රැඳී

සුර පෙම් මැදුරු මාලිග සාදා දීලා
සෙවනක් නොදුටු මහදට සෙවනක් වීලා
ප්‍රේමය සමඟ මවකගෙ සෙනෙහස පාලා
මා රැකි සොඳුර සිපගමි දෑඟිලි අල්ලා
2011 අගෝස්තු 29

2011/08/19

අළු පරවියා සහ නුඹ

නුඹ ගියා
පිටස්තර කොදෙව්වක..
මගෙ අතට
අළු පරවියෙකු තෑගි කොට..

හිරු මතට
මුහුදු දිය වැටෙන සවසක..
ඇසිමි මම
"පරවි සඳ, ඈ නැවත එනු කෙදින?"

පිළිතුරක් වෙනුවට
ඉගිලුනා අළු පරවියා
පිටස්තර කොදෙව්වට
නුඹ එදා පිටව ගිය..

2011 අගෝස්තු 19

2011/08/15

කණාමැදිරියෙකුගේ නිදොස් බව


කණාමැදිරියෙකුගේ නිදොස් බව
බැලීමට එක මඟක් ඇත...


ඇඟිලි තුඩින් ඌ අල්ලා
නියපිටින් තලා පොඩි කර
කැඩිය යුතුය ඌගේ හිස...


පිහාටු හා පාද උගේ
නොසෙල්වීම ඇරඹුණු පසු ද
දැල්වේ නම් ආලෝකය
හිතාගනින් උපරිම යයි
කණාමැදිරියාගේ නිදොස් බව...



නිපුනි සඳරු පූර්ණිමා නැගණියගේ නිපැයුමකට පිළිතුරක් සේ ලියැවුණි
2011 අගෝස්තු 15

2011/08/12

උපමා කොයි වෙද අපගේ ප්‍රේමෙට

උපමා කොයි වෙද අපගේ ප්‍රේමෙට
සොඳුරිය මට පවසන්
දැනෙනා පෙම් හැඟුමන් බර වැඩි දෝ
සිටිනා හිත ඉවසන්

අප දෙනුවර යා කල මං මාවත්
කඳු පවුරෙන් වෙන් වී
ඇතිමුත් සිතුවිලි රේඛා ගෙනවිත්
නුඹෙ මනසේ අඳිමී

කවි පොත් කුමට ද කවි සිත් ඇති විට
හද මතුපිට ඇතිරූ
සරු දෙහිතක් එක් කරගෙන ඉන්නට
සිතුම් පැතුම් සපිරූ



2011 අගෝස්තු 11

2011/08/10

නුඹට ලියූ කවි පොත

උණුසුම් රැයක දාහය සියොලඟ වෙළෙනා
මඳ සුළඟක් වැනිය නුඹ එකවර හමනා
සිත තනිකමේ සළුවෙන් තද කර වැසෙනා
මොහොතක නුඹ මලක සුවඳකි මට දැනෙනා

ප්‍රේමය පුරවාලු පන්හිඳ තුඩ අගට
ජීවය කැවූ ඔය සුර නෙතු පිය මතට
සිපගැනුමක් තබන්නෙමි නොරිදෙන ලෙසට
කවි පොත ගැන මගේ කියනෙමි නුඹෙ කනට

දුටුවෙමි මේ භවෙත් සසරෙහි හුරු මුහුණ
එදවස පටන් පන්හිඳ සුරතෙහි ඇලුන
දිනකට අසුරු වේගෙන් කවි පොත පිරුන
මේ හැටි මගේ හිත බැඳුමට කිම කරුන

නින්දක් නැතිව කවි පොත හිස් තැන් වසමි
කන්දක් දිගට පද මාලා ගොඩනඟමී
කෙන්දක් රනින් කර පොත වට හැඩ කරමී
සඳ ගත් සුබ රැයක නුඹ වෙත තිළිණ දෙමී

සඳ රුව සදිසි හද වෙත ඇතුළුව රහසේ
සවි දෙමි සොඳුර මල් ගවසා නුඹෙ සිරසේ
කිසිදා‍ නොම විඩා දෙමි ‍ජීවන පලසේ
නුඹ කීවොතින් ගෙන යමි වුව දුර අහසේ

2011 අගෝස්තූ 09

2011/07/29

දිනේෂා


යාව කලින් දැකලා තිබුණට, එයා මොන වගේද කියලා මං දැනන් හිටියේ නැති නිසයි මං එයාට කිව්වේ, අපි දෙන්නා තනියම හම්බවෙලා ටිකක් කතා කරමු කියලා. එදා උදේම මළුවෙ කෙලවරක අපි දෙන්නා වාඩි වුණා.

