2015/06/16

යෙහෙළියක නම් සිටිය යුතුම ය


යෙහෙළියක නම් සිටිය යුතුම ය
හැමදාම හැමවිටම හැමතැනම

යන්තමට පිපාසය එනකොටම
දැන් ඉතින් මට
උණු කරපු හාදුවක් පොවන්නැයි
තුනීයට කොඳුරන්න හැකිවෙන්න
තෝඩු ලූ කනක් උර මත තිබ්බ
යෙහෙළියක නම් සිටිය යුතුම ය

තොරක් නැති හීනංශුකා වලට
මගෙ හිතේ ඉඩ
දරුණුවට මදි වෙද්දි ටිකෙන් ටික
හීන අහුරක් දෙකක් තබන්නට
හිසෙහි පෙදෙසක්ම අස් කර දෙන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය

දිගු ප්‍රේම ගිම්හානෙකට පසුව
විරහවක අග
නමක් නැති නැවුම් සුබ ඉර්තුවක
හදින් අල්ලා තදින් මිරිකන්න
ප්‍රේමවන්තියගෙ තැන අරගන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය

ඔව්!
ලෝකයේ සැබෑ සිරි පෙන්නන්න
සොබා පැහැයන් ඇසේ තවරන්න
තවම ජීවත් වෙතැයි දැනගන්න
යෙහෙළියක නම් සිටිය යුතුම ය
හැමදාම හැමවිටම හැමතැනම


සහන් පද්මසංඛ පීරිස්​
THЕ SAHAN​
2015.04.16

9 comments:

  1. අන්න එක්කෙනෙක් තේරුම් අරන් යෙහෙළියන්ගේ අගේ

    ReplyDelete
    Replies
    1. හෙහේ! තේරුම් ගත්තට උන්ව අපි යෙහෙළියෝ කරගන්න නිසාම උන්ට ලේසියි අපිව රවට්ටන්ට! :3

      Delete
  2. //ඔව්!
    ලෝකයේ සැබෑ සිරි පෙන්නන්න
    සොබා පැහැයන් ඇසේ තවරන්න
    තවම ජීවත් වෙතැයි දැනගන්න
    යෙහෙළියක නම් සිටිය යුතුම ය
    හැමදාම හැමවිටම හැමතැනම//
    ඇත්ත කතාව..ඔන්න දෙවැනියා මං

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි මලියා! :)

      Delete
  3. ඇයි යහළුවෙක් හොඳ මදිද

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. යහළුවෙකු අවැසිමය
    ________________________

    නොහිතනම වෙලාවක තුනී පාලුව මැදින්
    හොලොග්‍රෑමයක් වගේ මතුවෙන
    “ආ මචං කොහොමදැ’යි” විමසන
    පිටට පහරක් ගසා,
    වැරෙන් කණ මිරිකන,
    යහළුවෙක් අවැසිමය,
    රළු පරළු සෙනෙහසක් විඳගන්න.

    සිසිලනය කල කොමල ලීලා,
    හිමකිරම වැනි දියවෙවී ගලන ඉමිහිරි වචන,
    හදවතම ශීතනය කල විට,
    මිරිස් වැඩි අච්චාරුවක් මෙන් දැනෙන,
    මද්දහන් ඉර වගේ රැස් ඇති,
    යහළුවෙක් අවැසිමය,
    අයිස් යුගයට වසන්තය ගෙන එන්න.

    තනි රැයක හොල්මන් කතා බලෙන් අහුරන,
    "මොට්ට මෝඩි'යි" බැන බැන තනි රකින,
    ලෙක්චර්ස්, කුප්පි අවසන,
    කලුවරේ බෝඩිමට ඇරලන,
    ඒ හිලව්වට පිඟානෙන් වඩයක් දෙකක් උස්සන,
    යහළුවෙකු අවැසිමය,
    කෙලිලෝල වර්ණ හද තවරන්න.

    සුළි කුණාටුවක් තරමට කලබල
    රැලි නගන මූද වාගෙම දල
    සැලෙන දල්ලක් වගේ සමහරවිට සසල
    යහළුවෙකු අවැසිමය
    හැමදාම, හැමවිටම, හැමතැනම.

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි බස්සි.. මම මේක මගේ එෆ් බී වෝල් එකට ෂෙයා කරනවා. පුදුම ලීවීමක් මේක. හරිම රසයි ඔයාගෙ කවි

      Delete
  6. මගේ එක යෙහෙලියක් තමයි අන්තිමට මම විවාහ කර ගත්තේ

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!