2014/12/17

කඳුළු තටාකයේ සිට







කඳුළු තටාකය අබියස
උණුසුම් වූ නමුදු
තෙතබරිත ද වූ
ඒ ඉවුරු මත හිඳ
දෙඅත් පටලා බැඳ ගත් අපි
බලා සිටියෙමු
අනන්තය ලඟා වන තුරා
නොගනිමින් ගතවෙනා තත්පර

අනන්තය ලං වනා වේගය
නුඹේ දෙඇසට නොපෙනුනෙන්
ඉවසා සිටි නුඹේ සිතුවිලි අංශු තුල
න්‍යශ්ටිගතව තිබූ ඒ මහා ශක්තිය
පුපුරවා හැර එයින් මත්තට
දෙඅත් අතහැර තනිව යන්නට
අනන්තය වෙත

ලොවම යටිකුරු කෙරූ සැණෙකින්
අවසාන තීන්දුව ගත්තාය නුඹ
කඳුළු තටාකය වියරු වී රැළි ගැසූ
නොවැම්බර් රාත්‍රියක් ගෙවෙන්නට පෙර
එළැඹි අවසාන පැයක් මත
අවසාන මැජික් සංදර්ශණය සිදු කොට

දියට වැටී වෙර දරා
පොර බදා මරණය සමඟ
කෙසේ හෝ ගොඩ ආවෙමි මම
තුත්තිරි ගසක පිහිට ලැබගෙන
පුදුමයකි සැණෙක ඒ තුත්තිරිය
මහ විසල් නුග රුකක් විය සෙවෙණ කර

ඉතින් මා පෙර සොඳුර
නුඹම ගත් ඒ අවසන් තීන්දුව
තුලින් උත්තානිත නමුදු
මහත් රිදවුම් විඳි ආත්මය
එකතු කොට ඔබාගෙන කය තුල
නුග රුකින් කල කුඩා ඔරුවක
නැගෙමි මම දැන් එගොඩ වන්නට
කඳුළු තටාකයෙන් එපිට ලෝකය
කාලයයි දැන් බලාගන්නට
නුඹ නැතිව තනිව වුව
අනන්තය වෙත ලඟා වන්නට

සහන් පද්මසංඛ පීරිස් 
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 17

No comments:

Post a Comment

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!