"ඔයත් හරියට සින්ඩරෙල්ලා වගේ"

එයාගෙ බෝල ඇස් දිහා බලන් මං එහෙම කිව්වා. ඒත් එයා‍ගෙ බැල්මෙ වෙනසක් නෑ. බාගෙට ඇරගත්තු කටින් හිනාවකුත් දාගෙන මගෙ දිහා බලන් ඉන්නවා. එයා ඇස්පිල්ලම් ගැහුවෙත් හරි අඩුවෙන්. මං දිගට දිගට කිව්වා විනාඩි දහයක් විතර.
අන්තිමේ දි එයා කිව්වා,

"මං සින්ඩරෙල්ල ගැන දන්නෙ නෑනෙ, මං ඒ පොත කියවල නෑ" කියලා.

එතකොටමයි මම දැක්කෙ එයාගෙ ‍තුරුළෙ තිබුණු පොත් මිටේ උඩින්ම තිබුණු සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත. මං කරබාගත්තා.

"මං මේක ගෙනාවෙ ඔයාට දෙන්නමයි"

එයාගෙ පොත් මිට දිහා මං බලනවා දැක්ක එයා ඒ පොත මට දික් කලා. ඒකේ නමවත් බලන්නේ නැතුව, මොකුත් නොකියා මං ඒක ගත්ත.

"කියවල තියෙනවද?"

මං "නෑ" කියලා ‍උත්තර දීලා ඒ පොත බෑග් එකේ දාගත්තා.

"මොනවද මේකෙ තියෙන්නෙ?"

එයා මගෙ බෑග් එක උදුරලා අරන්, රෝස පාටින් පාට කරපු එයාගෙ ඇඟිලි වලින් ඒක අවුස්සන්න ගත්තා. ක්ලාස් එකේ පොත් එක්කම ඒකෙ තිබුණු පරිවර්ථන නවකතා පොතක් එලියට ඇදලා ඇරගත්තු එයා ඒකේ නම කියෙව්වේ හරිම අමාරුවෙන්. හරියට අපේ පොඩි නංගි වගේ කට ඇද කරගෙන.

"කොලරා කාලේ ආලේ. මාර නමක් නේ. අප්පෝ මේකෙ තඩි. මේක කියවන්න අවුරුද්දක් විතර යයි."

එයා කියවගෙන කියවගෙන ගියා.
ඒක පැත්තකට දාපු එයා දිගටම කලේ මගේ බැග් එක අවුස්සපු එක. අන්තිමට එයා බෑග් එකේ අඩියෙම තිබුණු කළු ප'මනන්ට් මාකර් පෑන අතට ගත්තේ මහානර්ඝ වස්තුවක් ලැබුණා වගේ.

"අනේ මට මේක දෙනවද? මං හෙට ඔයාට ආපහු ගෙනත් දෙන්නම්!"

එයා මගෙ අතේ එල්ලුනා. මං ලැජ්ජාවෙන් වටපිට බැලුවා. කවුරුත් පේන්න නැති හින්දා මං සැනසිලිදායක හුස්මක් පිට කරලා එයා දිහා බැලුවා.

"හරි හරි ගන්න"

මං ඒක කිව්වේ එයාගේ සද්දෙ වගේ විසි ගුණයක් විතර අඩු සද්දෙකින්.

"මොකටද ඕක"

"බෝඩ් එකක් අඳින්න"

එයා කිව්වේ හරි බැරෑරුම් විදිහට.

"බොඩ් එකක් කිව්වෙ? කොහෙද?"

