2015/03/28

නාදුනන හිතවත



හදිස්සියෙම හදට ගොඩවැදුන
කැම්පස් කෙල්ලක් ය ලං උන
බොහෝ දෑ දෙඩූමුදු
තවත් මදියැයි හිතවන

පාඩමක් ගැන විස්තර අතරතුර
දිනක් දෙඩුවා ඈ මෙහෙම
"අයියෙ දන්නවද පසන් කොඩිකාර?
මං හරිම ආදරේ ; ඒ අපේ සර් ය
පිස්සෙකු වාගේ අමුතු වූවාට
හරි හොඳ ය ආදරෙයි අප හට"

කී නිසා ඈ තව තවත් විස්තර
සොයා බැලුවෙමි ෆේස්බුක් පිටු අතර
දුටිමි පෙර දැක තිබූ මුත් මගහැරි
ඔහුගේ පාලු කාල රේඛාව

යවා මාගේ මිතුරු ඇරයුම
සතියකට පසු දිනෙක එළඹුන
අවදිවන්නට බෝ පමාවුණ
දහවලක මට ඇගෙන් පැමිණුන
කෙටිම කෙටි පණිවිඩෙකි ගොළු වුණ

"නැතිවෙලා මගෙ සර් අයියේ"
ඇගේ ඒ කෙටි බිඳුණු වැකියෙන්
ඇසූවෙමි යලි නොතේරුණු මම
කවුද නැතිවූයේ යි කියමින්
එහෙත් ඇගෙ ප්‍රති පණිවිඩෙට පෙර
ගුණේ ලියු සැර කවි පෙලක් දැක
වැටහුණෙමි ඇගෙ වචන මා හට

මගේ රික්වෙස්ටුව ද නොම දැක
බළල් ප්‍රේමියෙකු නික්ම ගොස් ඇත

"අනේ මට නං කවි ලියනු බැහැ"
කියා හැම තිස්සේම මතුරන
තවම ඇස කඳුලකින් තෙත් කල
ඇගේ ගුරු ගෞරවැති ප්‍රේමය
වෙනුවෙනුයි නාදුනන හිතවත
කිසිවක්ම නොම දන්න නුඹ ගැන
මගේ මේ කුරුටු ගෑ ලියමන


සහන් පද්මසංඛ පීරිස් | THЕ SAHAN 
2015 මාර්තු 26

3 comments:

  1. ජීවිතේ කියන්නෙ ඒකටලු නේ......ලස්සනයි...
    පසන්ට නිවන් සුව පතමි

    ReplyDelete
  2. සුන්දර මිනිසුන් හරි ඉක්මනට සමු ගන්නවා..

    ReplyDelete
  3. ශ්‍රී පාලි මණ්ඩපේ කෙල්ලෙක් මටත් මෙහෙමම කිව්වා බං. උන් පසන්ට ගොඩක් ලෙංගතුයි. පසන්ගෙ ලියවිලි මට එතරම් තේරුම් ගන්න අපහසුයි. නමුත් පසන්ව තේරුම් ගත්තු කිහිපදෙනෙක් ඉඳල තියෙනවා අපි අතර

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!