2011/07/29

දිනේෂා


යාව කලින් දැකලා තිබුණට, එයා මොන වගේද කියලා මං දැනන් හිටියේ නැති නිසයි මං එයාට කිව්වේ, අපි දෙන්නා තනියම හම්බවෙලා ටිකක් කතා කරමු කියලා. එදා උදේම මළුවෙ කෙලවරක අපි දෙන්නා වාඩි වුණා.

"ඔයත් හරියට සින්ඩරෙල්ලා වගේ"

එයාගෙ බෝල ඇස් දිහා බලන් මං එහෙම කිව්වා. ඒත් එයා‍ගෙ බැල්මෙ වෙනසක් නෑ. බාගෙට ඇරගත්තු කටින් හිනාවකුත් දාගෙන මගෙ දිහා බලන් ඉන්නවා. එයා ඇස්පිල්ලම් ගැහුවෙත් හරි අඩුවෙන්. මං දිගට දිගට කිව්වා විනාඩි දහයක් විතර.
අන්තිමේ දි එයා කිව්වා,

"මං සින්ඩරෙල්ල ගැන දන්නෙ නෑනෙ, මං ඒ පොත කියවල නෑ" කියලා.

එතකොටමයි මම දැක්කෙ එයාගෙ ‍තුරුළෙ තිබුණු පොත් මිටේ උඩින්ම තිබුණු සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත. මං කරබාගත්තා.

"මං මේක ගෙනාවෙ ඔයාට දෙන්නමයි"

එයාගෙ පොත් මිට දිහා මං බලනවා දැක්ක එයා ඒ පොත මට දික් කලා. ඒකේ නමවත් බලන්නේ නැතුව, මොකුත් නොකියා මං ඒක ගත්ත.

"කියවල තියෙනවද?"

මං "නෑ" කියලා ‍උත්තර දීලා ඒ පොත බෑග් එකේ දාගත්තා.

"මොනවද මේකෙ තියෙන්නෙ?"

එයා මගෙ බෑග් එක උදුරලා අරන්, රෝස පාටින් පාට කරපු එයාගෙ ඇඟිලි වලින් ඒක අවුස්සන්න ගත්තා. ක්ලාස් එකේ පොත් එක්කම ඒකෙ තිබුණු පරිවර්ථන නවකතා පොතක් එලියට ඇදලා ඇරගත්තු එයා ඒකේ නම කියෙව්වේ හරිම අමාරුවෙන්. හරියට අපේ පොඩි නංගි වගේ කට ඇද කරගෙන.

"කොලරා කාලේ ආලේ. මාර නමක් නේ. අප්පෝ මේකෙ තඩි. මේක කියවන්න අවුරුද්දක් විතර යයි."

එයා කියවගෙන කියවගෙන ගියා.
ඒක පැත්තකට දාපු එයා දිගටම කලේ මගේ බැග් එක අවුස්සපු එක. අන්තිමට එයා බෑග් එකේ අඩියෙම තිබුණු කළු ප'මනන්ට් මාකර් පෑන අතට ගත්තේ මහානර්ඝ වස්තුවක් ලැබුණා වගේ.

"අනේ මට මේක දෙනවද? මං හෙට ඔයාට ආපහු ගෙනත් දෙන්නම්!"

එයා මගෙ අතේ එල්ලුනා. මං ලැජ්ජාවෙන් වටපිට බැලුවා. කවුරුත් පේන්න නැති හින්දා මං සැනසිලිදායක හුස්මක් පිට කරලා එයා දිහා බැලුවා.

"හරි හරි ගන්න"

මං ඒක කිව්වේ එයාගේ සද්දෙ වගේ විසි ගුණයක් විතර අඩු සද්දෙකින්.

"මොකටද ඕක"

"බෝඩ් එකක් අඳින්න"

එයා කිව්වේ හරි බැරෑරුම් විදිහට.

"බොඩ් එකක් කිව්වෙ? කොහෙද?"

"මං අහන්නෙම ශ්‍රී එෆ් එම් කියල ලියන්න. අපෙ ගෙදර එල්ලන්නෙ"

මං විනාඩියන් විකර කට ඇරන් එයා දිහා බලන් හිටියා. වේලිච්ච උණුසුම් හුලඟක් මගෙ මූණ පිහගෙන, එයා හිටපු පැත්තෙන් පිටවෙලා ගියා.

"මේකි මට හරියන්නෙ නෑ"

මං එහෙම හිතුවත්, ඒ බෝල ඇස් දැකපු මගේ හිත ඇතුලෙම හිටිය තවත් කෙනෙක් ඒ සිතුවිල්ල යටපත් කරනවා වගේ මට දැණුනා. එයා ඇදලා දාපු දේවල් ආපහු බෑග් එකට දාගන්න ගමන් මම මගේ හිතින් එලියට පැනපු එක එක සිතුවිලිත් ආපහු හිත ඇතුලටම ඔබා ගන්න උත්සහ කලා. 

2011 ජූලි 27

8 comments:

  1. බොලඳ නවකථා වල තියෙන හීන ලෝක වල ඔය වගේ කෙල්ලොත් ඉන්නවා මේ රටේ,

    ReplyDelete
  2. ඔව්! මේ දිනේෂා සත්‍යම චරිතයක්!

    ReplyDelete
  3. රෂ්මි සෙව්වන්දිAugust 21, 2011 at 3:40 PM

    ඒ වගේ හීන ලෝකවල ඉන්න අය ඒ හීනෙන් මිදෙන දවසක් එනවා මල්ලි.... මල්ලිගෙ මේ නිර්මාණය ඒ වගේ හීන ලෝකවල ඉන්න අය කියවන්නම වටිනවා.. අපුරුයි..

    ReplyDelete
  4. හීන ලෝකෙක ඉන්න අය, තමන් ඉන්නේ හීනෙක වග දන්නෙ නෑනේ අක්කේ!

    ReplyDelete
  5. දිනේෂා දිනේෂා ඉතින් මෙ මං දන්න කෙනාම ද

    ReplyDelete
  6. උඹ ඇසුරු කරපු දිනේෂාම තමයි ශානක!

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!