"මං අහන්නෙම ශ්‍රී එෆ් එම් කියල ලියන්න. අපෙ ගෙදර එල්ලන්නෙ"

මං විනාඩියන් විකර කට ඇරන් එයා දිහා බලන් හිටියා. වේලිච්ච උණුසුම් හුලඟක් මගෙ මූණ පිහගෙන, එයා හිටපු පැත්තෙන් පිටවෙලා ගියා.

"මේකි මට හරියන්නෙ නෑ"

මං එහෙම හිතුවත්, ඒ බෝල ඇස් දැකපු මගේ හිත ඇතුලෙම හිටිය තවත් කෙනෙක් ඒ සිතුවිල්ල යටපත් කරනවා වගේ මට දැණුනා. එයා ඇදලා දාපු දේවල් ආපහු බෑග් එකට දාගන්න ගමන් මම මගේ හිතින් එලියට පැනපු එක එක සිතුවිලිත් ආපහු හිත ඇතුලටම ඔබා ගන්න උත්සහ කලා. 

2011 ජූලි 27

2011/07/26

සොහොයුර

තාරකා එලි වගෙ නොවෙයි සඳ
අන්න එබෙනව පෙරදිගින්
එසඳ දෙස නොබලන්න සොහොයුර
ස‍ඳේ දාරය මුවහතයි

තිමිර පහසින් බර වෙලා ඇස්
මැසෙයි ඉදිකටු තුඩු අගින්
මසුරතින් නොම මිදෙන් සොහොයුර
මැසූ ඇස් හරි කළුවරයි

කඳුළු දුම් වැල් හඹන්නට අප
මවාගත් අත්තටු හිතින්
කැපීයයි කම්නොමැත සොහොයුර
අත්තටුත් හරි කරදරයි

දිව කැපෙයි සුදු උකුසු හොටකින්
හිතන්නටවත් බැරි සැණින්
කැපීගිය දිව යොදා සොහොයුර
බලාපන් මලකඩ රසයි

රජුත් නිදනා වෙලාවක් එයි
හැරදමා දොරගුළු පියන්
එදින එනතෙක් හිඳිමු සොහොයුර
හදිස්සිය හිරිහැර තමයි

වීදි පාසා ගායනා හඬ
ඇසෙන දිනයත් දුර නොවෙයි
ගයනු බැරිමුත් ‍නුඹට සොහොයුර
තනි කකුල් නැටුමත් අගෙයි


2011 ජූලි 10

2011/07/19

රන් සිහිනය

සීලේ කඩා තිබු මයෙ හිත වකුටු කොට
ආලේ කලා දං කටරොළු මලක් හට
කාලේ බලා පවසාලා සීරුවට
කෝලේ නගා හිත දුන්නයි ඈ මෙමට

බාලේ දුටුව දා ඇගෙ රූපෙට වැඩිය
ලීලේ අගෙයි මයෙ ආදර සුකොමළිය
මාලේ බැඳන් කැන්දාගෙන යන සිරිය
සාලේ මැදින් මැවිලා පෙනෙනා සැටිය

තාලේ යසයි සීපද හවසට කියන
ලෝලේ වඩයි මුතු කැට සිරි දෙන නයන
රූලේ කෙලින් මානා දුර දුටු නුවණ
නූලේ රනින් බැන්දයි ලෙංගතු සිහින
2011 ජූලි 18

2011/06/05

මට හරිම මහන්සියි


කාලයත් හරි කෙටියි
ජීවිතේ වගේමයි
ඒත් අවසානයක්
කොතැන හමුවෙද සකී
සිහින පැටවුන් වදා
තුරුළු කර නළවනා
සංසාරෙ හරි දිගයි
නොපෙනෙන්නෙ කෙලවරයි
ඉතින් අප හඬන්නේ
කිමද සිතපන් සකී
අපට හිමිකමක් නැති
කෙටිම කෙටි කාලයේ
අපට හිමිකමක් නැති
කෙටිම කෙටි ජීවිතේ
පුංචි සෙළවුම් වලට
කුමට හඬමුද සකී
නිර්වානෙ දුර වෙච්චි
අප තවත් බෝ කලක්
විටින් විට හමුවේවි
වෙනස් වූ වේෂයෙන්
ඒ වදන් සිහි දරන්
අවසරය මට දියන්
පියඹන්න සමු අරන්
මේ නවාතැන් පොලෙන්
මට හරිම මහන්සියි



