2014/12/13

පසුවදනක්

ප්‍රේම සබඳතාවක් බිඳවැටීමෙන් පසු, කෙනෙකු වැටීම සිටිනවාද, එසේත් නොමැති නම් නැගිටිනවාද යන්න තීරණය කල හැක්කේ එයින් පීඩිත පුද්ගලයාටම පමණක් මිස ඔහු වටා සිටින්නන්ට නොවේ! වටේ සිටින්නන්ට කල හැකි දෑ දෙවර්ගයකි! එක්කෝ නැගිටීමට උනන්දු කිරීමට හෝ එයට උදව් කිරීමට හැක! එක්කෝ වැටී සිටීමට අනුබල දීමට, නැගී සිටින්නට උත්සහ ගැනීමේදී එය වලක්වා නැවත නැවතත් වැට්ටීමට හැක! එමෙන්ම ඔහු විරහා වේදනාව විඳවිය යුතු කාලසීමාව තීරණය කරන්නේ එම පුද්ගලයාම මිස, කිසිත් නොදත් තෙවැනි පාර්ශවයක් නොවෙයි!

වසර ගණනක් විරහා වේදනාවෙන් පෙළෙමින් ජීවිතයම නාස්ති කරගන්නා පුද්ගලයන් ඔබ සිය දහස් ගණනින් දැක ඇත! ඇතැම් විට එය එසේ වීමට තව තවත් හේතු රැසක් බලපානු ඇත! ඔහු සමඟ පෙමින් වෙලී සිටි සහකාරියට සමාන හෝ ඊට වඩා හොඳින් වැඩි යැයි හැඟෙන්නියක් ලොව තුල හමු නොවීම, එයට බලපෑ හැකි එක් හේතුවකි! කෙසේ වුවත් ඔබ එවැන්නෙකු දෙස බලන්නේ කෙසේ ද? ඔබ අතුරින් ඇතැමෙක් අසරණයෙකු දෙස බලන අයුරින් ඔහු දෙස බලනු ඇත! ඇතැමෙක් මොඩයෙකු දෙස, පිස්සෙකු දෙස බලන අයුරින් ඔහු දෙස බලනු ඇත! අඳුරු ආගාධයක වැටී ජීවිතය විනාශ කරගන්නේ යැයි ඔහුට බැණවදිනු ඇත! නැගී සිටීමට කිසිදු උනන්දුවක් නැතැයි බැණ වදිනු ඇත! තවත් කෙනෙක් ඔහුගේ උතුම් වූ ප්‍රේමය ගැන, ප්‍රේමය වෙනුවෙන් කරනා පරිත්‍යාග පිළිබඳ පසසනු ඇත! සබඳතාව බිඳ වැටී දවස් 10කින් 15කින් නැගිටින කෙනාට ලැබෙන ප්‍රතිචාර කෙසේ විය හැකි ද? එහි දී ඔහු කල ආදරයට ලැබෙන වටිනාකම බලු බළලුන්ගේ මට්ටමට වට්ටන්නට ඔබ ක්‍රියා කරනු ඇත! ජීවිතය නාස්ති නොකරගෙන නැගිටීම පිළිබඳ පැසසුමෙන් කතා කරන්නන් ඔබ අතුරින් ඉතා අඩුවෙන් බිහිවනු ඇත! අනෙක් සියල්ලෝම ඔහු දෙසට ඇඟිල්ල දිගු කරනු ඇත!

කෙනෙකු විරහා වේදනාව නමැති අඳුරෙහි විඳවනා කාලයෙන්, ඔහු සිදු කල ප්‍රේමයේ දිග පළල සෙවීමට යන්නේ නම් ඔබ මහත් වූ මෝඩයෙකු යැයි මම කියමි! විරහා වේදනාවේ කාල සීමාව ප්‍රේමය මැනීමේ ඒකකයක් ලෙස යොදා ගන්නා ඔබ සියල්ලෝම මෝඩයන් බව මම කියමි! කාලය යනු කුමක්දැයි ඔබ දන්නවා ද? කාලය යනු අපට පෙනෙනා දෙයක්, අත ගෑ හැකි දෙයක් නොව, අපට දැනෙනා දෙයකි! ඒ දැනීමට හේතු වන්නේ මතක, විඳීම්, හැඟීම් සහ බලාපොරොත්තු/අපේක්ෂා අප සිත තුල නිරතුරුව රැඳී පැවතීමයි! ඒ දේවල් ඔබේ මනස තුල නොවූ තැන දී ඔබ හට කාලය අතික්‍රමණය කල හැකි වනු ඇත! කාලය පිළිබඳ හැඟීමකින් තොරව සිටිය හැකි වනු ඇත! ඉතින්, කාලය දැනෙන්නේ ඔරලෝසු වලට වත්, කැලැන්ඩර වලට වත් නොව, එකිනෙකාගේ සිත් වලටම පමණි! එය ද සිත් වලට ස්වාධීන වන ලෙස ය! ඔබට දැනෙන පැයක කාල සීමාවෙදි ඇති දිගම, මට දැනෙන්නේ නැත! ඉතින්, එදිනෙදා කටයුතු වලදී ජීවිතය පහසු කරගැනීමට යොදාගන්නවා මිස, ඔරලෝසු වලින් ඔබේ සිතේ කාලය මැනිය නොහැක!

කෙනෙකු ප්‍රේම සබඳතාව බිඳ වැටී වසර 20ක් විඳවනවා විය හැකිය! තවත් කෙනෙකු දවස් 20කින් නැගිටිනවා විය හැකිය! ඔබෙන් බහුතරය සිතන්නේ දවස් 20න් නැගිටින්නාගේ ප්‍රේමයේ ප්‍රබලත්වය, වටිනාකම ඉතා අඩු බව ය! නමුදු, ඒ දවස් 20 ඇතුලත ඔහු විඳවූ විඳවීම, ඔහුට දැණුනේ දවස් 20ක විඳවීමක් ලෙසින්ම ද, මාස 20ක විඳවීමක් ලෙසින් ද, එසේත් නොමැති නම් අවුරුදු 20ක කුරිරු විඳවීමක් ලෙසින් ද යන්න ඔබට උපකල්පනය කල නොහැක! එසේ උපකල්පන වල සිට විනිෂ්ච්‍යයන් ලබා දීමට ඔබට අයිතියක් ද නොමැත!

අවසන, දෙයක් ගැන කිසිවක් නොදැන ජජ්මන්ට් දීමට ඉදිරිපත් නොවන්න! පරචිත්ත විජානන ඥානය නොමැති නම්, අනුන්ගේ සිත් පිළිබඳව සහතික දීමට ඉදිරිපත් නොවන්න! එසේම, කිසිවකුට ප්‍රේම කරන අයුරු ඉගැන්වීමට ද ඉදිරිපත් නොවන්න!

මන්ද, ඔබ, මා නොවන බැවිණි! මා, ඔබ නොවන බැවිණි!

සහන් පද්මසංඛ පීරිස්
( THЕ SAHAN )
2014 දෙසැම්බර් 13

No comments:

Post a Comment

කල් ඇත්නම් අදහසක් ලියා යන්න!