2015/03/04

පසුවදනක්



යන්නටම ඕනෑ ය කිව් විට
යන්න නොම දී ඉන්නෙ කුමකට ?
සිලිටි මල් හිත වියරු වූ මුදු
යන්න යැයි මම කීමි ඔබ හට

හරිම බර පෙමකට යටව තිබු  
හද නහර හැම එකම නපුරුව
දන්නෙ නෑ මම තවම අදට ද
සුළුපටු ද ඒ හැදුන වියරුව

ඉතින් හදගුළු විවර කරගෙන
සිතු ලෙසින් රෑනක සරන්නට
යතුර තැබුයේ නුඹේ සුරතෙහි
හිතින් නම් හෙම නොවේ ලබැඳිය

ගියා යයි මම සිතා සිටියෙමි
නමුදු නුඹෙ පා ලකුණු දුටුවෙමි
විටෙක මා පෙර වසඟ කෙරු නුඹෙ
සුවඳ සිහිනෙක තුලින් වින්දෙමි

කලක් ගත වුව නොසිතු ලෙස ඒ
නිමිති දැක හද රුධිර වැගිරුණි
නුඹ තවම නික්මී නොමැති බව
දැනී කටු තුඩු ඇනී රිදවුණි 

වසර දහයක වැසී තිබුනෙන්
අගුළු මල කා ඇති ද තද කර ?
හරිමි! නැහැ මම කඩමි හදගුලු
දොරත් ගලවා තබමි ගෙන වෙර

යන්න දැන් වත් මගෙ හදින් තව
රිදුම් නොම දී සිනහවෙන් බර
නුඹේ සුදු මුව මඬලෙ කඳුළැලි
මැකූ හද වෙත සදා කලටම
_____________________________
සහන් පද්මසංඛ පීරිස්​ | THЕ SAHAN​ 
2015 මාර්තු 04

1 comment:

  1. ගති මචෝ.. යන්න ඕන අය මොනවා හරි කරලම යවා ගන්න එකමයි හොද.. නැත්නම් ඉතින් පස්සට තමයි කරදර...

    ReplyDelete

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!