2011 මැයි 28


2011/06/04

අසමමිතික ඈ



(විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න)

2011/04/30

Without You



(විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න)


අන්තිම පෙත්ත


ශේන්යා ශේන්යා
මමයි උඹේ වීත්යා

හැන්දෑවක උඹත් එක්ක
හිනා වෙවී හරි හරියට
අත අල්ලං ඇවිද යන්න
වරමක් උඹගෙන් ඉල්ලන
මමයි උඹේ වීත්යා
තහනම් කල වීත්යා

උඹෙ ලෝකෙට එන්න බැරුව
උඹ ලඟ ගැවසෙන්න බැරුව
කඳුළු වලින් දින ගණිනා
මමයි උඹේ වීත්යා
විලංගු ලූ වීත්යා

විසිකෙරුවත් පෙති හයක්ම
උඹේ සිහින ලෝක වලට
හත් වෙනි අවසාන පෙත්ත
තියා ගනින් මා වෙනුවෙන්
මල් නටුවෙන් සිඳින්නැතිව

මගේ පැතුම් ඉටිපන්දම්
ඔක්කොම අවසන්ය සිතා
උයනේ බංකුව කෙලවර
මා හඬනා උදෑසනක
ඇවිදින් මගෙ ඇස් මානෙට
කඩපන් අවසාන පෙත්ත

වීසි කරන්නට කලියෙන්
අවසන් නිල් පාට පෙත්ත
අතැඟිල්ලක දවටා එය
ගයන් උඹේ සීනු හඬින්
උඹට උරුම පුරුදු ගීය
කියන්න රහසින් මේ ලෙස

"මල් පෙත්තේ මල් පෙත්තේ
උතුරු දෙසට දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරට
කැරකීලා ඇවිත් බිමට
ම'කියන දේ කරදෙන් මට"

"වීත්යාට තටු ලැබෙන්න
මගෙ ලෝකෙට ඉගිල්ලෙන්න"

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2011 අප්‍රේල් 30

2011/04/26

කවක් කියෙව්වෙමි



කිනිත් හෙට්ටිආරච්චි සොයුරාගේ "වැට" කාව්‍ය නිර්මාණය කියවා,
මවිසින් දැමූ ෆේස්බුක් කොමෙන්ටුවකි.


2011/03/25

අතරමංවෙලා



විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න


Purple People




විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න


වර්ණ මායිම්




එකෝමත් එක
එකොළොස්වැනි දිනෙක
මැකී ගියා
මගේ ලෝකයේ වර්ණ

රතුම රතු
රතු පැහැය හැර
කළුම කළු
කළු පැහැය හැර
මැකී ගියා
අන් සියළු වර්ණ

නිදහසේ කෙළවර හෙව්ව
මගෙ හිත වට කොට
නැඟුණි කළු රතු
මායිම් රේඛණ

උඹෙ ඇසුත් රතුයි
මූණත් රතුයි
පසුබිම කළුයි
කට්ටම කළුයි

එතැන් සිට
මා ඇඳි සිතුවම් වල
රතු කළු හැර
ඉඩ නොවිනි අන් පැහැයකට

දිවා රෑ එක සේම
වෙහෙසුනත් දකින්නට
ලොව අන් නොයෙක් විසිතුරු වර්ණ
අන්ධයි මා ඒ පැහැයන්ට

2011/03/21




2011/03/18

The Red Love




විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න



2011/03/16

2011/03/12

2011/03/04

කාන්තාරයේ නපුරු සිහින



(සිතුවම මත ක්ලික් කර විශාල කර බලන්න)




සිතුවමේ තෝරාගත් කොටස් කිහිපයක්.....










දුරු තරුව


අත් දෙකේම
ඇඟිලි ගානටත් වඩා වැඩි

ආලෝක වර්ෂ වලින්
උඹ දුර උන්නට


බිය නොවෙන්

මගෙ තරුවේ


උඹම මට දුන්න
ප්‍රේමයේ අත්තටු හින්දා
මට තියෙනවා දැං
ආලෝකේ වේගේ

උපේක්ෂා ප්‍රේමතිලක සොයුරියගේ
"මන්දාකිණියේ අවසාන තප්පර කිහිපය" නම් වූ නිර්මාණයට
මවිසින් දැමූ ෆේස්බුක් කොමෙන්ටුවකි.




