2012/01/22

දෙවසරක්



ලෝතලය මත පිපෙන මල් සැම පිපෙන්නේ කිමදැයි අසා
විමසුවොත් පැනයක් සොබාදම් මෑණිගෙන් මා කෑගසා
නිසැක එසැණම ලැබෙනු ඇත පේලියක් පිළිතුරු මේ ලෙසා
එමල් පිපු‍ණේ පිදෙනු පිණිසැයි නුඹෙ සුමුදු දෙපතුල් වසා

ජීවිතේ තුල ජීවිතේ මඟ කියා දුන් සිතියම නුඹයි
ප්‍රේමයේ සිර අගුළු බිඳ දොර හැරදැමූ සුළඟද නුඹයි
ආකහේ තරු පැරදවූ සිනහවෙන් හද පුබුදන නුඹයි
ලෝකයේ සිය දනන් සිත් මැද එකම සුපහන් සිත නුඹයි

නේක කඩ‍තොළු මැවී කඳුළැලි පැරදුවත් මහ සාගරේ
දෙවසරක කාලයක් වින්දෙමි සුවය ප්‍රේමයෙ ආකරේ
නතර වනතුරු කෙදින හෝ අප සංසාර මග කෙලවරේ
සුරත නුඹගේ හැර නොයමි මම රකිමි සැමදා ආදරේ

කුල උපත සෙව් නමුත් නුඹගේ මා පියන් නෑසිය ‍දනා
මා නුඹට-නුඹ මට හිඳියි නම් කිමද දුක් ගනු කාරණා
දිනාගනු අරභයා දිරි ගෙන සැබෑවේ මුතු රන් සිනා
හෙටට සවි සිතිවිලි මවාගමු වඩා ‍ස්නේහයෙ භාවනා

2012 ජනවාරි 22

2012/01/20

තුටු


මේ කුළින් බරිත වූ කලුම කලු අහස යට
දෑස් නැති සේම දිසි හාත්පස අඳුර මැද
යදම් බැඳ විලඟු ලූ දෙපා අත් රිදුම් විඳ
හුන් කලක් තිබුණි මට සිපිරි අවකාශයක

මතුදාක පැතු සේම හිරු කිරණ දකිනු රිසි
මගේ සිත ඉවසුවෙමි සි‍යල් කරදර පෙරලි
හෙට දිනේ මල් සුවඳ විඳින්නට සිතු සිතැඟි
වෙනුවෙනුයි පෙර දිනේ පිළිගත්තෙ කටු කැරළි

දාහයෙන් කඳුළැලින් පෙඟී සිටි අළුයමක
සිහින් ගීයකින් සිත පිරී ගොස් හදිසියෙම
උදා අරුණෝදෙ පිදු සිහිල් සුළඟක් සමඟ
විවර වී ඇත මගේ සිර කුටියෙ අගුළු දොර

තිබු ලෙසින් සිතිවිලී සොඳුරු සිහිනෙක වෙලී
නිදහසේ තටු ගසා ඉගිල යමි යලි යලී
‍ජීවිතේ ගං තෙරේ නොනිමි රැළි තුල ගිලී
සතුටු බස් කෑගසා පිහින යමි සැලි සැලී

කවරෙකුට කිසිදාක සිතින් නොම දී නිගා
තුටු මුවින් ගිලිහෙනා සිනා රැකගමි සදා
දැවි දැවී කැරකෙනා ලෝවේ නොම හිඳ නිදා
සිසිල් වැසි පොදක් වන්නෙමි දනන් සනහනා

2012 ජනවාරි

2012/01/06

ඔබ අහස මම



සහස් සෙනෙහස් අහස් සයුරක් සිතේ ඇතිමුත් පැතිරිලා
අරුත් නොදනිම් කුමක් වෙනුවෙන් විසල් පෙම සැදුනිද කියා
කිසිත් අහිතක් නොමැත සොඳුරිය කුමක් කල මුත් නුඹ එදා
‍දනිමි නුඹෙ සිත් මඬළ සිතියම් මගේ සිත නුඹටත් වඩා

මාපියන් හිරු සඳුගෙ වෙස් ගෙන නුඹේ ලොව එලි කල නිසා
සිතුනි මොහොතක නුඹට මගෙ පෙම නොපෙනෙනා තරමැති කියා
ඇසළ අඳුරට හසුව මට මා පවා නොපෙනී ගිය එදා
සිතාගත්තෙමි තාරුකාවක් වන්න නුඹ වෙනුවෙන් සදා

සියක් රෑ කල් ගෙවුණුමුත් ඒ තරුව සෙනෙහස පැතිරුවා
නොබැස කිසිදා අවර අහසින් එළිය තව තව විසිරුවා
හාත්පසඳුර උහුලගනු බැරි විටෙක වැසි දිය ඇතිරුවා
සියක් උල්කා වැටුණුමුත් වේදනා අදරින් ඉවසුවා

සිනිදු පෙති දැඩි කරන්නට ගත් නොතේරුම් සිත සිතුවිලී
කෙලෙස එය කල හැකිද මසොඳුර මිලින වෙද්දී මල් පෙතී
සදාකාලික දෑත් ලොව තුල පවතිනා බැව් පසක් වී
පතා මරණයෙ පහස සිටි මා කරා ආවා නුඹ යලී

අතීත‍යෙ ගත් අඳුරු තීරණ තියුණු මුත් හීයට වඩා
පෙමින් සුව කල හැකියි හදවත් සිදුරු කල පැල්ලම් මකා
නුඹේ නිසසල ජීවිතේ දෙදරුම් වුවත් අද මා නිසා
ස්නේහයක් නිති ගලයි නුඹ වෙත නොලබනා ලොව අන් දනා

නුඹේ අහසට තාරුකාවක් වූ නමුත් මා ඒ සමේ
නොවෙයි අද මා පුංචි තරුවක් නුඹේ අහසම මෙමා වේ
විටින් විට චලිතමුත් දෙරණත උඩු  අහස සෙලවෙනු කෙසේ
සසර දිගු මග නුඹට සවිමත් වියණ් තලයක් වෙමි නඟේ

2012 ජනවාරි 06