2015/11/08

ඔබ වහන්සේට සුබ ගමන්!!

ශ්‍රී ලාංකීය සිවුරුකාරයින් පිළිබඳව මා තුළ ඇති ආකල්පය ඉතාමත් අයහපත් එකකි. ඇතැමුන් එළිපිට කුණුහරප කියා දඟලති. අන්‍යාගමිකයික් කපා කොටා දමන්නට අනුබල දෙති. ඇතැමුන් බඩුකාරයින් ය. තවත් අය කොලුකාරයන් ය. තවත් සමහර අය බේබද්දන් ය. කට පිහගන්නේ ද සිවුරෙනි. තව බොහෝ දෙනාගේ කොණ්ඩා රැවුළු, චර්යා, හැසිරීම් සියල්ල දැක අවසානයේ ලාංකීය සිවුරුකාරයින් පිළිබඳ මා තුළ ඇත්තේ අසූචි අප්‍රසන්න බවකි.

එහෙත් මාදුළුවාවේ සෝභිත නම කියද්දී මට හැමවිටම දැණුනේ සිවුරුකාරයෙක් ගැන නොව භික්ෂුවක් ගැන යි. මම උන්වහන්සේව නොහඳුනමි. මා උන්වහන්සේ ගැන දන්නේ ද ඔබ මෙන්ම ජනමාධ්‍ය ඔස්සේම පමණි.

සෝභිත හිමි පිළිබඳ මාගේ ප්‍රථම මතකය ඇත්තේ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ධර්ම සාකච්ඡාවක් පිළිබඳවයි. වර්තමාන සිවුරුකාරයින් බණ කියනා අයුරුද මහත් සේ අප්‍රසන්න වූ යුගයක යි සෝභිත හිමි සහභාගී වූ ඉහත කී දහම් දෙසුම මා දුටුවේ. එය මීට අවුරුදු කිහිපයකට පෙර එළැඹි වෙසක් පොහෝ දිනෙක ස්වර්ණවාහිනී නාළිකාව සංවිධානය කළ විශේෂ වැඩසටහනක් වූ අතර එය විකාශය වූයේ කුසිනාරාවේ සිට යි.

බුදුන්වහන්සේගේ පරිනිර්වාණය එම ධර්ම සාකච්ඡාවේ මාතෘකාව විය. සෝභිත හිමි උන්වහන්සේටම ආවේනික වූ ශෛලියෙන් බුද්ධ පරිනිර්වාණය පිළිබඳ කතාව කියන්නට විය. නිර්ආගමික අදහස් ඇති මාගේ දෙනෙත් ද එය අසා සිටියදී තෙත් වන්නට වූයේ උන්වහන්සේ එය කොයි තරම් සංවේදී ලෙස පැවසුවේද යන්න ඔප්පු කරමිනි.

බොහෝ සිවුරුකාරයින් ධර්ම දේශණා අතරතුර ගොන් ජෝක්ස් දමයි. ද්වීඅර්ථ ඇති කුණුහරප කියයි. ධර්ම ශ්‍රාවකයින්ට කුණු ආතල් දෙයි. නමුත් සෝභිත හිමිගේ දහම් දෙසුම් තුළ මා එවැන්නක් කිසි දිනෙක දැක නැත.

ජාතික ප්‍රශ්ණවල දී සිවුරුකාරයින්ගේ මැදිහත් වීම ද නොගැලපෙන සුළුය. අප රටේ ජාතික ප්‍රශ්ණවල දී මැදිහත්වන බොහෝ දෙනා ආවේගයෙන් කතාකරන, ආවේගයෙන් හැසිරෙන, නිළ නොවන හමුදාවක් ලෙස හඳුන්වාගන්නා සිවුරු පැළඳගත් මී හරකුන් ය. ඇතැමුන් හරකුන් වෙනුවෙන් ගිණිතබාගෙන සියදිවි නසාගන්නා හරකුන් ය.

නමුත් මෙරට තීරණාත්මක ජාතික වෙනසක් සඳහා මූලිකත්වය ගත් සෝභිත හිමියන්ගේ හැසිරීම, කතා විලාශය හෝ මැදිහත් වීම කිසි දිනෙක චීවරයට නොගැලපෙන්නක් වූයේ නැත. අද දින යහපාලකයින් පිළිබඳ කුමන විවේචන ඇතත් පසුගිය ජනපතිවරණ ප්‍රතිඵලයෙන් රටට ලැබුණේ අනාගත විනාශයක වැලකීමකි.

මෙන්න මේ කාරණා නිසා මගේ හිත තුළ සෝභිත හිමිට ඉතා ඇල්මක් පැවතිණි. මෙලොව බොහෝ කල් වෙසෙන්නේ යහපත් මිනිසුන් නොව අයහපත් මිනිසුන් ය. ඇතැම් විට එයට හේතුව එකම දුක් ගෝලයක් වූ ලෝකයෙහි වැඩිපුර කාලයක් වාසය කිරීම යනු වැඩි කාලයක් දුක් විඳීමට සිදුවීම විය හැක. 

ආගමික නායකයෙකු මියගිය විට මා කිසි දිනෙක ඒ වෙනුවෙන් පෝස්ට් දමා කහ කොඩි ෂෙයා කොට නැත. එහෙත් මම අද එය කරමි.

මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබ වහන්සේට සුබ ගමන්!!
_________________________
සහන් පද්මසංඛ පීරිස් 
THE SAHAN​ © 2015 නොවැම්බර් 08

5 comments:

  1. //අද දින යහපාලකයින් පිළිබඳ කුමන විවේචන ඇතත් පසුගිය ජනපතිවරණ ප්‍රතිඵලයෙන් රටට ලැබුණේ අනාගත විනාශයක වැලකීමකි/// +++++++++++++

    ReplyDelete
  2. මාරට එරෙහිව නගපු හඬම ඇති.

    ReplyDelete
  3. අනිවාර්යෙන්.....//අද දින යහපාලකයින් පිළිබඳ කුමන විවේචන ඇතත් පසුගිය ජනපතිවරණ ප්‍රතිඵලයෙන් රටට ලැබුණේ අනාගත විනාශයක වැලකීමකි/// +++++++++++++

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!