2015/01/21

ළඳකට හැකිය මෙසියලු දෑ කරවන්න









නෙතගින් රැගෙන මුවහත‍, ගෙල සිඳලන්න
ඇඟ ලේ දුවන මුත් පස යට වලලන්න
ජීවන බඳුණෙ මරණයෙ මධු පුරවන්න
ළඳකට හැකිය මෙසියලු දෑ කරවන්න

හිරු රැස් පවා ශීතල කොට මුදවන්න
සඳ රැස් රැහැන් ගණ අඳුරෙහි බැඳලන්න
නොපෙනෙන අඟුරු හද වටකර අතුරන්න
ළඳකට හැකිය හිතකට ගිණි අවුලන්න

සුළඟක උලැති ඉදිකටු තුඩු අමුණන්න
හුස්මක දියව පෙනහලු හිර කරවන්න
යලි යලි පැමිණ මතකයෙ අළු විසුලන්න
ළඳකට හැකිය සොහොනක හිත සඟවන්න

ජීවිත පොතෙහි පිටු එකිනෙක ගලවන්න
තව එක විටෙක ඇය ලියු පිටු අලවන්න
මැකුමට නොහැකි පැහැ සිතුවම් තවරන්න 
ළඳකට හැකිය කාලය දිගු කරවන්න

සහන් පද්මසංඛ පීරිස්
(THЕ SAHAN)
2015 ජනවාරි 21

6 comments:

  1. ළදකට හැකිය නොහිතන දේ කරවන්න
    ළදකට හැකිය නොපතන දේ කරවන්න
    ළදකට හැකිය නොදකින දේ පෙන්වන්න
    ළදකට නොහැකි දේ නොහැකිය පවසන්න

    ReplyDelete
  2. පට්ට... 100% ඇත්ත කතාව ඈ....
    කොටිංම කියනව නං
    ළදකට හැකිය රෝල්ස් රොයිස් ටාට නැනෝ කරවන්නත්

    ReplyDelete
    Replies
    1. හෙහේ!! ඒ මොකද්ද බං?? :D :D :D

      Delete
  3. සහතික ඇත්ත කවිය...

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!