2014/09/10

එන්න මගෙ එල්ලෙන්න


පරදවා දළ රළ සයුර
සොයාගත් පොඩි දූපතක
උසම තැන සෙවූ මම
කරවීමි මාළිගාවක්
හැකි ලෙසින්
මතකයේ වලාකුල් මත
වාඩි වී සිටි දිළිඳු වූ දැරියට

ඇය ද එය නොදැන
ලොව ද එය නොදැන
දූපතට පමණක් අයිති වූ කාලයෙන්
කල්පයක් ගත වුව ද
නොවුනි එක පලුද්දක්
මාළිගා බිත්ති මත

කල්පයේ හැම කැබැල්ලක් තුල
හෑරුවෙමි...
ගල් බොරළු වැදී තුවාල වන
ඇඟිලි තුඩගින් වැගිරුණු
රුධිරයෙන් පොඟවමින් හිමිහිට
කාෂ්ඨක මහ පොළව

ගැඹුරු පතුලෙන් අතට ගත්තෙමි
දුටු සෙනඟ ඇස් අන්ධ කරවන
ලොවෙන් සැඟවුණු අරුම මිණි කැට
ලොවට නවමු වු අරුම අබරණ

මට කුමකට ද මේ වස්තුව
අමිල වූ වස්තුවක්
මගෙ හිතේ සිටි කල
අබරණ පැළඳුවෙමි ඇගෙ කර
දිළිඳු බව ඇගෙ ගියෙ ද කොයි අත?

ඉතින් දැන් ඈ කුමරියකි
මාළිගාවක වෙසෙන
නොමැත්තක් නොමැති
හරි පුංචි දූපතක

කුමරි මෝරද්දි තව තව
දූපත මදි ය ඇගෙ හිතට
ලෝකටම දැක බලා ගන්නට
තමයි ඇගෙ හිත නැගුණු අදහස...

ඉතින් ඈ විටින් විට
මුහුදු, සමුදුරු උඩින්
චාරිකා කරවීය දස දිග
මාලිගාවෙහි සිටින
කාලෙ අඩු විය ටිකෙන් ටික

ගමන් වියදමට ඇගෙ
කර පැළඳි රන් මාල
විකිණුවෙද උකස් කලෙද
මම නොදන්නා දෙයකි තව

ටිකෙන් ටික ඇය
"දිළිඳු වූ කුමරියක්" වන බව
හිත හිතා සිටි හවස් යාමෙක
මාළිගාවෙහි බිත්තියක කොණ
පිපිරි ගිය සළකුණක් දැක
කඳුළු පොඩ්ඩක් ඇඟිල්ලට ගෙන
බිත්තියේ මේ කවිය ලියනෙමි
කාටවත් නොපෙනෙනා බව දැන

කවිය ලියූ අවසන
මාලිගාවෙහි බාල්කයක්
හුරතලෙන් මට අඬගසයි
"එන්න මගෙ එල්ලෙන්න"

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2014 සැප්තැම්බර් 10

1 comment:

  1. සුපිරියි..

    //කවිය ලියූ අවසන
    මාලිගාවෙහි බාල්කයක්
    හුරතලෙන් මට අඬගසයි
    "එන්න මගෙ එල්ලෙන්න"//

    අන්තිමට ඉතුරු එච්චරයි කියලා හිතුනා.. හැමදේකටම පස්සෙ ආයෙම මුලටම ඇවිත් ඇදගෙන වැටුනම ඒ ඇරෙන්න ඉතින් වෙන මොනවා කරන්නද?

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!