2011/03/03

අන්තිම හඳ (කවිය)





මගේ මුළු හිත
ඇයට පුද දුන්
අතීතය යලි
ගන්න මට බෑ

දිවිය කැප කර
ඇයට පෙම් බැඳි
මගේ හදවත
කඳුළු තව නෑ

ලෝ දහම මැද
සිරව විඳවන
ඇගේ ස්නේහයෙ
අවසාන රෑ

අසම්මත පෙම්
රැහැන් සිඳ බිඳ
රුධිර කඳුලින්
නැහැවුණා ඈ

මගේ ලෝකෙට
එලිය වූ සඳ
ඇයම පමණකි
වෙන කෙනෙකු නෑ

එහෙව් සඳ ඇය
යලිත් නොම එන
ලෙසින් යනු වග
සිතන්නට බෑ

එහෙත් අවසන
මෙමට සමු දී
යන්න ඇවිදින්
සඳවතිය අද

මගේ සිරසේ
යලිදු කෙදිනක
මල් පිපෙනු නැත
සුවඳ දෙන්නට

ඇයට ලොබ කල
මගේ ඇස් දෙක
දකින අන්තිම
සඳ දසුන මෙය

අඳුරු පොලවට
පුදන්නම් මම
පොහොර වන්නට
මගේ සිරුරම

සිසිල දුන් සඳ
කිරණ අහිමිව
කෘෂව වියලිව
ප්‍රාණ අතහැර


අන්තිම හඳ (සිතුවම)




(විශාල කර බැලීමට සිතුවම මත ක්ලික් කරන්න)



මුරණ්ඩු මධුමතී


  මධුමතී!!

උඹෙ අතේ ඔරලෝසුවෙ තප්පරේ
සමානයි

හන්දියෙ ඔරලෝසු කණුවෙ තප්පරේට!
එංගලන්තෙ බිග් බෙන් එකේ තප්පරේට!


  මධුමතී!!
ඒත් මගෙ හිතේ ඔරලෝසුවෙ තප්පරේ
සමාන වෙන්නේ කාට??

  මධුමතී!!
මට උඹෙ අත අල්ලන්න උඹ ඉඩ දුන්නෙ
උඹෙ ඔරලෝසුවෙන් තප්පර හතරයි!
පස්වෙනි තප්පරේදි
උඹ කෑගැහුවා
"අනේ කව්රුත් දකී"
අන්න එහෙම!!

ඒ තප්පර හතරෙ කාලය
වටිනවද මට කොච්චර??

  ඉතින්...
මගේ හිතේ ඔරලෝසුවෙන්
ඒක ලොකුම ලොකු කාලාවකාශයක් මට!!

  මධුමතී!!
හැමදාමත් මුනගැහෙන්න
ආසාවක් මට තිබුණට
උඹෙ ටියුෂන්, ගෲප් ක්ලාස්
නයිට් ක්ලාස් අරක මේක නිසා
උඹ දෙනවද මට
එක නැනෝ තප්පරයක්වත්??
උඹෙ ඇස් දිහා
  එක එල්ලේ මට බලන්න....

අහම්බය විතරයි
එකම තුරුම්පුව!!

‍  මධුමතී!!
ඒත්
මෙන්න දැන්
එක පාරට
උඹ හදනව
තනි තට්ටෙන්
 ඉගිල්ලෙන්න!!

 හරියට
ලෝකෙම වැරදි වලට
මාව
සාක්කි කාරයෙක් කරලා වගේ!!

මධුමතී!!
උඹට බෑ
එහෙම කරන්න!!


හදිස්සිකාර මධුමතීඋත්පලා නාගහවත්ත සොයුරියගෙන් ලැබුණු ෆේස්බුක් කොමෙන්ටුවකට පිළිතුරු කොමෙන්ටුවක් ලෙස ලියැවුණි.